Skip to main content

ත්‍රිපිටකය හැදෑරීමෙන් එය විනාශ කිරීම

පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනේ කුලපති භවන සහ එයට ඉදිරියෙන් ඇත්තේ ධර්මසංගායනා වේදිකාව
අටුවාචාරී බුද්ධඝෝස තෙරුන් විසුද්ධිමග්ගය
බාර දුන් අවස්ථාව - කැලණි බිතුසිතුවම්
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව සංස්කරණය කිරීමේ
සංගායනාවේ අධ්‍යක්ෂ ලෙස ක්‍රියා කළ විද්‍යාලංකාර
පිරුවනේ හිටපු අධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි
(ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ, 2500 බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව සංස්කරණය කිරීම සඳහා සංගායනාව පැවත්වූ වේදිකාවය. එම සංගායනාවට යොදා ගත් සියලු භාණ්ඩ සහ පරිෂ්කාර නිධන් වස්තු ලෙස තැන්පත් කොට වර්තමාන ප්‍රතිසංස්කරණය සිදු කර ඇත.)

"ත්‍රිපිටකය යම් තාක් කටපාඩමින් පවත්වාගෙන ආවා ද ඒ තාක් එය මනාව රැකුණි. යම් දිනෙක එය පොත්වල ලීවා ද එතැන් සිට එය විනාශ වුණි" යනුවෙන් දැනට වසර කීපයකට පෙර ජපන් ජාතික මහාචාර්ය එන්ඩෝ කළ ප්‍රකාශයක් මා දෙසවන් තුළ තවමත් රැවු දේ. එය 100%ක් ඇත්තය. එහිම වෙනත් පැතිකඩක් මම අද දිගහරිමි.

එදා ත්‍රිපිටකය තිබුණේ පන්සලේ විතරය. එයත් අල්මාරියක තැන්පත් කොට ලොකු ඉබ්බෙක් ද දමා ආරක්ෂා කර තිබිණි. ත්‍රිපිටකය කියවන්නට යමෙකුට අවශ්‍ය වී නම් ඔහු පන්සලට ගොස් හාමුදුරුවන්ගෙන් අවසර ලබා ගෙන එය කියවිය යුතු වෙයි. මම ද ත්‍රිපිටකය කියවීමට පන්සලට ගියෙමි. "අවසරයි, අපේ හාමුදුරුවනේ, මට ත්‍රිපිටකය කියවන්න ආසයි." "ආ... එහෙම ද? එහෙනම් අර බෝ මළුව අමදින්නකෝ... අපි ඊට පස්සේ බලමු." එදා බෝමළුව ඇමදුවේය. "ඔහොම නෙවෙයි මුස්න අල්ලන්නේ, මෙහෙමයි අල්ලන්නේ" කියා එදා මට ඉදල අල්ලන හැටි ඉගැන්වූයේය. පොල් අත්තේ රටාවට බෝමළුව අමදින්නට කියා දුන්නේය. පොල් අතු රටාව විතරක් නොව, අලුවා කෑල්ලක රටාවට, වඩිම්බු රටාවට, වැහි බින්දුවේ රටාවට ආදී ලෙස රටා හයකට පන්සල් වත්ත අතු ගාන්න අදටත් මට පුළුවන්ය. එසේ ඇමදූ පසු මටම ලෝබයි පන්සල් බිමේ ඇවිදින්න. අර රටා මැකෙයි කියා. තැනින් තැන කොළ හැළී වැලි ගොඩැලි මතුව තිබූ බෝමළුව ඇමදූ පසු හරිම සුන්දරය. ඒක දිහා විනාඩි කීපයක් බලා ඉන්නට හිතෙන තරම්ය. එදා මට ඒ කියා දුන්නේ ත්‍රිපිටකය කියවීමේ පළමු පාඩමය. කුණුවලින් පිරුණු ඔළුගෙඩිය පිරිසිදු කර ගන්න, උස් පහත් වුණ මනස සම කරගන්න කියා උන්වහන්සේ මට නොකියා කීවේය. බෝමළුවෙන් පසුව සෑ මළුව. ඊට පස්සේ පන්සල් වත්ත. මේ විදිහට අමදිනවා මිස මට ත්‍රිපිටකය උගන්වන පාටක් නැතිය. මුලින් ලැබුණේ අමදින්න පමණි. පසුව මල් ආසන සුද්ද කරන්න. බුද්ධපූජාව ඉවත් කර භාජන සෝදන්න වැනි කටයුතු එකින් එකට වැඩි විය. ඒ සියල්ල නිමවා ලොකු හාමුදුරුවන් වෙත ගොස් "මං සේරම වැඩ කළා. අපි අද ත්‍රිපිටකය කියවමු ද?" කියා ඇසූ විට උන්වහන්සේ පැවසූයේ "දැන් ගොඩක් හවස් වෙලානේ, හෙට බලමු" කියා ය. මාසයක් ගතවිය, දෙකක් ගතවිය, තුනක් ගතවිය. ත්‍රිපිටකය තබා සූත්‍රයක් ලියවුණු එක පිටුවක් වත් මට පෙන්වූයේ නැත. පසුව මා ඒ ගැන අහන්නේත් නැත. පන්සලට ගොස් කෙළින්ම අහන්නේ "අවසර, මං බෝමළුව අමදින්න ද?" "හා ... හා... හොඳයි" කීවා මිස වෙනත් පිළිතුරුක් නොවීය. මාස හයක් පමණ මේ විදිහට ගතවිය. එදාත් මා සුපුරුදු පරිදි අමදින්න ඉදල සොයන්නට විය. "තමුන්නැහේට ත්‍රිපිටකය කියවන්න ඕනේ නේද?" "නෑ අවසර, මා බෝමළුව ඇමද එන්නම්..." යනුවෙන් මට එදා කියවිණි. "නෑ නෑ ඕනේ නැහැ. ඕව ඔය පොඩිහාමුදුරුවන් කරන්නේ නැතැ... මෙහෙ එමු". මේ සියල්ල පොඩිහාමුදුරුවන් ලවා කරවා ගත හැකි නම් මාස හයක් මා ලවා කරවා ගත්තේ ඇයි දැයි අසන්නට සිතුණ නමුත් ඒ වන විට එයට පිළිතුරු මම ද දැන සිටියෙමි. උන්වහන්සේ මගේ ඉවසීම මැන බැලුවාහ. ශ්‍රද්ධාව මැන බැලුවාහ.

මට ත්‍රිපිටකය කියවන්නට අත්පොත් තැබුවේ ත්‍රිපිටකාචාර්ය වැලිසර සෝරත නාහිමියන්ය. මුල්ම පාලි ගුරුවරයා වූයේ, බලන්ගොඩ අමිත හාමුදුරුවෝය. මුල්ම සංස්කෘත ගුරුවරයා කෙරවළපිටියේ සුබෝධ හාමුදුරුවෝය. පාසලෙන් සිංහල කොපමණ ඉගෙන ගත්තත් මට සිංහල ඉගැන්වූයේ තම්මිට සද්ධානන්ද හාමුදුරුවෝය. පාසල් අධ්‍යාපනය යනු බොරුවක්, පුහු තරඟයක් බව මට වැටහුණි. එදා මා පාසලට සමු දුනිමි. පිරිවෙනින් ඉගෙන ගන්නට පටන් ගතිමි. "අපි ත්‍රිපිටකය කියවන්නේ මොන පොතෙන් පටන් අරගෙන ද?" යනුවෙන් මා ඇසූවේ මගේ අත දීඝනිකායේ පළමු කාණ්ඩයට තබා ගෙනය. "අපි ධම්මපදයෙන් පටන් ගමු" කියා උන්වහන්සේ කීවේ ඇඟට පතට නොදැනෙන ගාණටය. "ඔය දීඝනිකාය, මජ්ඣිමනිකාය කියා ත්‍රිපිටකය සංස්කරණය කළේ භාණක හාමුදුරුවරුන්ට වනපොත් කරන්න පහසුවට මිස කියවන පිළිවෙළට නෙවේ" යනුවෙන් උන්වහන්සේ මට එය පැහැදිලි කර දුන්නාහ. අද මේ සයිබර් අවකාශයේ ත්‍රිපිටකය දිගහරින අපේ සමහරු 'ධම්මපදය' ත්‍රිපිටකයට අයත් කෘතියක් බවවත් නොදන්නා තරම්ය. ඔවුන් ඇද බාන්නේ දීඝ හෝ මජ්ඣිමනිකායෙනි. ධම්මපදය කියවූ පසුව කියවිය යුත්තේ, උදානපාළියය. ඉන්පසුව මිළින්ද ප්‍රශ්නයය. අනතුරුව නෙත්තිපකරණය හා පෙටකෝපදේශය කියවිය යුතුය. එයිනුත් පසුව පටිසම්භිදාමග්ගය කියවිය යුතුය. මේ සියල්ල කියවූ පසු ත්‍රිපිටකයට අයත් සෙසු පොත් කියවන්නට සුදුස්සෙක් වෙයි. සූත්‍රපිටකය මුලින් කියවිය යුතු බව සැබෑය. හැබැයි ඒ දීඝනිකායෙන් නොවේ. අංගුත්තර නිකායෙනි. අනතුරුව සංයුත්තනිකාය. ඊටත් අනතුරුව දීඝ සහ මජ්ඣිමනිකායන් කියවිය යුතු වේ. සූත්‍රපිටකය කියවීම අවසන් කළ යුත්තේ සුත්තනිපාතයේ අට්ඨක පාරායණ වග්ග කියවීමෙනි. මේ මා උගත් විදිහයි. මාස තුනක් එක දිගට දිවා රෑ නොබලා මා ත්‍රිපිටකය කියවූ ආකාරයට උඩුවෙල සුමන හාමුදුරුවන් ඇහින් දුටු සාක්ෂ්‍යකරුවෙකි. පසුව විනය පිටකය. විනය පිටකය කියවන්නට පෙර ප්‍රාතිමෝක්ෂ විවරණය කියවිය යුතුය. විනය කියවීම ආරම්භ කළ යුත්තේ මහාවග්ගපාළියෙනි. චුල්ලවග්ගපාළි, පරිවාරපාළි අනතුරුව කියවිය යුතුය. පාරාජිකපාළි සහ පාචිත්තිය පාළි කියවන්නේ අවසානයටය. අභිධම්මත්ථසංගහ හොදින් හදාරා ඇති අයෙකුට අභිධර්මය දැනට තියෙන අනුපිළිවෙලටම කියවිය හැකිය. ඒ පොත් පෙළ ගස්වා ඇත්තේ එය හැදෑරිය යුතු පිළිවෙලටය. මෙය මා උගත් ක්‍රමයයි.

පිරිවෙන් අවසාන විභාගයෙන් පසුව ප්‍රතිඵල එන්නට මාස හයක් පමණ ඇති නිසා මා ඒ කාලය ගත කිරීමට තීරණය කළේ කුරුවිට, එරත්න ප්‍රදේශයේ ඇති ඉගිනිවිටිය යෝගාශ්‍රමයේය. එහි නායක හාමුදුරුවන් පුරාණ අටුවා සම්ප්‍රදාය රැක ගත් අයෙක් විය. ඉඹුලපිටියේ සද්ධානන්ද නම් වූ උන්වහන්සේට අටුවා කියන්නේ ජීවිතයමය. මගේ මුල්ම භාවනා ගුරුවරයා වූයේද උන්වහන්සේමය. ත්‍රිපිටකය හැදෑරීමේ සම්ප්‍රදායය ගැන ඉතිරිය හැදෑරූවේ එහිදීය. "පුතා, ත්‍රිපිටකය හදාරන්න, අපි පිළිගත්තු ක්‍රමයක් තියෙනවා. සුත්ත - සුත්තානුවාද - අචරියවාද - අත්තනෝමත කියන්නේ ඒ සම්ප්‍රදායයි" කියා උන්වහන්සේ මට පැහැදිලි කර දුන්හ. සුත්ත කිව්වේ සූත්‍රයයි. යම් කරුණක් කිසියම් සූත්‍රයක පැහැදිලි නැතිනම් එය වෙනත් සූත්‍රයක් සමග සැසදිය යුතුයි. එක තැනක පැහැදිලි නැති දෙය වෙනත් තැනක පැහැදිලි ව දක්වා තිබිය හැකි බැවිනි. එලෙස සූත්‍ර සන්සන්දනයෙන් වැටහෙන්නේ නැතිනම් පමණක් අප අටුවා බැලිය යුතුය. සුත්තානුවාද කියා කීවේ එයය. සූත්‍ර සැසදීමත් කර සුත්තානුවාද හෙවත් අටුවා බැලීමත් කර අපට යමක් තේරෙන්නේ නැති නම්, ඊළඟට අප විමසිය යුත්තේ, අචරියවාදයන් ය. සූත්‍ර පොත්වල ලීවාට අටුවා පොත්වල ලීවාට අචරියවාද පොත්වල ලීවේ නැත. ඒවා කටපාඩමින් ගුරුවරයාගෙන් ගෝලයාට පමණක් දායාද විය. එවැනි අචරියවාද 100කට අධික සංඛ්‍යාවක් ඇති බව උන්වහන්සේ කීහ. ඒ සියල්ල උන්වහන්සේ ද ඉගෙන ගෙන නැත. නමුත් උන්වහන්සේ උගත් අචරියවාද 60කට අධික සංඛ්‍යාවක් මට කියා දුන්හ. අදටත් විටින් විට මගේ මතකයට ඒවා එන්නේය. මේ අකාරයට සුත්ත - සුත්තානුවාද – අචරියවාද කියන අවස්ථා තුනම දැන ගෙනත් යම් ධර්මකාරණයක් නිරාකරණය කර ගත නොහැකි නම් ඉන් අනතුරුව අපට අපේ මතයක් ගොඩනැඟිය හැක. අත්තනෝමත කීවේ එයටය. නමුත් අද සිදුවන්නේ මෙය කණපිටටය. සූත්‍ර සසදන්න තරම්වත් දැනුමක් නැති ඇම්බැට්ටයෝ මොකක් හෝ සූත්‍රයක් ගෙන එහි දුරවබෝධ තැනක් වේ නම් එයට තමාගේ අර්ථකථකයක් ඉදිරිපත් කරති. මට ඒවා දකින විට සිනහ පහළ වේ.

එදා අදමෙන් අටුවා සිංහලට පෙරළා නොතිබිණ. හේවාවිතාරණ මුද්‍රණයේ පාලි අටුවා මා ඉදිරියේ තබා උන්වහන්සේ මට ඉගැන්වීය. මුලින් මා කී ජපන් මහාචාර්යවරයාගේ කතාව සම්බන්ධ වෙන්නේ මෙහිදී ය. ත්‍රිපිටකයේ කිසිම සූත්‍රයක් බුදුහාමුදුරුවන් දේශනා කළ අයුරිනි ලියා නැත. උන්වහන්සේ දහවල් දානය වළදා අනතුරුව දේශනා කරන ධර්මය මුළු මජ්ඣිමනිකාය තරම් දිගය. ආරාධනාවක් කොට හෝ අවස්ථාවක් ලැබ හෝ සිදු කරන ධර්මදේශනය මුළු දීඝනිකාය තරම් දිගය. ඒ තරම් දිග ධර්මදේශනා සංගීතිකාරක තෙරවරු හැකිළුවොය. එලෙස හැකිළුවේ කිසියම් ශාස්ත්‍රයකට අනුවය. එය හකුළපු ආකාරය ඉගෙන ගන්නේ නැතිව ත්‍රිපිටකය කිසිසේත් වැටහෙන්නේ නැත. ත්‍රිපිටකයේ සෑම අකුරක්ම සංගීතිකාරක තෙරුන් වහන්සේ ගණන් කළහ. අකුරු 8000ක් යෙදෙන තැන බණවරක්ය. ගුරුහාමුදුරුවන් ගෝලයාට කියා දුන්නේ බණවරින් බණවරය. ඉගෙන ගන්නා සෑම බණවරක්ම ගුරුවරයා ඉදිරියේ නැවත කියවිය යුතුය. එසේ කියවන විට යම් තැනෙක වැරදුණා නම් "අන්න වැරද්දුවා, ඕක එහොම නොවේ මෙහෙමයි කියන්නේ" යනුවෙන් එවේලේම එය නිවැරදි කළේය. මේ ආකාරයට ගුරුවරයා යම් දැනුමක් ලබා සිටියානම්, එය 100% නිවැරදිව ගෝලයාට දුන්නේය. ඔහුත් ඔහුගේ ගෝලයාට ඒ ආකාරයෙන් ම දුන්නේ ය. මේ ආකාරයට ධර්මය විකෘති වූයේ නැත. ගෝලයාට යම් තැනක් නොවැටහේ නම් ගුරුවරයා ඉදිරියේම ඒ සියල්ල අසා සැක දුරු කර ගත හැකි විය. අද සියල්ල පොත්වල ලියා ඇත. පන්තිකාමරයට එන ගුරුවරයා හරියට සූත්‍රය දන්නේත් නැතිය, උගන්වන්නේ පොත බලාගෙනය. ගෝලයා මොනවා කියවනවා ද කියා ද දන්නේ නැතිය. එදා ඒ අභාග්‍ය නොතිබිණි.

පාලිභාෂාව නොදැන ත්‍රිපිටකය කිසිසේත්ම නොකියවිය යුතුය. නිරුත්තිදීපනියේ මෙසේ කියයි. යෝ නිරුත්තිං න ජානාති, ජානාති පිටකත්තයං - පදේ පදේ විකංඛෙය්‍ය, වනේ අන්ධගජෝ විය. යමෙක් ත්‍රිපිටකයම දැන ගත්තත් පාලිභාෂාව දන්නේ නැතිනම් අන්ධ ඇතෙක් වනයේ (හමුවන හැම ගහකම හැප්පෙන්නා සේ) පදයක් පදයක් පාසා සැක උපදවයි යනු එහි අර්ථයය. සිංහල පරිවර්තන කොතෙක් ඇතත් ඒ සියල්ලෙහි යම් යම් අඩුපාඩුකම් ඇත. පාලිභාෂාව ඉගෙන ගැනීම ත්‍රිපිටකය හැදෑරීමට කෙතරම් අත්‍යවශ්‍ය ද යන්න මා වෙනම ලිපියකින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

කෙසේ වෙතත් මට මා ගැන මහත් ආඩම්බරයය. මහත්ම ආඩම්බරයය. එදා බුදුහාමුදුරුවන්ගෙන් ඍජුවම ධර්මය ඇසූ ශාරිපුත්‍ර, මෞද්ගල්යායන, කාශ්‍යප, නන්ද, ආනන්ද, රාහුල, සීවලී, උපාලි, කාත්යායන, රේවත, ඛදිරවනීය රේවත ආදී මහාථෙර කෙනෙක් වේද, ඔවුන්ගෙන් අනතුරුව බිහිවූ යම් සංඝපරම්පරාවක් වේද මම ධර්මය හැදෑරුවේ එම පරම්පරාවේ සම්ප්‍රදායය මතිනි. ඒ අඩම්බරකාර සම්ප්‍රදායයේ මාද කොටස් කරුවෙකි. අපි අද යම් පමණකින් හෝ මූණුපොතේ යම් දහම් කරුණක් ගැන කීවොත් අපිත් එක්ක කතා කරන්න එන්නේ, ත්‍රිපිටකයේ පිටුවක ස්කෑන් කරපු කොටසක් ද පෙන්වමිනි. ඔවුන් හිතන්නේ එය මහ ලොකු වැඩක් කියාය. වීරක්‍රියාවක් කියාය. මට ඒවා දකින විට සිතෙන්නේ "අනේ, පවු අසරණයෝ" යන හැඟීම පමණි. කේ.එන්. ජයතිලක, ගුණපාල මලලසේකර, ගුණපාල ධර්මසිරි, ජෝතිය ධීරසේකර, වයි. කරුණාදාස, ජිනදාස කළුපහණ, අසංග තිලකරත්න වැනි ගිහි උගතුන්ට සමාන කරන්න පුළුවන් වෙනත් උගතුන් සිටීද? මේ කියන උගතුන් කිසි කෙනෙක් ත්‍රිපිටකය ගැන අද මේ කතා කරන පුස් බයියලා මෙන් ප්‍රශ්න නැඟුවේ නැත. නඟන්නට ඔවුන්ට ප්‍රශ්න නැත. ඔවුන් ත්‍රිපිටකය හැදෑරුවේ ද සම්ප්‍රදායය මත පිහිටා බැවිනි. අද මගේම දරුවෙක් මගෙන් ඇවිත් ඇහුවොත් "තාත්තේ මට ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ" කියා මා ඌට උගන්වන්නේ නැතිය. උගේ ශ්‍රද්ධාව මැන බලා අනතුරුව මම තීරණය කරමි. ශ්‍රද්ධාව නැති එකාට ප්‍රඥාව දිය යුතු නැත. එය වඳුරෙක්ට කඩුවක් දීමක් වැනිය. වඳුරා කඩුව භාවිත කරමින් යම් වරදක් කරයි ද එහි සියලු දෝෂය පැවරෙන්නේ කඩුව දීපු කෙනාටය. ත්‍රිපිටකය අන්තර්ජාලයට මුදා හැරපු විවිධ මෘදුකාංග භාවිතයෙන් ප්‍රචලිත කරපු මුද්‍රණය කර ව්‍යාප්ත කරපු කිසිවෙකුට ශාප කරන්නට මට හිතෙන්නේ නැත. ඔවුන්ගේ චේතනාව හොඳ බව මා දන්නා නිසාය. නමුත් "මුන්ට මේ කරපු අපරාදයට හොඳක් වෙන්න එපා" කියා කියවුණු අවස්ථා නැතිව නොවේ. ඒහෙම වෙන්නේ දැන් දැන් සයිබර් අවකාශයේ ධර්මය ගැන විවාද කරන පණ්ඩිතයන් දුටු විටය. ත්‍රිපිටකය කියවන සෑම කෙනෙක් ම අඩුම තරමේ අලගද්දූපම සූත්‍රයේ එන උපමාව ලොකු අකුරින් ලියා බිත්තියේ ගහ ගත යුතුය. "ධර්මය සර්පයෙක් වැනිය. සර්පයාව නිවැරදි තැනින් අල්ලා ගත යුතු වේ. කඳින් හෝ වලිගයෙන් හෝ අල්ලා ගතහොත් ඌ පෙරළා ඇවිත් අල්ලා ගත් කෙනාට දෂ්ට කරයි". අද සිදු වී ඇත්තේ එයය. ධර්මය අල්ලන්න ගිය අයට ධර්මය දෂ්ට කර ඇත. ඔවුන් සංසාරය නැමැති විෂ ශරීරගත වී පීඩා විදී. මට ඇති වන්නේ කණගාටුවක් පමණි. නවකතාවක් කඩෙන් ගෙන කියවන්නාක් මෙන් ත්‍රිපිටකය ගෙන කියවන්නට හිතන හැමකෙනාට මට කියන්න ඇත්තේ මේ පමණය. ඔබ අරගන්න, කියවන්න. හොදින් කියවන්න. කීප විටක් කියවන්න. හැබැයි නොතේරෙන තැනක් දුටු විට, විසංවාදයක් මෙන් පෙනෙන තැනක් හමුවූ විට "ආ ඒක මෙහෙමයි කියා හෝ ඒක වෙන්න ඕනේ මෙහෙමයි කියා හෝ", අර්ථ නිරූපණය කරන්න තරම් හදීසි නොවන්න. ත්‍රිපිටකය හොඳින් උගත් අයෙක් සමග සාකච්ඡා කරන්නට තරම් නිහතමානී වන්න.

ත්‍රිපිටකය විවෘත කිරීම ගැන ද අප යමක් අවබෝධ කර ගත යුතුය. අද ඇතැමුන් සිතන්නේ එදා ත්‍රිපිටකය පන්සල්වල තබා ගෙන අල්මාරි ඇතුළේ හිර කරගෙන ලොකු ඉබ්බෙකුත් දාගෙන පන්සලේ හාමුදුරුන් එය ශක්තිපීඨ රකින කාළබහිරවයා මෙන් රක්ෂා කළ බවකි. සරලව කීවොත් ඔවුන්ගේ තර්කය නම් "බල්ලා පිදුරු කන්නේත් නැහැ කන ගොනාට දෙන්නේත් නැහැ" වගේ අදහසකි. මේ කතාව අතිශයින් වැරදිය. ත්‍රිපිටකය කියන්නේ "පොත් ගොඩක්" කියා උපකල්පනය කළහොත් මේ කතාව නිවැරදිය. මොකද පන්සලේ අල්මාරියේ ඉබ්බෙක් දමා රැක ගත්තේ පොත් ගොඩක්ය. සිරකරගෙන හිටියා මෙන් පෙනුනේ එම රැකවරණයය. නමුත් ඇත්තටම ත්‍රිපිටකය කියන්නේ "පොත් ගොඩක්" නොවේය. එම පොත් ගොඩ ඇතුළේ තියෙන "කරුණු ගොඩය". ඉදින් යම් භික්ෂුපිරිසක් එහි අඩංගු කරුණු අනිත් අයට දැන ගැනීමට නොහැකි වන සේ සඟවා තබා ගන්නට උත්සාහ කළේ නම් ඉහත කී චෝදනාව නිවැරදිය. නමුත් එවැන්නක් කිසිදිනෙක සිදු වී නැත. පන්සලේ හාමුදුරුවන් ඇතැම්විට ත්‍රිපිටකය කියෙව්වේ නැත. එසේ වූයේ එය අවබෝධ කර ගන්නට හෝ හදාරන්නට අවශ්‍ය ඥානශක්තිය උන්වහන්සේට නොතිබුණු බැවිනි. නමුත් උන්වහන්සේ ඉතා නිවැරදිව දැන සිටියා කාටද ත්‍රිපිටකය කියවන්නට අවසර දිය යුත්තේ කාටද නොදිය යුත්තේ කියා. ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවක් ගෞරවයක් නැති තැනැත්තාට උන්වහන්සේ එය කියවීමට අවසර නොදුන්නහ. නමුත් හිතන්න, රීස් ඩේවිඩ්ස් ත්‍රිපිටකය කියෙව්වේ නැද්ද? වෙන එකක් තියා, ඇලෝසියස් පීරිස් පියතුමා පවා ත්‍රිපිටකය හැදෑරුවේ නැද්ද? එතුමා තවමත් කතෝලික සභාවේ පියතුමෙකි. කිසිදිනෙක බුදු රජාණන් වහන්සේට අපහාස කර නැත. ධර්මයට ගරහා නැත. තව තවත් ධර්මය රැක ගන්න උදවු කළා මිස ධර්මය විනාශ කරන්න එතුමා කටයුතු කළේ නැත. ගුරු ඇසුර ලබමින් සම්ප්‍රදාය මතින් ත්‍රිපිටකය කිය විය යුත්තේ ඒ නිසාය.

තවත් සමහරු කියන්නේ, සූත්‍ර පිටකය පමණක් විවෘත වූ බවත් විනය පිටකය හාමුදුරුවරුන් සැඟවූ බවත්ය. මෙහෙම කියන අයගේ යටි අරමුණ ඉතා පැහැදිලිය. ඔවුනට අවශ්‍ය විනය පිටකය කියවා හාමුදුරුවන් විනය විරෝධී වැඩ කරන බව ලෝකයට කියමින් ශාසනය විනාශ කිරීමය. මෙහිදීද මට කියන්න ඇත්තේ පෙර දේමය. සුදුසු අයට විනය පිටකය කියවන්නත් හාමුදුරුවෝ අවසර දුන්හ. මහාචාර්ය ජෝතියධීරසේකර මහතා මෙලෙස විනය හැදෑරූ උගතෙකි. වෙන එකක් තියා, ඉතා මැතකදී ඉතාලියේදී තම ආචාර්ය උපාධීය කළ ලංකා කතෝලික සභාවේ කතෝලික පියකෙනෙක් තම ආචාර්ය උපාධි නිබන්ධය සඳහා තෝරා ගෙන තිබුණේ විනය පිටකයය. එය එතුමා විසින් හැදෑරුවේ, අස්ගිරිය පන්සලේදීය. සැබෑ තත්වය මෙයය.

සැබැවින්ම ත්‍රිපිටකය විවෘත කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා ද කියා මා සැක කරමි. විවෘත කළ යුත්තේ වැසුණු දෙයක් ය. නමුත් ත්‍රිපිටකය වැසී තිබුණේ නැත. ඉදින් එය විවෘත කළ යුතුව තිබුණා නම් එය කළ යුත්තේ ත්‍රිපිටකය මනාව හදාරා අප්‍රකට හෝ වැරදි අර්ථකථන සපයා ඇති ධර්ම කොටස් කාගේත් අවධානය පිණිස පැහැදිලි කර දීමය. ඇත්ත. අපට ත්‍රිපිටක පොත් සංඛ්‍යාවේ යම් අඩුවක් නම් තිබුණා. හැම පන්සලකටම ත්‍රිපිටක පොත් කට්ටලයක් ලැබිය යුතු වුවත් රජය මඟින් ඒ සඳහා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළේ නැත. නමුත් සිදු වූයේ ඉතා අවාසනාවන්ත තත්වයකි. අපේ සමහර පණ්ඩිතයන් සිතුවේ ත්‍රිපිටකය විවෘත කිරීම යනු පොත් පත් සුලබ කිරීම කියාය. ත්‍රිපිටකය ඕනෑම අයෙකුට කඩෙන් ගෙන කිය විය හැකි තත්වයට, අන්තර්ජාලයෙන් බාගෙන කියවිය හැකි තත්වයට පත් කිරීම නිසා සිදු වූයේ, එය කියවීමට නුසුදුසු අයගේ අතට පත් වීමය. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති මේ අමනයන් කළේ ත්‍රිපිටකය කියවා එහි අර්ථයන් වටහා ගැනීම නොව තමාට නොපැහැදිලි තැන් හිතුමනාපයට විවිරණය කරමින් ධර්මය විකෘති කරමින් එය කාබාසිනිය කිරීමට කටයුතු කිරීමය.

එදා ත්‍රිපිටකය තිබුණේ පන්සලේ ය. එයත් අල්මාරියක ලොකු ඉබ්බෙක් දමා වසා තිබුණි. මේ නිසා එය කියවූයේ තුන් හතර දෙනෙකි. හැබැයි ඒ තුන් හතර දෙනා ධර්මය හොදින් වටහා ගත්හ. අද ත්‍රිපිටකය කඩලගොටු ගහන තරමට ප්‍රසිද්ධය. හැබැයි වටහා ගත්තු එකෙකු හොයා ගැනීම ඉතා දුෂ්කරය. ධර්මය විවෘත කිරීමෙන් එය විනාශ කිරීමේ කලාව මෙයය.

Comments

  1. ඔබ කියන්නේ සැබවි. සබඳ ඔබට පින්. අගේ ඇති අදහසෙකි. මේ අපේ අධ්‍යාපනය යි. දැන් ඇත්තේ කුමක් දැයි මම ද සිතමි. මේ වැටී ඇති වළෙන් ගොඩ එන්නට නම් විද්‍යාවට පෙර උගත යුත්තේ පංසලේ අධ්‍යාපනය යි. පසුව විද්‍යාව අතැඹුලක් සේ දත හැකිය බව මට නම් ප්‍රත්‍යක්ෂය. නැවත ද පින්.

    ReplyDelete
  2. ත්‍රිපිටකය කියවීමට අවස්ථාව ලද පමණින් ධර්මය විවෘත වූවා යයි කීමට හැකිද, පාෙතින් කියෙව්වත් කනෙන් අැසුවත් නුවනැත්තා ඒය වටහා ගනී.

    ReplyDelete
  3. ලංකාවේ 'වලගම්භා රජ සමයේ' ත්‍රිපිටකය ග්‍රන්ථාරුඋඪ කලේ රහතුන් වහන්සේලා විසින් දැයි දැන ගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ලංකා ඉතිහාසයේ 'රහතන් වහන්සේ' යන නම යෙදෙන තැන් අපි ඉතා පරීක්ෂාවෙන් බැලිය යුතුවේ. වල්පොල රාහුල හාමුදරුවන් ලියපු 'ලක්දිව බුදුසමයේ ඉතිහාසය' කියන පොතේ ලක්දිව රහත්හු කියලා පරිච්ඡේදයක් තියෙනවා. ඒක කියෙව්වා නම් ඔබේ ගැටලුව ඉබේම ලිහෙනවා. ඔබේ ප්‍රශ්නයට මට කෙළින්ම ඔවු ද නැද්ද කියලා පිළිතුරු දෙන්න හැකියාවක් නැත. ඒ ගැන සමාවෙන්න.

      Delete
  4. මම ආනන්ද මෛත්‍රීය හාමුදුරුවන් පරිවර්තනය කළ "ධම්මපදය" පොත කියෙව්වා. ත්‍රිපිටකයත් කියවන්න වුවමනාවක් තියෙනවා. එත් දැන් හිතෙනවා කියවන්නද එපාද කියලා...

    ReplyDelete
    Replies
    1. නැහැ ඔබ කියවන්න. ඔබට පුළුවන් නම් පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ 'පාලිභාෂාව තරණය' 1 හා 2 පොත් මුලින් හදාරන්න. අනතුරුව රේරුකානේ නාහිමියන්ගේ පොත් කීපයකුත් හැකිනම් කියවන්න. ඉන්පසුව මං මෙහි කියලා තියෙන පිළිවෙලටම නැතත් අංගුත්තර නිකායෙන් පටන් ගෙන ත්‍රිපිටකය කියවන්න. මට ඇත්තටම ඕනේ වුණේ, කඩෙන් නවකතාවක් ගෙනවිත් කියවනවා වගේ ත්‍රිපිටකය කියවන්න බැරි බවත් එයට සුදුසු මානසික පසුබිමක් සකස් විය යුතු බවත් කියා දීමට පමණයි.

      Delete
  5. මසුරන් කථ්‍ාව සර්.
    සර්ට වගේ ම මටත් ටිකක් විතර ආඩම්බර විය හැකි යි. හේතුව මාත් පිරිවෙනක සාම්ප්‍රදායික ක්‍රෙම්ට ටොකු කකා ත්‍රිපිටකේ කියවපු කෙනෙක් නිසා. හැබැයි ඉතින් ගහට්ට ජීවිතේ නිසා ධම්මපදය යි අඞ්ග්‍රත්තර නිකාය යි විතරයි කියවන්න පුලුවන් උණේ උ.පෙ අතර තුරයි ඊට පස්සේ ටික කාලෙකු යි. ඇත්තට ම මට පිරිවෙනට ආවට පස්සේ හිතුනා පාසල් වහලාදාලා පිරිවෙන් ම තිබ්බා නම් කියලා.... ඒ බුද්ධිගලනය වන විදිහ වෙනස් සහ හොස යි. කරුමෙක මහත එය දැන් පිරිවෙන්වලිනුත් ගිලිහී යනවා. මට උගන්නපු හාමුදුරුවෝ ළගදී අපවත් වී වදාළා ආයි එහෙම අය ගැන නම් දන්නේ නැහැ....

    ReplyDelete
  6. අහඹු ලෙස මට හමු වූ විශිෂ්ට ලිපියකි. ස්තූතියි ඔබතුමාට.මම මුල සිට ත්‍රිපිටකය හැදෑරීමට කැමැත්තෙමි.ඒ සදහා අවශ්‍ය උපදෙස් බාදෙන්න.එසේම මහත්ළුල මහානිසංස යන කරුණු පිළිබද අටුවා විග්‍රහය කුමක්දැයි හැකිනම් පහදා දෙන්න.තෙරුවන් සරණයි.

    ReplyDelete
  7. ත්‍රිපිටකය අධ්‍යනය කලයුතු නිවැරදි ආකාරය ගැන කියා දුන් ඔබතුමාට බොහොමත්ම පින්!!! බුදු දහම ක්‍රමයෙන් පරිහානිය කරා ළඟා වන මෙවන් යුගයක දී මෙම ලිපිය කියවීමට ලැබීම මා සතු මහත් වූ භාග්‍යයක් ලෙස සලකමි.නැතිනම් මටත් සිදුවන්නේ මගේ වයසේ බොහෝ දෙනා මෙන් අඳුරේ අතපත ගෑමටය.. තවත් මෙවැනි ලිපි ලියමින් මා වැනි අදුරේ සිටින්නවුන් බොහෝ දෙනාට ආලෝකය ලබා දීමට ඔබතුමාට හැකිවේවා'යි පතමි. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා !!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප