Skip to main content

නැණ පමණින් දැන ගන්නේ කෙසේ ද?

ඇම පමණින් පැවසූ මුනි දැන තතු
මෙම හැමදෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැනගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු

මෙහි අවස්ථා දෙකක 'පමණ' යන යෙදුම භාවිත කර ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තුන් වන පදයය. එහි යෙදෙන 'පමණ' යන පදය සාමන්‍ය කටවහරේ එන 'ප්‍රමාණය' (එනම් තරම) යන අර්ථයෙන් ගෙන විග්‍රහ කිරීම අද සුලභව දැකිය හැකිය. ඒ අනුව බුදුන්වහන්සේගේ ධර්මය එක් එක් පුද්ගලයාගේ නුවණ තියෙන්නේ යම් තරමකට ද ඒ තරමට ගැළපෙන පරිදි වටහා ගැනීම සුදුසු යැයි මේ කවිය කියයි. නමුත් මෙය කවියේ අර්ථය වරදවා වටහා ගැනීමක් පමණක් නොව, වීදාගම හිමියන්ගේ ප්‍රඥාපාටවයට කළ බලවත් නින්දාවකි.

උන්වහන්සේ මෙහි 'පමණ' යන පදය යොදන්නේ දිග්නාග හාමුදුරුවන්ගේ 'ප්‍රමාණසමුච්චය' හා ධර්මකීර්ති හාමුදුරුවන්ගේ 'ප්‍රමාණවාර්තික' ඉදිරියේ තබා ගෙනය. මේ පොත් දෙකේ නමින් ම කියවෙන පරිදි මේ පොත් දෙක ලියන්නේ ප්‍රමාණ සංකල්පය විශ්ලේෂණය කිරීම උදෙසාය. ප්‍රමාණ යන සංස්කෘත පදයේ අර්ථය 'උපායමාර්ගය'ය. ඕනෑම උපාය මාර්ගයක් නොව ඥානය ලබා ගන්නා උපාය මාර්ගයය. ඥානය ලබා ගැනීම සදහා ප්‍රත්‍යක්ෂය, අනුමානය (inference), ශාබ්ද, අර්ථාපත්ති, ආප්තවචන, ඓතිහ්‍ය, ස්මෘති, අභාව, ආර්ෂඥාන වැනි ක්‍රම ගණනාවක් ඇති බව හින්දු දර්ශනයට අයත් විවිධ සම්ප්‍රදායයෝ අඩු වැඩි වශයෙන් විශ්වාස කළහ. නමුත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂය, අනුමානය හැර අනෙක් සියලු ක්‍රම ප්‍රතික්ෂේප කළහ. මෙසේ ප්‍රතික්ෂේප කළ ආකාරය තාර්කිකව සනාථ කර පෙන්වීමට දිග්නාග ආචාර්යයන් වහන්සේ 'ප්‍රමාණසමුච්චය' නම් කෘතියේදී සමත් වූහ. උන්වහන්සේට විරුද්ධව නැගී ආ විරෝධාකල්ප සියල්ල පරදා ප්‍රමාණ සංකල්පය ඉතා ඉහළ තැනකට ඔසවා තැබීමට ධර්මකීර්ති හාමුදුරුවන්ට හැකි විය. ඒ 'ප්‍රමාණවාර්ත්තිකය' ලිවීමෙනි. ලංකාවේ මේ ප්‍රමාණවාර්ත්තිකය හැදෑරීම ආරම්භ වූයේ පොළොන්නරුයුගයේදී බව ගුරුළුගෝමිගේ ධර්මප්‍රදීපිකාව කියවීමෙන් හදුනා ගන්නට හැක. එදා සිට එය කෝට්ටේ යුගය දක්වා ගලා අතර කෝට්ටේ යුගයේදී අපට හමුවන සුවිශේෂ පඩිරුවනක් වන වීදාගම හාමුදුරුවෝ එය පරිශීලනය කරමින් ඉහත කී කවිය ලීහ.

'ඇම පමණ' කීවේ ඒ අනුව මා මුලින් දැක්වූ ප්‍රත්‍යක්ෂාදී ප්‍රමාණයන් ය. බුදුරජාණන් වහන්සේ යථාර්ථය දකින්නට සියලුම ඥාන උපාය මාර්ගයන් අත්හදා බලා ඇත. ඒ තුළින් උන්වහන්සේ යථාර්ථය පසක් කර ඇත. එසේ අවබෝධ කර ගත් ධර්මය 'එන්න, ඇවිත් බලන්න' කියා ආරාධනා කොට ඒ ඒ පුද්ගලයා තමාගේ 'ඥානප්‍රමාණය' තුළින් වටහා ගත යුතු බව මෙහි දැක්වෙන සැබෑ අර්ථයයි. නැණ පමණ හෙවත් ඥානප්‍රමාණය යන වචනය ඍජුවම ධර්මකීර්ති හාමුදුරුවන්ගෙන් උපුටා ගත් පදයකි. උන්වහන්සේ ප්‍රමාණවාර්ත්තිකයේ ප්‍රමාණ පරිච්ඡේදයේ ද ප්‍රමාණවිනිශ්චයේ ද 'ඥානප්‍රමාණ', 'බුද්ධිප්‍රමාණ', 'ධීප්‍රමාණ' යන පද සමාන අර්ථයෙන් භාවිත කරති. එයින් උන්වහන්සේ අදහස් කළේ බුදුදහමේ වලංගු ඥානප්‍රමාණ වන 'ප්‍රත්‍යක්ෂය' හා 'අනුමානය' යන දෙකය. ඒ අනුව වෑත්තෑවේ හාමුදුරුවන් අපට කියන්නේ, එක් එක් පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව ධර්මය තේරෙන විදිහට ග්‍රහණය කර ගන්න කියා නොව, ප්‍රත්‍යක්ෂය සහ අනුමානය කියන පිළිගත් බෞද්ධන්‍යයානුසාරයෙන් ධර්මය වටහා ගන්නට කියාය.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...