මෙණ්ඩක කීවේ එළුවාටය. එළුවා යනු සිංහලයාට ද සමාන පදයකි. නමුත් මෙහි එළුවා යැයි කීවේ අං සහිත කකුල් හතරේ එළුවා ගැනය. මෙණ්ඩක යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් එළුවාම නොව එම වර්ගයට අයත් සතුන්ය. එම වර්ගයට අයත් සතුන්ට අං දෙකක් ඇත. ඌ පහර දෙන විට එකවර අං දෙකෙන්ම අනියි. එක අනකින් බේරුණාට පලක් නැත. අනෙක් අන ඇවිත් වදියි. අං දෙකෙන්ම අනින්නේ එකම ඉලක්කයකට වීම එයට හේතුවයි. එලෙස අං දෙකෙන් අනින විට කළ හැකි කාර්යයන් දෙකකි. පළමු වැන්න නම් අං දෙක නොවදිනා ලෙස තමා ඉවත් වී මෙණ්ඩකයාට බොරු ඉලක්කයක් පෙන්වීමය. ස්පාඤ්ඤයේ ගොංපොර තරඟවලදී සිදු වන්නේ මෙයය. රතු රෙද්දක් වනා ගවයාව ගොනෙක් කොට බොරු ඉලක්කයක් වෙත අනින්න සලස්වයි. දෙවැනි ක්‍රමය නොහොත් බුදුරජාණන්වහන්සේගේ ක්‍රමය නම් අනින්න එන විට අං දෙකෙන් අල්ලා මෙණ්ඩකයාව නතර කිරීමයි. එය කිරීමට නම් ඉතා ශක්තිමත් පුද්ගලයෙකු විය යුතුය. කලබල වීමට කාරණයක් නැත. බුදුරජාණන්වහන්සේ මේ කතා කරන්නේ ගොංපොර ගැන නොව ගොන් විලස ප්‍රශ්න මතු කරන මුග්ධයන් මෙල්ල කරන විදිහ ගැනය. සාමාන්‍ය ව්‍යවහාරයේ උභතෝකෝටික ප්‍රශ්න යැයි හදුන්වන මෙම ප්‍රශ්න බෞද්ධ තර්කශාස්ත්‍රයේදී ‘මෙණ්ඩකප්‍රශ්න’ ලෙස නම් කෙරේ. එනම් ‘එළුපැන’ හෝ කැමති නම් පොදුවේ මෙණ්ඩක වර්ගය ගැන සිතා ‘ගොං ප්‍රශ්න’ කියා හෝ මේවා නම් කළ හැක. අනින්න එන මෙණ්ඩකයාගේ එක අනකින් බේරෙන්න බැරි සේම මෙවැනි ප්‍රශ්නයකට ඍජු පිළිතුරුක් දී බේරෙන්නට ද නොහැකිය. එදිනෙදා කතාබහේදී ‘බකංනිලාගෙන’ මූණ එල්ලන් ඉන්න අයට ‘උභතෝකෝටික’ ප්‍රශ්නයකට මුහුණ දීලා වගේ ඉන්නවා යැයි කීවාට, ජීවන අරගලයේදී එවැනි ප්‍රශ්නවලට මුහුණ දුන් අය අපට හමු වන්නේ කලාතුරකිනි.
බුදුරජාණන්වහන්සේට ‘මෙණ්ඩකප්‍රශ්නයකින්’ නොහොත් ‘ගොං ප්‍රශ්නයකින්’ පහර දුන් අවස්ථාවක් ගැනයි මේ කතාව. නිගණ්ඨනාථපුත්තගේ ඉගැන්වීම් බහකට අභයරාජකුමාරයා බුදුරජාණන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නයට දානයට ආරාධනා කොට බුදුරජාණන්වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ‘ඔබ වහන්සේ අනුන්ට අප්‍රිය අමනාප වචන කියනවා ද?’. තේරෙන සිංහලෙන් කිව්වොත් ‘ඔබ වහන්සේ අනුන්ගේ හිත් රිදෙන විදිහට කතා කරනවා ද?’. මේ ප්‍රශ්නයට ‘ඔවු’ කියා පිළිතුරු දුන්නොත් ‘බුදුරජාණන්වහන්සේ මහාකාරුණික නොවේ’, අනුන්ගේ සිත් රිදෙන ලෙස කතා කරන නිසාය. ‘නැහැ’ කියා පිළිතුරු දුන්නොත් දෙව්දත් තෙරුන් පංචවරයාචනය කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීම සහ නොයෙක් අවස්ථාවල ඔහු කළ නොමනා ක්‍රියා නිසා දොස් කීම ඔහුගේ සිත් රිදවීමට හේතු වූවා නේ ද කියා පෙරළා ප්‍රශ්න කළ හැකියි. ඒ අනුව බුදුරජාණන්වහන්සේ බොරු කීවා වෙයි. සරලව,
ප්‍රශ්නය: ඔබ අනුන්ගේ හිත් රිදෙන විදිහට කතා කරනවා ද?
(පිළිතුර ඔවු නම් ඔබ මහාකාරුණික නොවේ. පිළිතුර නැහැ නම් ඔබ දෙව්දත් තෙරුන්ගේ හිත් රිදෙව්වා. බොරු කියන්න එපා. කොහොම උත්තර දුන්නත් බුදුරජාණන්වහන්සේ පරාදයි.)
දැන් මේ විදිහට භාෂාප්‍රයෝගයකින් බුදුරජාණන්වහන්සේව අල්ල ගන්න දත මැදගෙන අභයරාජ මේ ප්‍රශ්නය අහනවා. බුදුරජාණන්වහන්සේ පිළිතුරු දෙන්නේ මේ විදිහට.
‘මට ඕනේ නම් මං අනුන්ගේ හිත් රිදෙන විදිහට කතා කරනවා, ඕන්නැත්තං නැහැ’.
තවත් තේරෙන විදිහට කියනවා නම් බුදුරජාණන්වහන්සේ ‘ඔවු සහ නැහැ’ කියන පිළිතුරු දෙකම එකවර දෙනවා. අභයරාජකුමාරයා අන්දුන්කුන්දුන් වෙනවා. ඊට පස්සේ මොනවා කියන්න ද කියා සිතා ගත නොහැකිව ‘නිගණ්ඨයන් ඉවරයි, නිගණ්ඨයන් ඉවරයි’ කියලා කෑ ගහනවා.
සිදු වී ඇති දේ තේරුම් ගත්ත බුදුරජාණන්වහන්සේ තමන්ගේ පිළිතුර තවදුරටත් මෙහෙම පැහැදිලි කරනවා. ‘අභයරාජ, ඔබගේ බිරිඳගේ හෝ දරුවා බලා ගන්නා කාන්තාවන්ගේ අතපසුවීමකින් ඔබේ දරුවා උගුරේ ගලක් හිර කර ගත්තොත් මොකද කරන්නේ? ‘ස්වාමීනී මං ඒ ගල උගුරට අත දාලා අරන්දානවා’. ‘හොඳයි, හිතන්න ඒක ටිකක් ඇතුළටම ගිලිලා හිර වෙලා කියලා, එතකොට?’. ‘ස්වාමීනී, මං උගුර ඇතුළටම අත දාලා ලේත් එක්ක හරි ඒ ගල ඇදල අයින් කරනවා.’ ‘ඇයි, ඔබ එහෙම කරන්නේ, එතකොට දරුවාට රිදෙනවානේ?’. ‘රිදුනට කරන්න දෙයක් නැහැ, ස්වාමීනී, මගේ දරුවගේ ජීවිතය බේර ගන්න එපෑයැ. මං දරුවට ආදරෙයි නේ’. ‘මාත් ඒ වගේ තමයි අභයරාජ, යමක් ඇත්ත නම් එය යහපත පිණිස හේතුවේ නම් අහන කෙනාගේ හිත රිදුනත් හොඳම වෙලාව බලලා මං ඒක දේශනා කරනවා. මොකද මං මගේ ශ්‍රාවකයන්ට ආදරෙයි (=අනුකම්පාවයි)’.
අනුන්ගේ අදහස්වලට ගරු කරන්න, ඒ අයගේ හිත් රිදෙන විදිහට කතා කරන්න එපා කියන අද ඉන්න මුග්ධ ලිබරල්වාදීන්ට සහ සමාජවාදීන්ට එදා බුදුරජාණන්වහන්සේ පිළිතුරු දුන්නේ ඒ විදිහට.
Comments
Post a Comment