Skip to main content

වැරදි නිවැරදි කිරීම

ඇත්ත කතා තුනක්.

01. ජැක්සන් ඇන්තනි වරක් පොළොන්නරුව ප්‍රදේශයේ වාර්තා වැඩසටහනක් කරනවා. ඒ කාලේ ඔහු ජාතික රූපවාහිනියේ නිවේදකයෙක්. ඒ වැඩ සටහන අතර තුර ඔහුට අවස්ථා කීපයකදීම කියැවෙනවා "වැව් තාවිල්ල" කියන වචනය. පස්සේ ඔහුට එය වැටහී "වැව් තාවුල්ල" කියා තරමක් බර කොට කියනවා.

මේ සිදුවීමෙන් දින කීපයකට පසු එක්තරා පාසල් දරුවෙක් තමාගේ සිංහල රචනාවට වැව් තාවිල්ල කියන වචනය ලියනවා. එය දුටුව ගුරුවරයා "මේක වැරදියි පුතා, නිවැරදි පදය වැව් තාවුල්ල" කියා හදනවා. නමුත් දරුවා කියනවා, ජැක්සන් ඇන්තනීත් මේ වචනය භාවිත කළේ මෙහෙමයි කියා. ගුරුවරයා කියනවා, එහෙමනම් තමා පොඩ්ඩක් ඒ ගැන සොයා බලන්නම් කියා. ඒ ගුරුවරයා අදාළ සිදුවීම ලියලා ජැක්සන්ට ලිපියක් එවනවා, "මහත්මයාණෙනි, මේ වචන දෙකෙන් කුමක් ද නිවැරදි කියා පහදා දෙන්න" යනුවෙන්. අතිශය මනස්තාපයට පත් වන ජැක්සන් එවේලේම ලිපියක් ලියනවා එම ගුරුවරයාගෙන් සහ ශිෂ්‍යයාගෙන් සමාව ඉල්ලමින්, වැව් තාවුල්ල යන පදය නිවැරදි බව දක්වමින්. එක කතාවක් ඉවරයි.

02. මා සරසවියේ ඉගෙන ගන්නා කාලයේ අපට මහායාන බුදුදහම ඉගැන්වූයේ මහාචාර්ය එච්.එම්. මොරටුවගම මහතා. ඒ වන විට විශ්වවිද්‍යාලයපද්ධතිය ම මාධ්‍යමක දර්ශනය සම්බන්ධයෙන් දැන ගෙන හිටියේ මොරටුවේ සාසනරතන හාමුදුරුවන්ගේ "මූලමාධ්‍යමිකකාරිකා" විතරයි. ඒ අතර මහාචාර්ය අසංග තිලකරත්න මහතා "ශූන්‍යතාවාදය හා චරණය" කියලා පොතක් එළි දක්වනවා. එහිදී ඔහු 'මධ්‍යමක' කියන පදය යොදනවා. මොරටුවගම මහතා අපට හැමදාම කියා දුන්නේ 'මාධ්‍යමික' කියන පදය. මේ නිසා මේ වචන දෙකේ වෙනස ගැන මං ඇහුවා. එදා, තමනුත් පාලි සංස්කෘත උගත් මහාචාර්යවරයෙකු ලෙස එච්.එම්. මොරටුවගම මහතා උත්තර දුන්නේ මෙහෙමයි. "මම දන්න තරමින් නම්, මාධ්‍යමික යන වචනය තමයි ව්‍යාකරණානුකූලව නිවැරදි, නමුත් අසංග කියන්නේ කුශාග්‍ර දැනුමක් තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් හේතුවක් නැතිව යමක් ලියන්නේ නැහැ. පුළුවන් නම් අසංගගෙන් මේක අහලා මටත් පොඩ්ඩක් කියනවා ද?". ඉන් දින කීපයකට පසුව මම අසංග තිලකරත්න මහතාව හමු වී මේ ගැන ඇහුවා. ඔහු ඉතා කාරුණිකව එම පද දෙකේ ව්‍යාකරණමය වෙනසත් අර්ථ වෙනසත් පැහැදිලි කළා. මධ්‍යමක කියන්නේ එම දර්ශනයට, මාධ්‍යමික කියන්නේ එම දර්ශනය අනුගමනය කරන්නාට.

3. තුන් වන කතාව මෙහෙමයි. ලබුගම ලංකානන්ද පණ්ඩිත හාමුදුරුවන් ලියන ලිපියක 'ස්‍රොත' කියන වචනයට දන්තජ 'ස' ලියා තිබුණා. මේක දුටුවාම හැමෝම හිතුවේ මේක වැරදීමක්, මෙතන්ට දන්තජ නෙවේ, තාලුජ ලියා 'ශ්‍රෝත' කියා නිවැරදි විය යුතු බවයි. නමුත් පේරාදෙණියේ හිටපු සිංහල මහාචාර්ය, දැන් සිංහල විශ්වකෝශයේ ප්‍රධන කර්තෘ කේ.එන්.ඕ, ධර්මදාස මහතා තීරණය කරනවා, නැහැ මේක සොයා බලන්න ඕනේ කියලා. පසුව සියලු දෙනාට වැටහෙනවා, දන්තජ 'ස' සහිතව 'ස්‍රෝත' කියා ලියන්නේ 'ප්‍රවාහය' කියන අර්ථයට බව. ධර්මදාස මහතා එහිදී "ලංකානන්ද හාමුදුරුවන්ගේ අක්ෂරවින්‍යාසය හදන්න අපි කවුද" කියා කියන්නේ මද සිනහවක් ද පහළ කරමිනි.

කිසියම් උගත් පුද්ගලයෙකුට වරදින්නේ නැත කියා නියමයක් නැත. නමුත් එවැනි කෙනෙකුගේ අතින් වරදක් වුණාම හෝ වරදක් වී ඇති බව පෙනී යන විට හෝ ඒ ගැන සොයා බැලීමක් කළ යුතුය. කිසිවිටෙකත් ඔහු/ඇය මෝඩයෙකු ලෙස උපකල්පනය නොකළ යුතුය.

Comments

Popular posts from this blog

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප