Skip to main content

'ත්' දෙකක් යෙදෙන අයුරු - අරුත් පහදුව 2


තත්ත්වය ද? තත්වය ද? කුමක් ද නිවැරදි?

අරුත් පහදුව 1 කියැවූ සියලුම හිතවතුන් එය ඉතා හොඳ ක්‍රියාවක් බව අගය කළ හෙයින් ඉතා සතුටින් යුතුව එහි 2වන ලිපිය ලියමි.

තත්වය, සත්වයා වැනි පද ත්ත් යනුවෙන් හල් ''යනු දෙකක් යොදා ද එකක් යොදා ද ලියන බව ඔබ නිරීක්ෂණය කර ඇතැයි මම සිතමි. අද මම එහි පසුබිම ගැන විස්තර කරන්නට බලාපොරොත්තු වෙමි. 'ත්ව' යනු යම්කිසි දෙයක හෝ පුද්ගලයකුගේ හෝ ස්වභාවය, ගතිස්වරූපය ගැන කියැවෙන තද්ධිත ප්‍රත්‍යයකි. මෙය සිංහලභාෂාවේ එන 'කම' යන ප්‍රත්‍යයට සහ 'බව' යන පදයට අර්ථයෙන් සමාන බවක් පෙන්වයි. ඒ අනුව, 'මනුෂ්‍යතව' (මනුෂ්‍ය + ත්ව) යනු මිනිස්කම, මිනිසත් බව යන අදහස දෙන පදයකි. මෙසේම, 'ඝනත්ව' යනු ඝන හෙවත් දැඩි බවය. 'ගුරු' යනු පුළුල් ලෙස පැතුරුණු යන්නයි. පුළුල් ලෙස පැතිරීම ස්වභාව කොට ඇති නිසා 'ගුරුත්ව' යනු මහපොළවයි. මහපොළවේ ඇති ඇද ගන්නා ශක්තිය 'ගුරුත්වාකර්ෂණය'යි. 'කවිත්ව' යනු කවියාගේ ස්වභාවයයි. එනම් ලෝකය නිර්මාණාත්මකව දැකීමේ හැකියාවයි. තවත් මෙවැනි පද 'ඇති පදම්' අපේ වහරින් සොයා ගත හැකියි. ඒවායේ ද අර්ථය වටහා ගත යුත්තේ මේ අනුවයි. මේ සෑම පදයක් අගටම '' යන්න එකතු වන්නේ සිංහල විභක්තිවල වරනැඟීමේදී ඒක වචනය හඟවන්න, මනුෂ්‍යත්වය, ගුරුත්වය, කවිත්වය යනාදි ලෙස. හැබැයි මින් මතුවට, 'පෘථිවියේ ඇති ගුරුත්වාකර්ෂණය නිසා චන්ද්‍රිකා (satellite හොඳේ) රඳා පවතයි' කියා ලියන්න එපා. ඇයිද යත්, ගුරුත්වාකර්ෂණය තියෙන්නේ පෘථිවියේ මිසක වෙන කොහෙද? දැන් අපි බලමු 'තත්' යන්න. 'තත්' යන මූලයේ අර්ථය 'එය' යන්නයි. 'එයම ස්වභාවය කොට ඇති' යන අර්ථය දීමට තත් + ත්ව යන්න එකතු වී 'තත්ත්ව' යන්න සෑදෙයි. මෙය සිංහල ගැමිවහරේ එන 'හැටි' යන්නට සමානය. 'මං දන්නැද්ද ඕකගේ හැටි!' යන වාක්‍යය ලියන බසට නැඟුවොත් 'මම නොදන්නෙම්ද ඔහුගේ තත්ත්වය' කියා ලිවිය හැක. 'සත්' යනු පැවැත්ම (existence) යන්න කියැවෙන පදයක්. එහි මූලය සංස්කෘත √අස් යන්නයි. පැවැත්ම ස්වභාවය කොට ඇත්තේ යන අර්ථයෙන් සත් + ත්ව යන්න එකතු වී සත්ත්ව යනු සෑදෙයි. දැන් පැහැදිලි ඇති මේ අවස්ථා දෙකේම එක් හල් තයන්නක් මූලය තුළිනුත් අනෙක් හල් තයන්න ප්‍රත්‍යය තුළිනුත් පැමිණි නිසා තමා හල් තයනු දෙකක් වුණේ බව. එහෙනම් ඇයි එක හල් තයන්නක් ලියන්නේ? ලෝකයට පළමුවරට ව්‍යාකරණය කියන ශාස්ත්‍රය හඳුන්වා දුන් පාණිනි නම් ඍෂිවරයාණන් මෙහිදී වැදගත් විකල්ප රීතියක් පෙන්වා දී ඇත. එනම්, යම් අවස්ථාවක 'සවර්ණ' හල් අකුරු දෙකක් එක ළඟ ඇති විට කැමතිනම් එක් අකුරක් මකා දැමිය හැක යන්නයි. පාණිනි අෂ්ටාධ්‍යායී නම් තම කෘතියේදී කීවේ 'ඣරො ඣරි වා සවර්ණෙ' යනුවෙන්ය. මොනවද මේ සවර්ණ හල් අකුරු? ඒ තමයි අප වර්ගාක්ෂර කියා ඉගෙන ගන්නේ. (අනේ, වර්ගාක්ෂර මතක නැතිනම් හෝඩිය බලන්න) සිංහල හෝඩියේ පිළිවෙල සකස් කර ඇත්තේ මේ විදිහේ සංකීර්ණ ව්‍යාකරණ ගැටලුවලට පහසුවෙන් පිළිතුරු සපයා ගත හැකි පරිදි. ඒ අනුව, ක්ක්, ක්ඛ්, ක්ග් වගේ එකම වර්ගයකට යෙදෙන අකුරු දෙකක් එක ළඟ හල් අකුරු හැටියට තිබෙන විට එකක් මකා දමන්න පුළුවන්. 'ත්ත්' කියන්නේත් එක ළඟ යෙදෙන සවර්ණ හල් අකුරු දෙකක්. දැන් තත්ත්වය සහ සත්ත්වයා යන්න තත්වය, සත්වයා කියා ලියන්න පුළුවන් නේද?හැබැයි, මා කීවානේ පාණිනි මෙය කීවේ කැමති නම් කරන්න කියා බව. මෙයට අකැමති පිරිසකුත් සිටින බව එයින් කියැවේ. බෞද්ධ සංස්කෘතභාෂාව බිහි වෙන්නේ චාන්ද්‍රගෝමීන් කියන විශිෂ්ට පඬිරුවන අතින්. ඔහු කළේ එක් තයන්නක් මකා දැමීම. සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් බෞද්ධ සංස්කෘතභාෂාව සහ සම්ප්‍රදාය ගරු කළ බැවින් උන්වහන්සේගේ සිට අද දක්වා විද්‍යාලඞ්කාර පිරිවෙනේ පඬිවරුන් ලියන්නේ එක් හල් තයන්නක් පමණයි. මමත් විද්‍යාලඞ්කාරයේ හොඳේ! නමුත් සාම්ප්‍රදායික ව්‍යාකරණයම ගුරු කොට ගත් විද්‍යෝදය අදටත් ලියන්නේ හල් තයනු දෙකක්. ඉතින් ඔබට අවස්ථාව ඇත කැමති ක්‍රමයක් අනුගමනය කරන්න. හැබැයි ලියන විදිහ හැමවිටම එකම විදිහකින් පවත්වාගෙන යන්න. නැත්නම් නූගතකු ලෙස හැඟවෙන්න පුළුවනි.

'
බෝධිසත්ව' කතාවත් මෙයටම අදාළයි. මං මුලින් කීවානේ 'බෞද්ධ සංස්කෘතභාෂාව' කියා දෙයක් ගැන. ඒ බෞද්ධ සංස්කෘතභාෂාවේදී 'සක්ත' යන පදය ප්‍රාකෘත රූපයෙන් 'සත්ත' කියා ගෙන නැවත සංස්කෘත කිරීමේදී 'සත්ව' කියා ලියා ඇත. සක්ත කියා කීවේ 'ඇලීමට'. බෝධිය හෙවත් නිර්වාණය අවබෝධ කර ගැනීමට ඇලීම නිසා තමයි උන්වහන්සේ 'බෝධිසත්ව' වෙන්නේ. එතකොට එක තයන්නයි. නමුත් සමහරු මෙය 'බෝධිසත්ත්ව' කියා ලියති. එවිට අර්ථය 'අවබෝධයෙන් යුත් හෝ අවබෝධයට කැමති සත්වයා' යන්නයි. අදට නවතින්නමි. සිංහලභාෂාවේ නූතන ගුරුකුල පිළිබඳ විස්තරයක් 'අරුත් පහදුව 3' ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...