Skip to main content

අහිංසාව සහ පරම අහිංසාව


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4OoFkfj8MQ1zUlIsBQ7wFmWdhyphenhyphen91NZHYQytlBP5cLH4XOzjqMBNwJavk-5AY377UHJDoRYyXxcx4-gsjo_FcmYOvbFPMVGhEg7qMWq3S8WqgXqhyzBR5ntR3HP3gjIQgFGKxs2MO9chzN/s730/Donan+village+face.jpgමහත්මා ගාන්ධි අහිංසාවාදයේ පියා නොවේය. මට අනුව ඔහු මුණුබුරාවත් නොවේය. ඔහුට අහිංසාව යනු තවත් එක් දේශපාලන අවියක් පමණි. සුද්දාගේ නීතිය හොදින් හදාරා ඇති නිසා ඔහු දැන ගත්තා එම නීතයේ තියෙන ලොකුම අඩුපාඩුව. ඒ තමයි ගහන කෙනාට නොව ගුටි කන කෙනාට පමණක් නීතියේ පිළිසරණ ලැබෙන බව. ගුටි කන්නේ කොහොමද ගහන්නේ නැති නම්. ඒ නිසා ඔහු ගුටි කන වැඩ හොයාගෙන ගොස් ගහන්නේ නැතිව ගුටි කෑවේය. එය ඔහුට අනුව අහිංසාවය. සාර්ථක දේශපාලන අරගලයකට මාධ්‍යයය. 

කායික වශයෙන් හිංසා පීඩා නොකර සිටීම අහිංසාව ලෙස ගත්තොත් එම අදහසේ පෞරාණිකත්වය ඍග්වේදය දක්වා දිව යයි. නමුත් අථර්වවේදයේ සුලභව හමුවන කරුණුවලට අමතරව ඍග්වේදයේ ද විශේෂයෙන්ම පූෂන් වන්දනා කරන කළ අහිංසාව ගිලිහී යයි. භරත ගෝත්‍රිකයන් වෙත යදින විට අහිංසාව ගිලිහී යයි. පණි ලෙස දැක්වෙන පර්සියානු වෙළෙන්දන් ගැන කියද්දී අහිංසාව ගිලිහී යයි. බ්‍රාහ්මණ යුගයේද මෙයට වඩා වෙනසක් නැත. රාජසූය, අශ්වමේධ, පුරුෂමේධ වැනි යාගවලදී අහිංසාව ගෑවිලාවත් නැත. යන්තමට මෙන් අහිංසා යන පදය අපට හමු වන්නේ ඡාන්දෝග්‍ය උපනිෂදයේය. ඒත් වැඩි විස්තරයක් නැත. භගවද්ගීතාවට එන විට මරණය සහ මැරීම යන දෙකම වරදක් නැති බව සාධාරණීකරණය ඇත. ශංකර දක්වා ඇදී ගියේ ද ඒ චින්තනයමය. ක්ෂත්‍රියයෙකුට උරුම රාජනීතිය සහ පාලන ක්‍රමය හැරදමා ගිය නිසා බුදුරජාණන්වහන්සේ ලෝක නියමය උල්ලංඝනය කළ බව කියන්නට තරම් ඔහු සාහසික විය.

ඇත්තටම අහිංසාවාදයේ පියා විය යුත්තේ, වර්ධමාන මහාවීරයන්වහන්සේය. ආදිනාථයන්ගේ සිට පැවත එන සම්ප්‍රදාය රැක ගනිමින් වර්ධනය කිරීමට ඔහු උත්සුක විය. නේමිනාථයන් සත්තු මැරීම තහනම් කළ නමුත් ගෙදරදී හානි කරන මීයන්, මදුරුවන්, කැරපොත්තන් වැනි සතුන් මැරීම වරදක් නොවන බව ඔහු කීවේය. පාර්ශවනාථයන් එය චතුයාම සංවරය දක්වා දියුණු කර වතුර භාජනයේ සිටින කූඹියාව පවා බෙරන තත්වයකට ගෙනාවේය. වර්ධමාන මහාවීර මේ සියල්ල ඉක්මවා යමින් කිසිදු ජීවිතයක් මොනම හේතුවක් නිසාවත් නොනසන්න, හිංසා නොකරන්න, පීඩා නොකරන්න යන පරම තත්වයට ඔසවා තැබීය. අහිංසනයට අමතරව ගෞරවය, ගුණගරුක බව වැනි ගුණාංග එකම අහිංසනයේ කොටස් බව පෙන්වීය. ආචාරාංගසූත්‍රය ඔහුගේ ජීවිතය ඒ වෙනුවෙන් කැප කළ හැටි පැහැදිලි කර පෙන්වයි. යාග කිරීමට සත්තු ගෙන විත් බැඳ තබා ඇති විට ඔහු හොරෙන් එතනට ගොස් ඒ සත්තුන්ව ලිහා කැළයට දක්කයි. මේක දැක්ක මිනිස්සු ඔහුට හොඳටම පොලු මුගුරුවලින් තලා ඔසවා ගෙන ගොස් ගඟක් ළඟට දමති. එහිදී ඇතිවන කායික පීඩාව තමා නිදහස් කළ සත්තුන්ගේ ජීවිත ගැන සිතා සතුටු සිතින් යුතුව විඳ දරාගනියි. මේ පරම අහිංසාවය.

මෙම අහිංසා විස්තරයේදී බුදුරජාණන්වහන්සේව අප ස්ථානගත කරන්නේ කොතන ද යන්න ගැටලුවකි. පරම අහිංසාව උන්වහන්සේට අනුව ප්‍රයෝගික නොවන දෙයකි. ආවාස ගෙයි මකුළුවන් දැල් බඳින නිසා ආවාස ගෙය අපවිත්‍රවන බව භික්ෂුණීන්වහන්සේලා උන්වහන්සේට සැළ කළ විට, උන්වහන්සේ කියා සිටියේ, මකුළුවන්ට එළියට යන්න පුළුවන් විදිහට වහළේ මුදුනේ සිට යටලීය දක්වා මකුළුදැල් කඩා දමන ලෙසටය. උන්ව මරන්නේ නැහැ, නමුත් උන්ගේ ගෙවල් අහිමි කරන්න වෙයි. ආනන්ද බෝධියේ අත්තක් ජේතවනාරාමයේ වහළේ ගෑවෙන නිසා වහළය පළුදු වන බව ආනන්ද හාමුදුරුවන් පැමිණිලි කළ විට උන්වහන්සේ කියා සිටියේ එසේ නම් ඒ බෝ අත්ත කපා දමන ලෙසටය. ගස්වල කොළ අතු කඩන්න එපා කියා උපසපන් භික්ෂූන්ට දැමූ නීතිය මෙහිදී සංශෝධනය විය. ඒ බුදුහාමුදුරුවන්ගේ හැටිය.

මාරයා ඇවිත්, ඔබ වහන්සේ තමයි ලෝකේ ඉන්න ධාර්මිකම පුද්ගලයා, ඒ නිසා ඇවිත් රජ වෙන්න, ඔබට පුළුවන් ලෝකයේ ධර්මිකම රජා වෙන්න කියා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියේය. උන්වහන්සේ එවිට මරන්නේ නැතිව, මරවන්නේ නැතිව රජකම් කරන්නට බැරි බව පිළිගත්තේ නැත. එයින් අදහස් වන්නේ මැරීම, මැරවීම හොඳය කියා නොව, එය හුදෙක් යථාර්ථය බවය. ඒ යථාර්ථයෙන් කාටත් පළා යා නොහැක. ඒ යථාර්ථයට මුහුණ දීමට නොහැකි නිසා උන්වහන්සේ ඒ ආරාධනාව බාර ගත්තේ නැත. උන්වහන්සේගේම වචනවලින් කියනවා නම්, 'වැද්දාට අසු නොවී, මුවකොටුවේ තණ කන්නට මුවන්ට නොහැකිය'. ගිහි ජීවිතය ගත කරන කෙනාට කිසිමදාක කිසිම පවක් නොකර ජීවත් වන්නට නොහැකිය. ඒ ගිහි ජීවිතයේ හැටිය. පැවිදි ජීවිතය කියා වෙන එකක් හැදුවේ මේ තත්වයට උත්තරයක් දිය යුතු නිසාය. නමුත් පැවිදි ජීවිතය අද ගිහි ජීවිතයටත් වඩා කටුකය. ඒ සංසාරයේ හැටිය. මට චන්ද්‍රකීර්ති හාමුදුරවන්ගේ වදන් මතක් වන්නේ මෙහිදීය. "පුරුෂාර්ථසාධනයට අවශ්‍ය වූ ක්ෂණ සම්පත්තිය මා විසින් ලබන ලදී. ඉදින් මම මෙහිදී මගේ යහපත පිණිස උත්සාහ නොකරන්නේ නම් ආයේ කවදා නම් කරන්න ද?"

Comments

  1. බොහොම ස්තුතියි. වටිනා ලියමනක්❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...