සිංහල ගොවියා අමුඩේ ගැහුවාම ඉදිරිපසින් ලේන්සුවක් එල්ලුවා සේ සම්පූර්ණ ලිංගේන්ද්‍රිය ද අවට ප්‍රදේශය ද වැසී යයි. (අමුඩය දැකල නැති අය විශ්වකෝශයක් බලන්න). නමුත් ඔහුගේ තට්ටම් දෙක නොවැසී හුදෙක් ගුදමාර්ගය පමණක් වැසී යයි. මේක දැකපු සුද්දා (ඉංග්‍රීසියෙන්) 'අමුඩ ගහන එක මහ ලොකු දෙයක් ද මෙන්න මෙහෙමනේ අමුඩ ගහන්නේ කියා', ඉන වටේ නූලක් ගැටගසා ලේන්සුවක් ගෙන ඉස්සරහින් එල්ලා ගත්තලු. බැලූ බැල්මටම වැඩේ හරි. නමුත් හුළඟට ලේන්සුව උඩ යන විට සුද්දාගේ 'සැට් එක' එළියේ ය. තමාට වැරදුණ බව සුද්දාට තේරුණේ එවිටය. නිවැරදි හැදෑරීමක් නැතිව කරන දේ බලාගෙන සිට තමාටත් කරන්න පුළුවන් යැයි කියා අනාගන්නා අයට සුද්දාගේ අමුඩ ගැහිල්ල මතක් කර දෙන්නේ ඒ නිසාය.
බුදුදහමට අනුව සියලු සතුන් ඝාතනය කිරීම වරදකි. පාපයකි. නමුත් මස් කෑම ගැන විරෝධයක් පළ කොට නැත. ත්‍රිකෝටිපාරිශුද්ධිය ගැන දේශනා කර තිබේ. මේ ගැන අපි පසුව කතා කරමු. එහෙනම් ඇයි මේ හරකාට විශේෂ තැනක්. ඇයි කුකුළා පව් නැද්ද කියා අසන තත්වයට අද ප්‍රශ්නය දුර දිග ගොස් ඇත. එයට එකම හේතුව අනගාරික ධර්මපාලතුමාගේ ගවමස් විරෝධය නැවත ගෙන එන්නට වෙර දැරූ අපේ බෞද්ධයන් හැදෑරීමකින් තොරව අමුඩ ගසන්නට යෑමය. ධර්මපාල උන්වහන්සේ මහාවියතෙකි. උන්වහන්සේගේ පිටුපස මුළු විද්‍යෝදයේම පඩිවරු සිටියහ. යමක් කළේ හොද හැදෑරීමක් ඇතිවය. දැන් එකාලා කරන්නේ තව එකෙක් කළ නිසාය..
අතීතයේ අපේ ජාතිය ද සංස්කෘතිය ද ශිෂ්ටත්වය ද ගොඩ නැගුවේ ගොවියෝය. ආර්යාවතරණය ලෙස පූ.ව්‍ය.ව 5 වන සියවසේ සිදු වුණා කියන ගොන් පචය සිදු වන විටත් අපි ගොවියෝය. අදටත් ලංකාවේ බහුතරය ගොවිගම මිනිස්සුය. මෙහි 'ගම' කියා කීවේ village යන්න නොව සමූහය හෝ ජනවර්ගය යන්නය. ඒ අනුව මේ රටේ වැඩි ජනතාවක් නියෝජනය වන්නේ ගොවියන්ගෙන් හෙවත් ගොවි නම් ජනකොට්ඨාසයෙනි. ලංකාවේ රජකම නියෝජනය කළේ ද මෙම ගොවියන්මය. 'ගොවියා පුතා රජකම නොපැත්ත යුතු' කියා නිශ්ශංකමල්ල රජු සෙල්ලිපිවල ලීවේ තමන් ක්ෂත්‍රියෙකු නිසාය.
අතීතයේ සිටම අපේ ගොවිකමට සහය දුන් සත්වයා ගවයාය. වෙනත් විදිහකින් කියත හොත් අපේ සංස්කෘතිය ගොඩනගන්නට අප වෙනුවෙන් ඉමහත් පීඩා විඳි සත්වයා ගවයාය. ගොවිකම ගැන යන්තම් හෝ දැනුමක් ඇති අය හොදින් දන්නා කාරණයක් නම් ගවයා වෙනුවෙන් සැකසුණු සුවිශේෂ සංස්කෘතියක් අපට උරුම බවය. ආරාබියට ඔටුවා යම් තාක් වැදගත් වේ ද එයට සමානව හෝ ඊටත් වැඩියෙන් අපට ගවයා වැදගත් වෙයි. නමුත් අරාබියේ දී ඔටුවා මරාගෙන කෑවේය. නමුත් අපේ මිනිසුන් ගවයා මැරුණු පසු භූමදානය කිරීමටත් ඌ වෙනුවෙන් පින්කම් කිරීමටත් ඌ නැවත පුතෙකු වී තම පරපුර තුළම ඉපදේවා කියා පැතීමටත් කාරුණික විය. ඒ අපේ සංස්කෘතියය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම හඳුන්වා දීමේදී ලංකාවේ තිබුණු සියලු සත්ගුණාංග ඒ විදිහටම තියෙන්නට ඉඩ හැරියේය. ගවමස් නොකෑමේ චාරිත්‍රය ද ඒසේමය. එදා පටන් ගවමස් නොකෑම සිංහල බුදුදහමේ අනිවාර්යය අංගයක් විය. නමුත් පෘතිගීසීන්ගේ පැමිණීම නිසා මේ තත්වය වෙනස් විය. එහි පල නෙලා ගත් මුස්ලිම් ජනයා දිගටම ගවඝාතනය සිදු කළේය. එදා අනගාරික ධර්මපාලතුමා කතා කළේ නැති වී යන මෙම සිංහල සංස්කෘතියේ අනන්‍යසාධකය රැක ගැනීම උදෙසාය. නැතිව බෞද්ධ ආගමික මූලධර්මක් උදෙසා නොවේය. අද එක එක මතධාරීන් මේකට ආගමික අර්ථකථනයක් දෙන්නට දරන වෑයම හුදෙක් අඳුරේ අත පත ගෑමකි.
අතුරු කතාව
ගවයා සහ හින්දු ධර්මයත් එහි ආභාසය පොළොන්නරුයුගයටත් ඈඳා ගැනීම හේතුවෙන් මේ කරුණු ටික ලියා තබමි.
සමස්තයක් වශයෙන් හින්දු ආගම සමග ගවයා සම්බන්ධ කරන්නේ නම් එය මුළාවකි. ගවයා සම්බන්ධ වන්නේ ශෛවයානය නම් හින්දු සම්ප්‍රදායයට පමණි. එයට හේතුව ශිව දෙවියන්ගේ වාහනය 'නන්ද' නම් ගවයා වන බැවිනි. මේ හැර සමස්තයක් වශයෙන් සත්ව ඝාතනය හෝ අහිංසාව ගැන හින්දු ආගම අදහස් නොදක්වයි. ලංකාවේ ක්‍රියාත්මක හින්දු ආගම සහ ඉන්දියාවේ ක්‍රියාත්මක හින්දු ආගම දෙකක් බව ද මෙහි දී මතක් කළ යුතුය. තමිල්නාඩුවේ පවා බහුතරය වෛශ්ණවයන් මිස ශෛවයන් නොවේය. ලංකාවේ සිටින සියලුම හින්දු පුරවැසියන් ශෛවයන් බව ද මතක් කළ යුතුය.
ශිව දෙවියන් වර්තමානයේ හින්දු ආගමේ කොටසක් බවට පත් වුව ද ඓතිහාසික වශයෙන් ඔහු සම්බන්ධ වන්නේ මොහෙන්ජදාරෝ හරප්පා සංස්කෘතියට සහ අපේ පැරණි සංස්කෘතියටය. ඉන්දු-සරස්වතී සංස්කෘතිය ගැන නූතන තොරතුරුවලින් අනාවරණය වන්නේ ශිව දෙවියන් අතීතයේ දකුණු ආසියාවේ විසූ ආදී ජනතාවගේ දෙවියන් බවය. ගවයා පිළිබඳ සංකල්පය එන්නේ ද ඒ සමගය.
අරිසෙන් අහුබුදු සූරින් ලියූ අවසන් කෘතිය වන 'ඉර හඳ යට' නම් කෘතියේ හැදින්වීමේ දී මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් දැක්වෙන බව කරුණාවෙන් සිහිපත් කරමි. ඔහු පැහැදිලිවම පෙන්වා දෙන පරිදි රාවණාගේ ඇදහීමට ලක් වූ ශිව දෙවියන් අපේම මුතුන් මිත්තකු මිස අපේම දෙවියකු මිස වෙනත් අයෙකු නොවේ. ඒ සියලු සාධක සලකාගෙනයි මහින්දාගමනයට පෙර සිට ගවයා පිළිබඳ සම්ප්‍රදායය අප තුළ තිබූ බව මා කීවේ.
පොළොන්නරුයුගයේ දී ගවයා සඳකඩපහණින් ඉවත් වීම කාගේත් විමතියට කරුණක්ය. මෙයට හින්දු ආභාසය ගෑවී ඇති බවට සැකයක් නැත. නමුත් ඒ හින්දු ආභාසය හුදෙක් ආක්‍රමණශීලී ආකල්පයක් ද නැතහොත් අපේ පැරණි සම්ප්‍රදායයක පුනරාවර්ජනයක් ද කියා විමසා බැලිය යුතුය. වෙනත් ආකාරයකින් කිවහොත් ආක්‍රමණයට බයේ අපේ කලාකරුවා ගව රුව ඉවත් කළා ද නැතහොත් පැරණි සම්ප්‍රදායයට පණ දීමට එසේ කළා ද කියා විමසිය යුතු වේ.
මේ ප්‍රශ්න බොහෝමයක් අපට මතු වන්නේ සෙනරත් පරණවිතාන මහතාගේ විග්‍රහයන් නිසාය. මට අනුව, ඔහු ඉතිහාසඥයකුට වඩා ප්‍රබන්ධ කතාකරුවෙක්ය. ඔහුගේ ප්‍රබන්ධ බොහෝමයක හිඩැස් ඇත. සඳකඩපහණ එවැනි එක් හිඩැසකි. අනුරාධපුර සඳකඩපහණේ ගව රුව තිබීම ගැන කාටවත් ප්‍රශ්නයක් නැත. එය පොළොන්නරුවේදී ඉවත් වීම පමණක් ගැටලුවක්ය. නමුත් සැබෑ ගැටලුව නම් ඒ අතර සිංහ රූපය තිබීමයි. දුටුගැමුණු මහරජුගේ කොඩියේ සලකුණ වූ ද අනාදිමත් කාලයක සිට ජාතිය නියෝජනය කළ ගෝත්‍රචිහ්නය වූ සිංහයාව පෑගෙන්න දැම්මේ ඇයි කියා සෙනරත් මහතා කල්පනා කළේ නැත. පොළොන්නරු යුගයේදී ගවයාට උසස් තැනක් ලැබීම නිසා ගවයා ඉවත් වුණා කියත් නම් ඒ තර්කයෙන්ම අපට කියන්න වෙන්නේ සිංහයාට කවදාවත් කිසිම තැනක් ලැබී නැකි බවකි. මන්ද ඌ හැමදාම සඳකඩපහණේ සිටි බැවිනි. අනෙක් අතට සෙනරත් පරණවිතාන මහතා පෙන්වන පරිදි සඳකඩපහණට දුන් දාර්ශනික සහ ආගමික අර්ථය එහි සැබෑ අර්ථය නම් අපේ කලා කරුවා එය කිසිසේතම වෙනස් කරන්නට කැමති වන්නේ ද නැත. මා සිතන්නේ සඳකඩපහණේ ඇත්තේ වඩාත් දේශපාලනික වූ අර්ථයකි. ඇත් අස් ගව සිංහ රූපවලින් කිසියම් ජනවර්ගයක් නියෝජනය වූ වා විය හැක. මේ සංකේත ද ඇතුළුව වල්-ඌරා කිඹුලා මාළුවා වැනි සතුන් තම ගෝත්‍රචිහ්නය ලෙස යොදා ගත් ජනවර්ග ගැන මහාභාරතයේ දැක්වෙන බව මෙහිදී මතක් කළ යුතුය. ලංකාව හැරුණු විට උතුරු ඉන්දියාවේ 'හිඩිම්බා' නම් නායකයා යටතේ ජීවත් වූ යක්ෂ ජනකොට්ඨාසයක් ද යාදව වංශයට අයත් බලරාම ඇතුළු ඇතැමුන් නාග ජනකොට්ඨාසයට අයත් බවත් මෙහිදී මතක් කළ යුතුය. ඒ අනුව පොළොන්නරු යුගයේ ගවයා ඉවත් වීම ආගමික නොව දේශපාලනහේතුවක් නිසා ද සිදු විය හැක.
මේ සියල්ල කීවේ, යමක් බෞද්ධ නොවන බව දුටු පමණින්ම එය හින්දු යැයි කීමට ද ඉන් අනතුරුව එය ඉන්දියාවෙන් ආවේ යැයි කීමට ද අද බොහෝ දෙනා පෙළඹී සිටින බැවිනි.
Comments
Post a Comment