Skip to main content

මෙණ්ඩකනය සහ සිත් රිදවීමේ කලාව


http://thumbs.dreamstime.com/x/goat-fight-7988635.jpg
 




මෙණ්ඩක කීවේ එළුවාටය. එළුවා යනු සිංහලයාට ද සමාන පදයකි. නමුත් මෙහි එළුවා යැයි කීවේ අං සහිත කකුල් හතරේ එළුවා ගැනය. මෙණ්ඩක යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් එළුවාම නොව එම වර්ගයට අයත් සතුන්ය. එම වර්ගයට අයත් සතුන්ට අං දෙකක් ඇත. ඌ පහර දෙන විට එකවර අං දෙකෙන්ම අනියි. එක අනකින් බේරුණාට පලක් නැත. අනෙක් අන ඇවිත් වදියි. අං දෙකෙන්ම අනින්නේ එකම ඉලක්කයකට වීම එයට හේතුවයි. එලෙස අං දෙකෙන් අනින විට කළ හැකි කාර්යයන් දෙකකි. පළමු වැන්න නම් අං දෙක නොවදිනා ලෙස තමා ඉවත් වී මෙණ්ඩකයාට බොරු ඉලක්කයක් පෙන්වීමය. ස්පාඤ්ඤයේ ගොංපොර තරඟවලදී සිදු වන්නේ මෙයය. රතු රෙද්දක් වනා ගවයාව ගොනෙක් කොට බොරු ඉලක්කයක් වෙත අනින්න සලස්වයි. දෙවැනි ක්‍රමය නොහොත් බුදුරජාණන්වහන්සේගේ ක්‍රමය නම් අනින්න එන විට අං දෙකෙන් අල්ලා මෙණ්ඩකයාව නතර කිරීමයි. එය කිරීමට නම් ඉතා ශක්තිමත් පුද්ගලයෙකු විය යුතුය. කලබල වීමට කාරණයක් නැත. බුදුරජාණන්වහන්සේ මේ කතා කරන්නේ ගොංපොර ගැන නොව ගොන් විලස ප්‍රශ්න මතු කරන මුග්ධයන් මෙල්ල කරන විදිහ ගැනය. සාමාන්‍ය ව්‍යවහාරයේ උභතෝකෝටික ප්‍රශ්න යැයි හදුන්වන මෙම ප්‍රශ්න බෞද්ධ තර්කශාස්ත්‍රයේදී ‘මෙණ්ඩකප්‍රශ්න’ ලෙස නම් කෙරේ. එනම් ‘එළුපැන’ හෝ කැමති නම් පොදුවේ මෙණ්ඩක වර්ගය ගැන සිතා ‘ගොං ප්‍රශ්න’ කියා හෝ මේවා නම් කළ හැක. අනින්න එන මෙණ්ඩකයාගේ එක අනකින් බේරෙන්න බැරි සේම මෙවැනි ප්‍රශ්නයකට ඍජු පිළිතුරුක් දී බේරෙන්නට ද නොහැකිය. එදිනෙදා කතාබහේදී ‘බකංනිලාගෙන’ මූණ එල්ලන් ඉන්න අයට ‘උභතෝකෝටික’ ප්‍රශ්නයකට මුහුණ දීලා වගේ ඉන්නවා යැයි කීවාට, ජීවන අරගලයේදී එවැනි ප්‍රශ්නවලට මුහුණ දුන් අය අපට හමු වන්නේ කලාතුරකිනි.

බුදුරජාණන්වහන්සේට ‘මෙණ්ඩකප්‍රශ්නයකින්’ නොහොත් ‘ගොං ප්‍රශ්නයකින්’ පහර දුන් අවස්ථාවක් ගැනයි මේ කතාව. නිගණ්ඨනාථපුත්තගේ ඉගැන්වීම් බහකට අභයරාජකුමාරයා බුදුරජාණන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නයට දානයට ආරාධනා කොට බුදුරජාණන්වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ‘ඔබ වහන්සේ අනුන්ට අප්‍රිය අමනාප වචන කියනවා ද?’. තේරෙන සිංහලෙන් කිව්වොත් ‘ඔබ වහන්සේ අනුන්ගේ හිත් රිදෙන විදිහට කතා කරනවා ද?’. මේ ප්‍රශ්නයට ‘ඔවු’ කියා පිළිතුරු දුන්නොත් ‘බුදුරජාණන්වහන්සේ මහාකාරුණික නොවේ’, අනුන්ගේ සිත් රිදෙන ලෙස කතා කරන නිසාය. ‘නැහැ’ කියා පිළිතුරු දුන්නොත් දෙව්දත් තෙරුන් පංචවරයාචනය කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීම සහ නොයෙක් අවස්ථාවල ඔහු කළ නොමනා ක්‍රියා නිසා දොස් කීම ඔහුගේ සිත් රිදවීමට හේතු වූවා නේ ද කියා පෙරළා ප්‍රශ්න කළ හැකියි. ඒ අනුව බුදුරජාණන්වහන්සේ බොරු කීවා වෙයි. සරලව,

ප්‍රශ්නය: ඔබ අනුන්ගේ හිත් රිදෙන විදිහට කතා කරනවා ද?

(පිළිතුර ඔවු නම් ඔබ මහාකාරුණික නොවේ. පිළිතුර නැහැ නම් ඔබ දෙව්දත් තෙරුන්ගේ හිත් රිදෙව්වා. බොරු කියන්න එපා. කොහොම උත්තර දුන්නත් බුදුරජාණන්වහන්සේ පරාදයි.)

දැන් මේ විදිහට භාෂාප්‍රයෝගයකින් බුදුරජාණන්වහන්සේව අල්ල ගන්න දත මැදගෙන අභයරාජ මේ ප්‍රශ්නය අහනවා. බුදුරජාණන්වහන්සේ පිළිතුරු දෙන්නේ මේ විදිහට.

‘මට ඕනේ නම් මං අනුන්ගේ හිත් රිදෙන විදිහට කතා කරනවා, ඕන්නැත්තං නැහැ’.

තවත් තේරෙන විදිහට කියනවා නම් බුදුරජාණන්වහන්සේ ‘ඔවු සහ නැහැ’ කියන පිළිතුරු දෙකම එකවර දෙනවා. අභයරාජකුමාරයා අන්දුන්කුන්දුන් වෙනවා. ඊට පස්සේ මොනවා කියන්න ද කියා සිතා ගත නොහැකිව ‘නිගණ්ඨයන් ඉවරයි, නිගණ්ඨයන් ඉවරයි’ කියලා කෑ ගහනවා.

සිදු වී ඇති දේ තේරුම් ගත්ත බුදුරජාණන්වහන්සේ තමන්ගේ පිළිතුර තවදුරටත් මෙහෙම පැහැදිලි කරනවා. ‘අභයරාජ, ඔබගේ බිරිඳගේ හෝ දරුවා බලා ගන්නා කාන්තාවන්ගේ අතපසුවීමකින් ඔබේ දරුවා උගුරේ ගලක් හිර කර ගත්තොත් මොකද කරන්නේ? ‘ස්වාමීනී මං ඒ ගල උගුරට අත දාලා අරන්දානවා’. ‘හොඳයි, හිතන්න ඒක ටිකක් ඇතුළටම ගිලිලා හිර වෙලා කියලා, එතකොට?’. ‘ස්වාමීනී, මං උගුර ඇතුළටම අත දාලා ලේත් එක්ක හරි ඒ ගල ඇදල අයින් කරනවා.’ ‘ඇයි, ඔබ එහෙම කරන්නේ, එතකොට දරුවාට රිදෙනවානේ?’. ‘රිදුනට කරන්න දෙයක් නැහැ, ස්වාමීනී, මගේ දරුවගේ ජීවිතය බේර ගන්න එපෑයැ. මං දරුවට ආදරෙයි නේ’. ‘මාත් ඒ වගේ තමයි අභයරාජ, යමක් ඇත්ත නම් එය යහපත පිණිස හේතුවේ නම් අහන කෙනාගේ හිත රිදුනත් හොඳම වෙලාව බලලා මං ඒක දේශනා කරනවා. මොකද මං මගේ ශ්‍රාවකයන්ට ආදරෙයි (=අනුකම්පාවයි)’.

අනුන්ගේ අදහස්වලට ගරු කරන්න, ඒ අයගේ හිත් රිදෙන විදිහට කතා කරන්න එපා කියන අද ඉන්න මුග්ධ ලිබරල්වාදීන්ට සහ සමාජවාදීන්ට එදා බුදුරජාණන්වහන්සේ පිළිතුරු දුන්නේ ඒ විදිහට.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...