Skip to main content

වැරදි නිවැරදි කිරීම

ඇත්ත කතා තුනක්.

01. ජැක්සන් ඇන්තනි වරක් පොළොන්නරුව ප්‍රදේශයේ වාර්තා වැඩසටහනක් කරනවා. ඒ කාලේ ඔහු ජාතික රූපවාහිනියේ නිවේදකයෙක්. ඒ වැඩ සටහන අතර තුර ඔහුට අවස්ථා කීපයකදීම කියැවෙනවා "වැව් තාවිල්ල" කියන වචනය. පස්සේ ඔහුට එය වැටහී "වැව් තාවුල්ල" කියා තරමක් බර කොට කියනවා.

මේ සිදුවීමෙන් දින කීපයකට පසු එක්තරා පාසල් දරුවෙක් තමාගේ සිංහල රචනාවට වැව් තාවිල්ල කියන වචනය ලියනවා. එය දුටුව ගුරුවරයා "මේක වැරදියි පුතා, නිවැරදි පදය වැව් තාවුල්ල" කියා හදනවා. නමුත් දරුවා කියනවා, ජැක්සන් ඇන්තනීත් මේ වචනය භාවිත කළේ මෙහෙමයි කියා. ගුරුවරයා කියනවා, එහෙමනම් තමා පොඩ්ඩක් ඒ ගැන සොයා බලන්නම් කියා. ඒ ගුරුවරයා අදාළ සිදුවීම ලියලා ජැක්සන්ට ලිපියක් එවනවා, "මහත්මයාණෙනි, මේ වචන දෙකෙන් කුමක් ද නිවැරදි කියා පහදා දෙන්න" යනුවෙන්. අතිශය මනස්තාපයට පත් වන ජැක්සන් එවේලේම ලිපියක් ලියනවා එම ගුරුවරයාගෙන් සහ ශිෂ්‍යයාගෙන් සමාව ඉල්ලමින්, වැව් තාවුල්ල යන පදය නිවැරදි බව දක්වමින්. එක කතාවක් ඉවරයි.

02. මා සරසවියේ ඉගෙන ගන්නා කාලයේ අපට මහායාන බුදුදහම ඉගැන්වූයේ මහාචාර්ය එච්.එම්. මොරටුවගම මහතා. ඒ වන විට විශ්වවිද්‍යාලයපද්ධතිය ම මාධ්‍යමක දර්ශනය සම්බන්ධයෙන් දැන ගෙන හිටියේ මොරටුවේ සාසනරතන හාමුදුරුවන්ගේ "මූලමාධ්‍යමිකකාරිකා" විතරයි. ඒ අතර මහාචාර්ය අසංග තිලකරත්න මහතා "ශූන්‍යතාවාදය හා චරණය" කියලා පොතක් එළි දක්වනවා. එහිදී ඔහු 'මධ්‍යමක' කියන පදය යොදනවා. මොරටුවගම මහතා අපට හැමදාම කියා දුන්නේ 'මාධ්‍යමික' කියන පදය. මේ නිසා මේ වචන දෙකේ වෙනස ගැන මං ඇහුවා. එදා, තමනුත් පාලි සංස්කෘත උගත් මහාචාර්යවරයෙකු ලෙස එච්.එම්. මොරටුවගම මහතා උත්තර දුන්නේ මෙහෙමයි. "මම දන්න තරමින් නම්, මාධ්‍යමික යන වචනය තමයි ව්‍යාකරණානුකූලව නිවැරදි, නමුත් අසංග කියන්නේ කුශාග්‍ර දැනුමක් තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් හේතුවක් නැතිව යමක් ලියන්නේ නැහැ. පුළුවන් නම් අසංගගෙන් මේක අහලා මටත් පොඩ්ඩක් කියනවා ද?". ඉන් දින කීපයකට පසුව මම අසංග තිලකරත්න මහතාව හමු වී මේ ගැන ඇහුවා. ඔහු ඉතා කාරුණිකව එම පද දෙකේ ව්‍යාකරණමය වෙනසත් අර්ථ වෙනසත් පැහැදිලි කළා. මධ්‍යමක කියන්නේ එම දර්ශනයට, මාධ්‍යමික කියන්නේ එම දර්ශනය අනුගමනය කරන්නාට.

3. තුන් වන කතාව මෙහෙමයි. ලබුගම ලංකානන්ද පණ්ඩිත හාමුදුරුවන් ලියන ලිපියක 'ස්‍රොත' කියන වචනයට දන්තජ 'ස' ලියා තිබුණා. මේක දුටුවාම හැමෝම හිතුවේ මේක වැරදීමක්, මෙතන්ට දන්තජ නෙවේ, තාලුජ ලියා 'ශ්‍රෝත' කියා නිවැරදි විය යුතු බවයි. නමුත් පේරාදෙණියේ හිටපු සිංහල මහාචාර්ය, දැන් සිංහල විශ්වකෝශයේ ප්‍රධන කර්තෘ කේ.එන්.ඕ, ධර්මදාස මහතා තීරණය කරනවා, නැහැ මේක සොයා බලන්න ඕනේ කියලා. පසුව සියලු දෙනාට වැටහෙනවා, දන්තජ 'ස' සහිතව 'ස්‍රෝත' කියා ලියන්නේ 'ප්‍රවාහය' කියන අර්ථයට බව. ධර්මදාස මහතා එහිදී "ලංකානන්ද හාමුදුරුවන්ගේ අක්ෂරවින්‍යාසය හදන්න අපි කවුද" කියා කියන්නේ මද සිනහවක් ද පහළ කරමිනි.

කිසියම් උගත් පුද්ගලයෙකුට වරදින්නේ නැත කියා නියමයක් නැත. නමුත් එවැනි කෙනෙකුගේ අතින් වරදක් වුණාම හෝ වරදක් වී ඇති බව පෙනී යන විට හෝ ඒ ගැන සොයා බැලීමක් කළ යුතුය. කිසිවිටෙකත් ඔහු/ඇය මෝඩයෙකු ලෙස උපකල්පනය නොකළ යුතුය.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...