Skip to main content

Posts

Showing posts from 2014

බුද්ධභාෂිත යනු මොනවාද?

මෙයට පෙර, වතාවක් මා ලියූ සටහනක රතන, කරණීයමෙත්ත, ධජග්ග, තිරෝකුඩ්ඩ, මහාසමය, ආටානාටිය යන සූත්‍ර පසුව ත්‍රිපිටකයට එකතු කළ ඒවා බව පෙන්වීය. මේවාට අමතරව අග්ගඤ්ඤ සූත්‍රයත් පසුව එකතු කරන ලද්දකැයි ඇතැමුන් කියන නමුත් එය පිළිගැනීමට තරම් සාධක නැත. නමුත් පායාසිරාජඤ්ඤ සූත්‍රය පසුව එකතු කළ බව තහවුරු කර ගත හැක. සූත්‍ර වශයෙන් නොගත්තත් ජාතක, අපදාන, බුද්ධවංස, චරියාපිටක වැනි ඛුද්දක නිකායට අයත් බොහෝ පොත් ද පසුව ත්‍රිපිටකයට ඈඳා ගත් ඒවාය. චන්ද පරිත්ත, සුරිය පරිත්ත ආදී ලෙස පරිත්ත යන නාමය යටතේ ඇති සියල්ලත් මේ ගණයටම අදාළය. මේවා ත්‍රිපිටකයට පසුව එකතු කළ බව කියන්නේ ඒවායේ අන්තර්ගතය පිළිගැනීමට නොහැකි නිසා නොවේය. තමන්ට යමක් පිළිගන්නට නොහැකි වූ පමණින් එය පසුව එකතු කළ එකක් යැයි කීම අතිශය අශාස්ත්‍රීය ක්‍රමයකි. මේවා පසුව එකතු කළ බව කියන්නේ කරුණු 3ක් පාදක කර ගෙනය.

ගැහැනිය - කෑල්ලක්, බඩුවක් සහ මවක්

(දැන උගත් වැඩිහිටියන් උදෙසා පමණයි. අවු 16ට අඩු දරුවන් කියවීමෙන් වළකින්න) ‘ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන’ යන කාව්‍යශේකරයේ කවි පදය නොදන්නා කෙනෙක් නැති තරම්ය. උපන්ගෙයි සිංහල කතා කරන කවුරුත් තමන්ගේ නම ගම ලියන්න දන්නේ නැති වුණත් සම්භාව්‍ය සාහිත්‍යයේ එන මෙම කවිපදය දනිති. එයට හේතුව මෙම කවිපදය හරහා ගැහැනිය යනු ‘වේසියක්, බඩුවක්’ ගානට දාලා කතා කරන්න කාටත් පොඩි රුකුලක් ලැබෙන නිසාය. නමුත් මේ පදය අයත් කවිය සම්පූර්ණයෙන් කියවූ අය හෝ තේරුම් ගත්තු අය අපට සොයා ගැනීමට අපහසුය. දැන් එයට කාලය එළඹ ඇත. පිරිමීනු ද පතන - අවසර, කල්, රහස් තැන මිස නොලැබෙන බැවින - ගැහැනු කවුරු ද වරදෙ නොබැදෙන රාහුල හාමුදුරුවන් ඇත්තටම මේ කියන්නේ පිරිමි ගැහැනු දෙපැත්තක් ගැනය. මුලින්ම චරිත සහතිකයක් දෙන්නේ පිරිමින්ටය. පිරිමි හැමෝම කොයි වෙලේත් අවසර (ඒ කියන්නේ කැමැත්ත), කල් (ඒ කියන්නේ සුදුසු කාලය), සහ රහස් තැන (ඒ කියන්නේ හොර රහසේ ඉන්න පුළුවන් තැන) යන තුන පතනවා. නමුත් ඔවුන්ට ඒවා ලැබෙන්නේ නැහැ. ගැහැනියකට ඕනේ නම් මේ තුන ඇති කරන්න පුළුවන්. අන්න එතනදී එහෙම කරන ගැහැනිය වරදේ බැඳෙනවා.

පුනර්භවය

මේ භවයෙන් අනෙක් භවයට යන 'ගන්ධබ්බ' ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.(සැ.යු. අන්තරාභවය නොවේ). මහාතණ්හාසංඛයසූත්‍රයේදී 'ගන්ධබ්බස්ස පච්චුපට්ටිතෝ හෝති' කීවේ ඒක. දැන් ප්‍රශ්නයක් තියෙනවා, ආත්මයක් නැත්නම් මේ ඊළඟ භවයට යන ගන්ධබ්බයා කවුද? එය පටිසන්ධි විඤ්ඤාණය බව අටුවාව කියනවා. දැන් අපි නිරවුල් කර ගමු මේ පටිසන්ධි විඤ්ඤාණය ගැන. විඤ්ඤාණය යන පදය බුදුරජාණන් වහන්සේ අර්ථ තුනකට භාවිත කරනවා. 1. ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණය , 2. මානස ප්‍රත්‍යක්ෂය 3. විඤ්ඤාණ ස්කන්ධය.

මෙණ්ඩකනය සහ සිත් රිදවීමේ කලාව

  මෙණ්ඩක කීවේ එළුවාටය. එළුවා යනු සිංහලයාට ද සමාන පදයකි. නමුත් මෙහි එළුවා යැයි කීවේ අං සහිත කකුල් හතරේ එළුවා ගැනය. මෙණ්ඩක යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් එළුවාම නොව එම වර්ගයට අයත් සතුන්ය. එම වර්ගයට අයත් සතුන්ට අං දෙකක් ඇත. ඌ පහර දෙන විට එකවර අං දෙකෙන්ම අනියි. එක අනකින් බේරුණාට පලක් නැත. අනෙක් අන ඇවිත් වදියි. අං දෙකෙන්ම අනින්නේ එකම ඉලක්කයකට වීම එයට හේතුවයි. එලෙස අං දෙකෙන් අනින විට කළ හැකි කාර්යයන් දෙකකි. පළමු වැන්න නම් අං දෙක නොවදිනා ලෙස තමා ඉවත් වී මෙණ්ඩකයාට බොරු ඉලක්කයක් පෙන්වීමය. ස්පාඤ්ඤයේ ගොංපොර තරඟවලදී සිදු වන්නේ මෙයය. රතු රෙද්දක් වනා ගවයාව ගොනෙක් කොට බොරු ඉලක්කයක් වෙත අනින්න සලස්වයි. දෙවැනි ක්‍රමය නොහොත් බුදුරජාණන්වහන්සේගේ ක්‍රමය නම් අනින්න එන විට අං දෙකෙන් අල්ලා මෙණ්ඩකයාව නතර කිරීමයි. එය කිරීමට නම් ඉතා ශක්තිමත් පුද්ගලයෙකු විය යුතුය. කලබල වීමට කාරණයක් නැත. බුදුරජාණන්වහන්සේ මේ කතා කරන්නේ ගොංපොර ගැන නොව ගොන් විලස ප්‍රශ්න මතු කරන මුග්ධයන් මෙල්ල කරන විදිහ ගැනය. සාමාන්‍ය ව්‍යවහාරයේ උභතෝකෝටික ප්‍රශ්න යැයි හදුන්වන මෙම ප්‍රශ්න බෞද්ධ තර්කශාස්ත්‍රයේදී ‘මෙණ්ඩකප්‍රශ්න’ ලෙස නම් කෙරේ. එනම් ‘

හරකා, කුකළා සහ සුද්දාගේ අමුඩ ගැහිල්ල

  සිංහල ගොවියා අමුඩේ ගැහුවාම ඉදිරිපසින් ලේන්සුවක් එල්ලුවා සේ සම්පූර්ණ ලිංගේන්ද්‍රිය ද අවට ප්‍රදේශය ද වැසී යයි. (අමුඩය දැකල නැති අය විශ්වකෝශයක් බලන්න). නමුත් ඔහුගේ තට්ටම් දෙක නොවැසී හුදෙක් ගුදමාර්ගය පමණක් වැසී යයි. මේක දැකපු සුද්දා (ඉංග්‍රීසියෙන්) 'අමුඩ ගහන එක මහ ලොකු දෙයක් ද මෙන්න මෙහෙමනේ අමුඩ ගහන්නේ කියා', ඉන වටේ නූලක් ගැටගසා ලේන්සුවක් ගෙන ඉස්සරහින් එල්ලා ගත්තලු. බැලූ බැල්මටම වැඩේ හරි. නමුත් හුළඟට ලේන්සුව උඩ යන විට සුද්දාගේ 'සැට් එක' එළියේ ය. තමාට වැරදුණ බව සුද්දාට තේරුණේ එවිටය. නිවැරදි හැදෑරීමක් නැතිව කරන දේ බලාගෙන සිට තමාටත් කරන්න පුළුවන් යැයි කියා අනාගන්නා අයට සුද්දාගේ අමුඩ ගැහිල්ල මතක් කර දෙන්නේ ඒ නිසාය. බුදුදහමට අනුව සියලු සතුන් ඝාතනය කිරීම වරදකි. පාපයකි. නමුත් මස් කෑම ගැන විරෝධයක් පළ කොට නැත. ත්‍රිකෝටිපාරිශුද්ධිය ගැන දේශනා කර තිබේ. මේ ගැන අපි පසුව කතා කරමු. එහෙනම් ඇයි මේ හරකාට විශේෂ තැනක්. ඇයි කුකුළා පව් නැද්ද කියා අසන තත්වයට අද ප්‍රශ්නය දුර දිග ගොස් ඇත. එයට එකම හේතුව අනගාරික ධර්මපාලතුමාගේ ගවමස් විරෝධය නැවත ගෙන එන්නට වෙර දැරූ අපේ බෞද්ධයන් හැදෑරීමකින් තොරව අමු

පාංසුකූලය කියන්නේ මොකද්ද?

ප්‍රශ්නය: මැරුණු කෙනා වෙනුවෙන් දෙන "පාංශුකූලය " යන්නෙහි තේරුම පහදන්න - කල්පනා ඒකරත්න... පළමුවෙන්ම කියන්න ඕනේ නංගා, කෙනෙක් මැරුණාම පාංශුකූලයක් (පාලියෙන් පාංසුකූල) දෙන්න කියලා බුදුහාමුදුරුවන් කොතැනකවත් දේශනා කරලා නැහැ. දැනට සිංහල ගෙවල පවත්වා ගෙන යන පාංසුකූල චාරිත්‍රය හින්දූන්ගෙන් ගත් 'ශ්‍රාද්ධය' කියන චාරිත්‍රයේ අන්ධානුකරණයක්. දෙවැනියට කියන්න ඕනේ අත්තනායක මුදියන්සේලාගේ හේරත් මහතා අර දොරමඩලාවට ඇවිත් ඔය පාංසුකූලය කියන එකෙන් හැදෙන සිංහල පදය වන 'පවුල්' යනුවෙන් පවුල් සිවුර ආදී ලෙස යෙදෙන පදයයි ව්‍යවහාරයේ යෙදෙන පවුල (family) යන පදයයි එකතු කරලා දීපු මහා පොර අර්ථකථනය කිසිම වාග්විද්‍යාත්මක පදනමක් නැති එකක්. පාංශු කිව්වේ පසට. කූල යන පදය යෙදෙන්නේ එකතු වීම, මිශ්‍ර වීම යන අර්ථයකට. යම් දෙයට අනුව එකතු වන විට තමයි අප අනුකූල (අනු + කූල) කියා කියන්නේ. ඒ අනුව පස් සමග මිශ්‍ර වීම, එකතු වීම තමයි පාංශුකූල කියා කියන්නේ. ශාසනික අර්ථය මෙහෙමයි. යමක් පස්වලට එකතු වන්නේ ඒක අප භාවිතයෙන් ඉවත් කළහමයි. අමුසොහොන කියන සංකල්පය එදා තිබුණනේ. අඩුකුලේ උදවිය මැරුණහම ඒ අයව රෙද්දකින් ඔතලා ගිහින් ස

නැණ පමණින් දැන ගන්නේ කෙසේ ද?

ඇම පමණින් පැවසූ මුනි දැන තතු මෙම හැමදෙන බලවයි දැක්විය යුතු තම තම නැණ පමණින් දැනගත යුතු මම නමදිම් සදහම් පහදා සිතු මෙහි අවස්ථා දෙකක 'පමණ' යන යෙදුම භාවිත කර ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තුන් වන පදයය. එහි යෙදෙන 'පමණ' යන පදය සාමන්‍ය කටවහරේ එන 'ප්‍රමාණය' (එනම් තරම) යන අර්ථයෙන් ගෙන විග්‍රහ කිරීම අද සුලභව දැකිය හැකිය. ඒ අනුව බුදුන්වහන්සේගේ ධර්මය එක් එක් පුද්ගලයාගේ නුවණ තියෙන්නේ යම් තරමකට ද ඒ තරමට ගැළපෙන පරිදි වටහා ගැනීම සුදුසු යැයි මේ කවිය කියයි. නමුත් මෙය කවියේ අර්ථය වරදවා වටහා ගැනීමක් පමණක් නොව, වීදාගම හිමියන්ගේ ප්‍රඥාපාටවයට කළ බලවත් නින්දාවකි. උන්වහන්සේ මෙහි 'පමණ' යන පදය යොදන්නේ දිග්නාග හාමුදුරුවන්ගේ 'ප්‍රමාණසමුච්චය' හා ධර්මකීර්ති හාමුදුරුවන්ගේ 'ප්‍රමාණවාර්තික' ඉදිරියේ තබා ගෙනය. මේ පොත් දෙකේ නමින් ම කියවෙන පරිදි මේ පොත් දෙක ලියන්නේ ප්‍රමාණ සංකල්පය විශ්ලේෂණය කිරීම උදෙසාය. ප්‍රමාණ යන සංස්කෘත පදයේ අර්ථය 'උපායමාර්ගය'ය. ඕනෑම උපාය මාර්ගයක් නොව ඥානය ලබා ගන්නා උපාය මාර්ගයය. ඥානය ලබා ගැනීම සදහා ප්‍රත්‍යක්ෂය, අනුමානය

අහිංසාව සහ පරම අහිංසාව

මහත්මා ගාන්ධි අහිංසාවාදයේ පියා නොවේය. මට අනුව ඔහු මුණුබුරාවත් නොවේය. ඔහුට අහිංසාව යනු තවත් එක් දේශපාලන අවියක් පමණි. සුද්දාගේ නීතිය හොදින් හදාරා ඇති නිසා ඔහු දැන ගත්තා එම නීතයේ තියෙන ලොකුම අඩුපාඩුව. ඒ තමයි ගහන කෙනාට නොව ගුටි කන කෙනාට පමණක් නීතියේ පිළිසරණ ලැබෙන බව. ගුටි කන්නේ කොහොමද ගහන්නේ නැති නම්. ඒ නිසා ඔහු ගුටි කන වැඩ හොයාගෙන ගොස් ගහන්නේ නැතිව ගුටි කෑවේය. එය ඔහුට අනුව අහිංසාවය. සාර්ථක දේශපාලන අරගලයකට මාධ්‍යයය.  කායික වශයෙන් හිංසා පීඩා නොකර සිටීම අහිංසාව ලෙස ගත්තොත් එම අදහසේ පෞරාණිකත්වය ඍග්වේදය දක්වා දිව යයි. නමුත් අථර්වවේදයේ සුලභව හමුවන කරුණුවලට අමතරව ඍග්වේදයේ ද විශේෂයෙන්ම පූෂන් වන්දනා කරන කළ අහිංසාව ගිලිහී යයි. භරත ගෝත්‍රිකයන් වෙත යදින විට අහිංසාව ගිලිහී යයි. පණි ලෙස දැක්වෙන පර්සියානු වෙළෙන්දන් ගැන කියද්දී අහිංසාව ගිලිහී යයි. බ්‍රාහ්මණ යුගයේද මෙයට වඩා වෙනසක් නැත. රාජසූය, අශ්වමේධ, පුරුෂමේධ වැනි යාගවලදී අහිංසාව ගෑවිලාවත් නැත. යන්තමට මෙන් අහිංසා යන පදය අපට හමු වන්නේ ඡාන්දෝග්‍ය උපනිෂදයේය. ඒත් වැඩි විස්තරයක් නැත. භගවද්ගීතාවට එන විට මරණය සහ මැරීම යන දෙකම වරදක් නැති බව සාධාරණීකරණය

ජාතිවාදය සහ ජාතිකවාදය - ජාතිකචින්තනය 1

ප්‍ර: ජාතිවාදය සහ ජාතිකවාදය කියන්නේ එකක් ද දෙකක් ද? මොකද් ද මේ දෙකේ වෙනස? උ: පැහැදිලිවම දෙකක්. මේ දෙක අර්ථකථනය කරන ආකාරයෙන්ම ඒ වෙනස මතු වෙනවා. ඉංග්‍රීසියෙන් මේ සඳහා පැහැදිලිවම වෙනස් වචන දෙකක් තියෙනවා. ජාතිවාදයට කියන්නේ racism කියලා. ජාතිකවාදයට කියන්නේ nationalism කියලා. ප්‍ර: ජාතිවාදය අර්ථකථනය කරන්නේ කොහොම ද? උ: ජාතිවාදය කියන්නේ, කිසියම් ජාතියක් තම ජාතිය උසස් ලෙස සලකමින් වෙනත් ජාතියක් හෝ ජාතීන් කීපයක් යටපත් කරන්න දරන උත්සාහය. එය දේශපාලනික, ආගමික, සංස්කෘතික ආදී ඕනෑම ආකාරයකින් විය හැකියි. උදාහරණයක් ලෙස හිට්ලර්ගේ නාසිවාදය පෙන්වන්න පුළුවන්. ඔහු ශුද්ධ ආර්ය ජාතියක් පිළිබඳ විශ්වාස කළා. ප්‍ර: එතකොට ජාතිකවාදය කියන්නේ? උ: කිසියම් ජාතියක් තමන්ගේ උරුමය රැක ගැනීම පිණිස හෝ තම ජාතිය වඳ වී යාම වැළක්වීම පිණිස හෝ තම ජාතියට එරෙහිව නැඟෙන විරෝධතාවන් වැළැක්වීමට දරන සාමූහික ප්‍රයත්නයක් තමයි ජාතිකවාදය කියන්නේ. එයත් දේශපාලනික, ආර්ථික, සංස්කෘතික වශයෙන් සිදුවෙන්න පුළුවන්. ප්‍ර: මේවා ඔබේ අර්ථකථන ද නැතිනම් ජාත්‍යන්තරව පිළිගත් ඒවා ද? උ: මේවා මගේ අර්ථකථන. මොකද, ජාතිවාදය සහ ජාතිකවාදය කියන්නේ අතිශය ස

සම්ප්‍රදායභීතිකාව සහ වජිරථේරන්‍යාය

චින්තන ස්වරූපය අනුව ලංකාවේ මිනිසුන් වර්ග දෙකක් ඇති බව පැහැදිලිව හඳුනා ගත හැක. ඉන් පළමු වැනි කොටස සමාජවාදීන්, මාක්ස්වාදීන්, පශ්චාද්නූතනවාදීන්, පශ්චාද්මාක්ස්වාදීන්, වාමවාදීන්, මානවවාදීන්, ස්ත්‍රීවාදීන් ආදී නම්වලින් පෙනී සිටින අයගෙන් ද රැඩිකල් චින්තකයන් යැයි කියා ගන්නා අයගෙන් ද නිරාගමිකයන්ගෙන් ද සමන්විත වේ. පොදුවේ මේ සියලු දෙනා හැදින්විය හැකි සර්වනාමයක් අද හඳුනා ගෙන ඇත. එනම් විශේෂයෙන් 'සිංහලබෞද්ධ' හා පොදුවේ 'බෞද්ධ' විරෝධීන්ය. කුමක් නිසා ද යත්, මොවුන් කතෝලික, මුස්ලිම්, හින්දු යන ආගම්වලට එරෙහිව හඬ නැඟුවොත් රටදැයට ආදරය කරන මිනිසුන් මෙන් පෙනී යා හැක යන භීතිකාව නිසාය. නැතහොත් විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් එන මුදල් නොලැබී යාවී යන අවධානම නිසාය. නැතහොත් තමාගේ හිස් බව වසා ගැනීමටත් 'මං පොර' මානසිකත්වයට ඒමටත් ලංකාවේදී ඇති හොඳම උපායමාර්ගය බුදුදහමට හා ඉතිහාසයට බැණ වැදීම බව වැටහී ගොස් ඇති නිසාය. දැවැනි මිනිස් වර්ගය නම් සිංහල යැයි බෞද්ධ යැයි කියා ගනිමින් සිංහලකම ගැන දන්නේත් නැති ධම්මපදයවත් කියවලා නැති සම්ප්‍රදායයම ශ්‍රේෂ්ඨ යැයි කියා ගනිමින් සිටින සම්ප්‍රදායවාදීන්ය. ලංකාවේ විව

චේතනාව කර්මය වන හැටි

අවුරුදු දෙදසකට අධික කාලයක් ගිහිල්ලත් අපේ අයට තාම බැරිවෙලා තියෙනවා, කර්මය යනු චේතනාවයි කියන එක තේරුම් ගන්න. සමහරු හිතන් ඉන්නේ මේ චෙතනාව කිව්වේ, උදේ ඉදන් රෑවෙනකම් තොරතෝංචියක් නැතිව ගලාගෙන එන හැම සිතුවිල්ලක්ම තමයි කියල. සමහරු හිතන්නේ චේතනා කියන්නේ හැඟීම්වලට කියල. විඤ්ඤාණය කියන්නේ ඉඳුරන් ඇසුරෙන් ලබන දැනීම. එම විඤ්ඤාණය කොටස් දෙකකට බෙදනවා, චේතනා, මනසිකාර කියලා. මනසිකාර කිව්වේ, මෙනෙහි කිරීම කියන එක. මෙනෙහිකරන්නේ අතීතය. අප ලැබූ අද්දැකීම් පිළිබඳ අතීත ආවර්ජනයක් නිතර අපට අවශ්‍ය වෙනවා එදිනෙදා ජීවිතයේදී. උදාහරණයක් විදිහට ලස්සන අරලිය මලක් දැක්කාම ඒක සුවඳයි කියලා අපට මතක් වෙනවා අපි අතීතයේ ඒ සුවඳ විඳලා තියෙන නිසා. අහසේ කළුවලාකුළු දැක්කාම හිතෙනවා තව ටිකකින් වහියි කියලා. මේ දැනුම අපට ලැබෙන්නේ මනසිකාරය නිසා. ඒක විඤ්ඤාණයේ (දැනීමේ) අනිවාර්ය කොටසක්. අනෙක් කොටස තමයි චේතනාව. මනසිකාරය අතීතයට සම්බන්ධ වන සේ චේතනාව සම්බන්ධ වෙන්නේ වර්තමානයටයි, අනාගතයටයි. චිත්ත කියන පදය හැදෙන්නේත්, චේතනා කියන පදය හැදෙන්නේත් එකම ‘චින්ත්‘ කියන ධාතුවෙන්. එම ධාතුවේ අර්ථය ‘සිතීම, කල්පනා කිරීම‘ කියන එකයි. ඒ අනුව චේතනාව කියන්නේ අපේ තර්ක

කාලාම සූත්‍රය හා චින්තනනිදහස

අද ඇතැමුන් සිතන්නේ කාලාම සූත්‍රයට අනුව සියලුම ඥානමූලාශ්‍රයයන් ප්‍රතික්ෂේප කළ යුතු බවකි. ඇත්තටම එසේ සිතන්නේ, ඔවුන්ට ඇතැම්විට පාලිභාෂාව ගැන දැනුමක් නැතිව සිංහලෙන් ත්‍රිපිටකය කියවන්නට යෑම නිසා ඇතිවූ වැරදි අවබෝධයකින් විය හැක. ඇතැම්විට භාරතීය දර්ශන සම්ප්‍රදායයන් ගැන නොදන්නාකමින් විය හැක. නැති නම් මේ දෙකම නිසා යැයි මම සිතමි. බුදුදහමට අනුව ඥානමූලාශ්‍රයය යනු එකකි. ඥානනිර්ණය හෙවත් නිශ්චයාත්මකඥානය යනු වෙනත් දෙයකි. මිනිසෙකුට යම් දැනුමක් ලබා ගැනීමට නම් එය කිසියම් ආකාරයකින් උගත යුතුය. ඉගෙනීම සඳහා, ගුරුවරයකුගෙන් අසා දැන ගැනීම, වැඩිහිටියන්ගෙන් අසා දැන ගැනීම, පොත්පත් කියවීම, වෙනත් ශ්‍රව්‍යදෘෂ්‍ය මාධ්‍යයන් ඇසුරු කිරීම වැනි ක්‍රම ගණනාවක් ඇත. මේ සෑම ක්‍රමයකින්ම අපට දැනුම ලබා ගත හැක. බුදුදහම මෙලෙස දැනුම ලබා ගැනීම වරදක් කියා පෙන්වන්නේ නැත. එය නොකළ යුතුයැයි කියන්නේ ද නැත. ඉදින් කියම් මූලාශ්‍රයයක් ඇසුරු කරමින් අප දැනුම ලබන්නේ නැති නම් අපට දැනුම ලබා ගැනීමට වෙනත් ක්‍රමයක් හෝ අවස්ථාවක් හෝ නැත. සම්මාදිට්ඨිය ඇතිවීමට කරුණු දෙකක් අවශ්‍ය බව මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වේ. ඉන් පළමුවැන්න නම් 'පරතෝඝෝෂය'ය

භාෂාවේ මායාව

භාෂාව කියන්නේ හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. අප ඉතා දක්ෂ වුණේ නැති නම්, භාෂාව භාවිත කරමින් මිනිසුන් නොමඟ යැවීමට පෙළඹෙන පිරිස ඉතා වැඩිය. බලන්න එකම සිදුවීම දෙදෙනකු වාර්තා කර ඇති අයුරු. "බුදුදහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා (21 වැනිදා) නියෝග කළේය. මෙම අධිකරණ තීරණයට ඔබ... එකඟයි / එකඟ නැත." "වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් මෛත්‍රිය සහ උපේක්ෂාව මත පදනම් වූ ථේරවාදී බෞද්ධ දර්ශනයෙන් ශික්ෂණය ලත් ලංකාවේ සිංහල බෞද්ධයන්, සුද්දියකගේ පච්චයක් දැකීමෙන් 'කැළඹීමට පත්වේයැයි' ලංකාවේ උසාවිය විසින් නිගමනය කිරීම, බෞද්ධයන්ට කළ අපහාසයකි / නිවැරදි තීන්දුවකි. " මා මෙහිදී කියන්න උත්සාහ කළේ, සිංහල භාෂාවේ ව්‍යාකරණය වැනි කරුණුවලට වඩා ලේඛන ශෛලිය මත සිදු කරන බරපතල වරදක් ගැන. කාටවත් අපහාසයක් නොවේ, අප

ත්‍රිපිටකය හැදෑරීමෙන් එය විනාශ කිරීම

පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනේ කුලපති භවන සහ එයට ඉදිරියෙන් ඇත්තේ ධර්මසංගායනා වේදිකාව අටුවාචාරී බුද්ධඝෝස තෙරුන් විසුද්ධිමග්ගය බාර දුන් අවස්ථාව - කැලණි බිතුසිතුවම් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව සංස්කරණය කිරීමේ සංගායනාවේ අධ්‍යක්ෂ ලෙස ක්‍රියා කළ විද්‍යාලංකාර පිරුවනේ හිටපු අධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි (ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ, 2500 බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව සංස්කරණය කිරීම සඳහා සංගායනාව පැවත්වූ වේදිකාවය. එම සංගායනාවට යොදා ගත් සියලු භාණ්ඩ සහ පරිෂ්කාර නිධන් වස්තු ලෙස තැන්පත් කොට වර්තමාන ප්‍රතිසංස්කරණය සිදු කර ඇත.) "ත්‍රිපිටකය යම් තාක් කටපාඩමින් පවත්වාගෙන ආවා ද ඒ තාක් එය මනාව රැකුණි. යම් දිනෙක එය පොත්වල ලීවා ද එතැන් සිට එය විනාශ වුණි" යනුවෙන් දැනට වසර කීපයකට පෙර ජපන් ජාතික මහාචාර්ය එන්ඩෝ කළ ප්‍රකාශයක් මා දෙසවන් තුළ තවමත් රැවු දේ. එය 100%ක් ඇත්තය. එහිම වෙනත් පැතිකඩක් මම අද දිගහරිමි. එදා ත්‍රිපිටකය තිබුණේ පන්සලේ විතරය. එයත් අල්මාරියක තැන්පත් කොට ලොකු ඉබ්බෙක් ද දමා ආරක්ෂා කර තිබිණි. ත්‍රිපිටකය කියවන්නට යමෙකුට අවශ්‍ය වී නම් ඔහු පන්සලට ගොස් හා

දාර්ශනිකයා සහ පිස්සා

දාර්ශනිකයා සහ පිස්සා අතර ඇත්තේ කෙස් ගහකටත් වඩා පොඩි වෙනසකි. මේ නිසා අප සමාජයේ සිටින දාර්ශනිකයන් (විශේෂයෙන් ම මූණුපොතේ) පිස්සන්ගෙන් වෙන් කර හදුනා ගැනීම අපහසු බව මගේ වැටහීම විය. නමුත් මෑතකදී මා කළ අධ්‍යයනයකට අනුව දාර්ශනිකයකු සහ පිස්සකු අතර කැපී පෙනෙන වෙනස්කම් කීපයක් ද ඇති බව අනාවරණය විය. මේ සටහන ඒ වෙනස්කම් ගැනය. 01. දාර්ශනිකයා තමා සියල්ල දන්නා අයෙක් යැයි නොසිතයි. පිස්සා එසේ සිතයි. 02. දාර්ශනිකයා තමාගේ අතින් වරදක් වූ විට එය හදුනාගෙන හෝ වෙනකෙනෙක් පෙන්වා දුන් පසු පිළිගෙන නිවැරදි කර ගනී. පිස්සා තමාගේ වරද සාධාරණීකරණය කරයි. 03. දාර්ශනිකයා අනුන්ගේ දැනුම අගයයි. පිස්සා අනුන්ගේ දැනුමට ගරහයි. 04. දාර්ශනිකයා මුලින් ඉගෙනගනියි, පසුව සිතයි. පිස්සා මුලින් සිතයි, පසුව තමාගේ සිතුවිලිවලට ගැලපෙන පොත් ටිකක් හොයාගෙන කියවයි. 05. දාර්ශනිකයා හා පිස්සා අතර ඇති ලොකුම වෙනස නම් දාර්ශනිකයාට ඥානවිභාගයක් ඇත. එනම් තමා දැනුම ලබා ගත්තේ කෙසේ දැයි තමාම විමසා බලන අතර වෙන කෙනෙකු ඒ ගැන විමසූ විට නිවැරදිව පැහැදිලි කර දෙයි. තමා දැනුම ලබා ගත් අයුරින් වෙන අයෙකුටත් එම දැනුමම ලබා ගත හැකි බව ඔහු පිළිගනියි. පිස්සාට ඥානවිභාගය

නපුංසකයෝ තුන් දෙනා

මේ ලෝකයේ නපුංසකයෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාට තියෙන්නේ කාලය, දේශය, පුද්ගලත්වය යන ප්‍රශ්න තුනය. පළමු වැනියා මෙහෙම කියනවා. "ඕවා ඒ කාලේ කළාට මේ කාලේ කරන්න බෑ." එයාට තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. රජකාලේ කළාට දැන් බෑ. සුද්දගෙ කාලේ කළාට දැන් බෑ වගේ දේවල් තමා ඔහු/ඇය කියන්නේ. දෙවැනියා මෙහෙම කියනවා, "ඕවා එහෙ කළාට මෙහෙ කරන්න බෑ". එයාට තියෙන්නේ දේශය පිළිබඳ ප්‍රශ්නයක්. රුසියාවේ කලාට ලංකාවේ බැහැ. ඉන්දියාවේ කළාට ලංකාවේ බැහැ. උඩරට කළාට පහතරට බැහැ වගේ දේවල් තමා එයාගේ අදහස්. තුන් වැනියා මෙහෙම කෙනෙක්. "ඕවා එයා කළාට උඹට බැහැ/මට බැහැ" ආදී වශයෙන්. එයාට තියෙන්නේ පුද්ගල ප්‍රශ්නයක්. ධර්මපාලතුමා කළාට උඹට බැහැ. ලෙනින් කළාට උඹට බැහැ. ගාන්ධි කරපු දේවල් මට කරන්න පුළුවන් ද ආදී වශයෙන් තමා එයා කතා කරන්නේ. විප්ලවය කියන්නේ හැම විටම ආයුධ සන්නද්ධ අරගලයක් නෙවේ. මට අනුව විප්ලවය කියන්නේ සමාජය දැන් පවතින තත්වයට වඩා උසස් තත්වයකට ගෙන ඒමට දරන වෑයමයි. ඉදින් ඔබ යම් විප්ලවයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, පළමුව මේ නපුංසකයන් තුන් දෙනාව හොයා ගෙන පිටුවහල් කරන්න. නැත්තම් වැඩේ හරිම අමාරුයි. සෝම හාම

වැරදි නිවැරදි කිරීම

ඇත්ත කතා තුනක්. 01. ජැක්සන් ඇන්තනි වරක් පොළොන්නරුව ප්‍රදේශයේ වාර්තා වැඩසටහනක් කරනවා. ඒ කාලේ ඔහු ජාතික රූපවාහිනියේ නිවේදකයෙක්. ඒ වැඩ සටහන අතර තුර ඔහුට අවස්ථා කීපයකදීම කියැවෙනවා "වැව් තාවිල්ල" කියන වචනය. පස්සේ ඔහුට එය වැටහී "වැව් තාවුල්ල" කියා තරමක් බර කොට කියනවා. මේ සිදුවීමෙන් දින කීපයකට පසු එක්තරා පාසල් දරුවෙක් තමාගේ සිංහල රචනාවට වැව් තාවිල්ල කියන වචනය ලියනවා. එය දුටුව ගුරුවරයා "මේක වැරදියි පුතා, නිවැරදි පදය වැව් තාවුල්ල" කියා හදනවා. නමුත් දරුවා කියනවා, ජැක්සන් ඇන්තනීත් මේ වචනය භාවිත කළේ මෙහෙමයි කියා. ගුරුවරයා කියනවා, එහෙමනම් තමා පොඩ්ඩක් ඒ ගැන සොයා බලන්නම් කියා. ඒ ගුරුවරයා අදාළ සිදුවීම ලියලා ජැක්සන්ට ලිපියක් එවනවා, "මහත්මයාණෙනි, මේ වචන දෙකෙන් කුමක් ද නිවැරදි කියා පහදා දෙන්න" යනුවෙන්. අතිශය මනස්තාපයට පත් වන ජැක්සන් එවේලේම ලිපියක් ලියනවා එම ගුරුවරයාගෙන් සහ ශිෂ්‍යයාගෙන් සමාව ඉල්ලමින්, වැව් තාවුල්ල යන පදය නිවැරදි බව දක්වමින්. එක කතාවක් ඉවරයි. 02. මා සරසවියේ ඉගෙන ගන්නා කාලයේ අපට මහායාන බුදුදහම ඉගැන්වූයේ මහාචාර්ය එච්.එම්. මොරටුවගම මහතා. ඒ වන විට විශ්ව

පාන්තික පරිසරය

තාත්තා එකින් එක ඉවත් කරයි අස් කරයි එකින් එක විසික්කර මා වෙතට ගෙවීගිය ටයර් මළ බැඳුණු කම්බි කැඩී ගිය පුටුකබල් බර‍ට තැබූ කළු ගල් වියළි දරදඬු පොල්කෝම්බ දිරා ගිය තහඩු කෑලි ඉටිකොළ. මේක අපේ ගෙයි වහල වැස්සට තෙමෙනවා ඒකයි තාත්ත මේ හදන්නෙ. මේවා ඉවත් කර හොඳ තහඩු ටිකක් දා ගමු යැ යි කියන්නට හිතුන ද කට පියා ගතිමි මම්. මේවා තාත්තා අමාරුවෙන් හම්බකරපුවා විසිකරන්න බෑ එක පාරට ඩෙංගු, මැලේරියා බෝ වුණත්....

මවු සෙනෙහස

ඇඳගෙන පරණ ඇඳුම් ඔසවාගෙන දෑතින් විශාල බෑග් දෙකක් බරට බරේ මොනවා ද ඔබා ගෙන ගත පුරා දහදියෙන් නැහැවී නහයට උනන හොටු වැටෙන්නට නොදී ඉහළට ඇද ඇද පුංචිම පුංචි කොලු පැටියෙක් ඉකි ගසමින් ඇවිද ගෙන යයි රූටමින් ඌට ඉදිරියෙන් උගේ තරම්ම කිළිටි ඇඳුම් ඇඳ ගත් ගැහැනියක් තවත් පුංචි කෙළි පැටික්කියක් වඩා ගෙන ඇදෙයි ඉදිරියට කොලු පැටියා ළං වී කියයි ඇයට බැගෑපත් ස්වරයෙන් ඇස් අග කඳුළු පුරවාගෙන 'අම්මේ මට බරයි' කෝපයෙන් ඌ දෙසට හැරුණු ඈ ටොක්කක් ඇන්නාය ඌට හයියෙන් "අම්මෝ....." කොලුවා මර ළතෝනි දෙයි. අවට ගසක හුන් කාක්කෝ ඉහළට ඉගිළ ගියහ. මඟතොට යනෙන අයගේ ඇස් හැරිණි උන් දෙසට. කොලුවා නිහ ඬ විය ටික වේලාවකින්   හුස්ම ගත නොහැකි සේ පපුව හිර කරමින් ඉකිගසමින් ඇය අදෙයි ඉදිරියට පෙර සේ... (රාගම දුම්රියපොලදී දුටු සත්‍ය සිදුවීමකි.)

මාධ්‍ය වාර්තාකරණය

මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි... සේකරයන්ගේ ඒ පබැඳුම දැන් දැන් ඉඳහිටවත් කිසිදු මාධ්‍යයකින් ඇහෙන්නේ නැත. නන්දා මාලනිය වැරදීමකින්වත් දැන් එය ගයන්නේ නැත. මේක ජාතිවාදී ගීයක්! කලාකරුවන් ජාතිවාදයෙන් ඉවත් විය යුතු. කලකට රහ ලු කලකට වහ ලු. සුනිල් ආරියරත්නයන් ඉගෙන ගෙන දෙමළ දැන් ලියන්නෑ ඔය බහු බූත. ඒ වෙනුවට පරිවර්තනය කරනවා දෙමළ රාමායණය සිංහලට කියා දෙන්න අපේ අයට ඉන්දියාවේ රාම ලංකාවේ රාවණව මැරූ හැටි. මේ හින්දයි අප උද්ඝෝෂණය කරන්නේ කෑගහමු අපි මේ....... සිංහල අපේ රටයි අප........ ඉපදෙන මැරෙන රටයි තෙරුවන් වැඳ පන්සිල් ගෙන ඇරඹුවෙමු අපි අපේ ගමන විහාර මහාදේවි උද්‍යානයේ බුදුරුව අසලින් බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවට... “අද අපට වීරයෙක් අවශ්‍යයි දියසේන ඉපදෙනකං බලං ඉන්න බෑ අනගාරික ධර්මපාල හික්කඩුවේ සුමංගල නාහිමි වගේ ශ්‍රේෂ්ඨ නායකයන් අපට අවශ්‍යයි අද ඒ මිනිස්සුන්ට ඉපදෙන්නවත් දෙන්නෑ තිඹිරි ගෙදරදීම මරල දානවා” මට මතකයි මීට ටික දවසකට ඉස්සර හම්බවුණා මට දියසේන කුමාරයව. නම ටිකිරි බණ්ඩාරලාගේ දියසේන තාත්තා බෞද්ධ අම්මා කතෝලික අම්මාගේ බල කිරීමට ත