මහත්මා ගාන්ධි අහිංසාවාදයේ පියා නොවේය. මට අනුව ඔහු මුණුබුරාවත් නොවේය. ඔහුට අහිංසාව යනු තවත් එක් දේශපාලන අවියක් පමණි. සුද්දාගේ නීතිය හොදින් හදාරා ඇති නිසා ඔහු දැන ගත්තා එම නීතයේ තියෙන ලොකුම අඩුපාඩුව. ඒ තමයි ගහන කෙනාට නොව ගුටි කන කෙනාට පමණක් නීතියේ පිළිසරණ ලැබෙන බව. ගුටි කන්නේ කොහොමද ගහන්නේ නැති නම්. ඒ නිසා ඔහු ගුටි කන වැඩ හොයාගෙන ගොස් ගහන්නේ නැතිව ගුටි කෑවේය. එය ඔහුට අනුව අහිංසාවය. සාර්ථක දේශපාලන අරගලයකට මාධ්‍යයය.
කායික වශයෙන් හිංසා පීඩා නොකර සිටීම අහිංසාව ලෙස ගත්තොත් එම අදහසේ පෞරාණිකත්වය ඍග්වේදය දක්වා දිව යයි. නමුත් අථර්වවේදයේ සුලභව හමුවන කරුණුවලට අමතරව ඍග්වේදයේ ද විශේෂයෙන්ම පූෂන් වන්දනා කරන කළ අහිංසාව ගිලිහී යයි. භරත ගෝත්‍රිකයන් වෙත යදින විට අහිංසාව ගිලිහී යයි. පණි ලෙස දැක්වෙන පර්සියානු වෙළෙන්දන් ගැන කියද්දී අහිංසාව ගිලිහී යයි. බ්‍රාහ්මණ යුගයේද මෙයට වඩා වෙනසක් නැත. රාජසූය, අශ්වමේධ, පුරුෂමේධ වැනි යාගවලදී අහිංසාව ගෑවිලාවත් නැත. යන්තමට මෙන් අහිංසා යන පදය අපට හමු වන්නේ ඡාන්දෝග්‍ය උපනිෂදයේය. ඒත් වැඩි විස්තරයක් නැත. භගවද්ගීතාවට එන විට මරණය සහ මැරීම යන දෙකම වරදක් නැති බව සාධාරණීකරණය ඇත. ශංකර දක්වා ඇදී ගියේ ද ඒ චින්තනයමය. ක්ෂත්‍රියයෙකුට උරුම රාජනීතිය සහ පාලන ක්‍රමය හැරදමා ගිය නිසා බුදුරජාණන්වහන්සේ ලෝක නියමය උල්ලංඝනය කළ බව කියන්නට තරම් ඔහු සාහසික විය.
ඇත්තටම අහිංසාවාදයේ පියා විය යුත්තේ, වර්ධමාන මහාවීරයන්වහන්සේය. ආදිනාථයන්ගේ සිට පැවත එන සම්ප්‍රදාය රැක ගනිමින් වර්ධනය කිරීමට ඔහු උත්සුක විය. නේමිනාථයන් සත්තු මැරීම තහනම් කළ නමුත් ගෙදරදී හානි කරන මීයන්, මදුරුවන්, කැරපොත්තන් වැනි සතුන් මැරීම වරදක් නොවන බව ඔහු කීවේය. පාර්ශවනාථයන් එය චතුයාම සංවරය දක්වා දියුණු කර වතුර භාජනයේ සිටින කූඹියාව පවා බෙරන තත්වයකට ගෙනාවේය. වර්ධමාන මහාවීර මේ සියල්ල ඉක්මවා යමින් කිසිදු ජීවිතයක් මොනම හේතුවක් නිසාවත් නොනසන්න, හිංසා නොකරන්න, පීඩා නොකරන්න යන පරම තත්වයට ඔසවා තැබීය. අහිංසනයට අමතරව ගෞරවය, ගුණගරුක බව වැනි ගුණාංග එකම අහිංසනයේ කොටස් බව පෙන්වීය. ආචාරාංගසූත්‍රය ඔහුගේ ජීවිතය ඒ වෙනුවෙන් කැප කළ හැටි පැහැදිලි කර පෙන්වයි. යාග කිරීමට සත්තු ගෙන විත් බැඳ තබා ඇති විට ඔහු හොරෙන් එතනට ගොස් ඒ සත්තුන්ව ලිහා කැළයට දක්කයි. මේක දැක්ක මිනිස්සු ඔහුට හොඳටම පොලු මුගුරුවලින් තලා ඔසවා ගෙන ගොස් ගඟක් ළඟට දමති. එහිදී ඇතිවන කායික පීඩාව තමා නිදහස් කළ සත්තුන්ගේ ජීවිත ගැන සිතා සතුටු සිතින් යුතුව විඳ දරාගනියි. මේ පරම අහිංසාවය.
මෙම අහිංසා විස්තරයේදී බුදුරජාණන්වහන්සේව අප ස්ථානගත කරන්නේ කොතන ද යන්න ගැටලුවකි. පරම අහිංසාව උන්වහන්සේට අනුව ප්‍රයෝගික නොවන දෙයකි. ආවාස ගෙයි මකුළුවන් දැල් බඳින නිසා ආවාස ගෙය අපවිත්‍රවන බව භික්ෂුණීන්වහන්සේලා උන්වහන්සේට සැළ කළ විට, උන්වහන්සේ කියා සිටියේ, මකුළුවන්ට එළියට යන්න පුළුවන් විදිහට වහළේ මුදුනේ සිට යටලීය දක්වා මකුළුදැල් කඩා දමන ලෙසටය. උන්ව මරන්නේ නැහැ, නමුත් උන්ගේ ගෙවල් අහිමි කරන්න වෙයි. ආනන්ද බෝධියේ අත්තක් ජේතවනාරාමයේ වහළේ ගෑවෙන නිසා වහළය පළුදු වන බව ආනන්ද හාමුදුරුවන් පැමිණිලි කළ විට උන්වහන්සේ කියා සිටියේ එසේ නම් ඒ බෝ අත්ත කපා දමන ලෙසටය. ගස්වල කොළ අතු කඩන්න එපා කියා උපසපන් භික්ෂූන්ට දැමූ නීතිය මෙහිදී සංශෝධනය විය. ඒ බුදුහාමුදුරුවන්ගේ හැටිය.
මාරයා ඇවිත්, ඔබ වහන්සේ තමයි ලෝකේ ඉන්න ධාර්මිකම පුද්ගලයා, ඒ නිසා ඇවිත් රජ වෙන්න, ඔබට පුළුවන් ලෝකයේ ධර්මිකම රජා වෙන්න කියා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියේය. උන්වහන්සේ එවිට මරන්නේ නැතිව, මරවන්නේ නැතිව රජකම් කරන්නට බැරි බව පිළිගත්තේ නැත. එයින් අදහස් වන්නේ මැරීම, මැරවීම හොඳය කියා නොව, එය හුදෙක් යථාර්ථය බවය. ඒ යථාර්ථයෙන් කාටත් පළා යා නොහැක. ඒ යථාර්ථයට මුහුණ දීමට නොහැකි නිසා උන්වහන්සේ ඒ ආරාධනාව බාර ගත්තේ නැත. උන්වහන්සේගේම වචනවලින් කියනවා නම්, 'වැද්දාට අසු නොවී, මුවකොටුවේ තණ කන්නට මුවන්ට නොහැකිය'. ගිහි ජීවිතය ගත කරන කෙනාට කිසිමදාක කිසිම පවක් නොකර ජීවත් වන්නට නොහැකිය. ඒ ගිහි ජීවිතයේ හැටිය. පැවිදි ජීවිතය කියා වෙන එකක් හැදුවේ මේ තත්වයට උත්තරයක් දිය යුතු නිසාය. නමුත් පැවිදි ජීවිතය අද ගිහි ජීවිතයටත් වඩා කටුකය. ඒ සංසාරයේ හැටිය. මට චන්ද්‍රකීර්ති හාමුදුරවන්ගේ වදන් මතක් වන්නේ මෙහිදීය. "පුරුෂාර්ථසාධනයට අවශ්‍ය වූ ක්ෂණ සම්පත්තිය මා විසින් ලබන ලදී. ඉදින් මම මෙහිදී මගේ යහපත පිණිස උත්සාහ නොකරන්නේ නම් ආයේ කවදා නම් කරන්න ද?"
බොහොම ස්තුතියි. වටිනා ලියමනක්❤️
ReplyDelete