Skip to main content

සම්ප්‍රදායභීතිකාව සහ වජිරථේරන්‍යාය



චින්තන ස්වරූපය අනුව ලංකාවේ මිනිසුන් වර්ග දෙකක් ඇති බව පැහැදිලිව හඳුනා ගත හැක. ඉන් පළමු වැනි කොටස සමාජවාදීන්, මාක්ස්වාදීන්, පශ්චාද්නූතනවාදීන්, පශ්චාද්මාක්ස්වාදීන්, වාමවාදීන්, මානවවාදීන්, ස්ත්‍රීවාදීන් ආදී නම්වලින් පෙනී සිටින අයගෙන් ද රැඩිකල් චින්තකයන් යැයි කියා ගන්නා අයගෙන් ද නිරාගමිකයන්ගෙන් ද සමන්විත වේ. පොදුවේ මේ සියලු දෙනා හැදින්විය හැකි සර්වනාමයක් අද හඳුනා ගෙන ඇත. එනම් විශේෂයෙන් 'සිංහලබෞද්ධ' හා පොදුවේ 'බෞද්ධ' විරෝධීන්ය. කුමක් නිසා ද යත්, මොවුන් කතෝලික, මුස්ලිම්, හින්දු යන ආගම්වලට එරෙහිව හඬ නැඟුවොත් රටදැයට ආදරය කරන මිනිසුන් මෙන් පෙනී යා හැක යන භීතිකාව නිසාය. නැතහොත් විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් එන මුදල් නොලැබී යාවී යන අවධානම නිසාය. නැතහොත් තමාගේ හිස් බව වසා ගැනීමටත් 'මං පොර' මානසිකත්වයට ඒමටත් ලංකාවේදී ඇති හොඳම උපායමාර්ගය බුදුදහමට හා ඉතිහාසයට බැණ වැදීම බව වැටහී ගොස් ඇති නිසාය. දැවැනි මිනිස් වර්ගය නම් සිංහල යැයි බෞද්ධ යැයි කියා ගනිමින් සිංහලකම ගැන දන්නේත් නැති ධම්මපදයවත් කියවලා නැති සම්ප්‍රදායයම ශ්‍රේෂ්ඨ යැයි කියා ගනිමින් සිටින සම්ප්‍රදායවාදීන්ය. ලංකාවේ විවිධ මිනිසුන් විවිධ නිර්ණායක යටතේ ගොනු කර ගැනීමට හැකියාව තිබිය දී මේ වර්ග දෙක වෙන් කොට හඳුනා ගන්නේ පොදුවේ මේ දෙගොල්ලන්ටම වැළඳී තිබෙන මානසික රෝගයක් ගැන කතා කිරීමටය. එය සම්ප්‍රදායභීතිකාව ලෙස හෝ සම්ප්‍රදායෆෝබියාව ලෙස හඳුන්වමු. මුලින් කී පිරිසට එය වැළදෙන්නේ සම්ප්‍රදාය ගැන දැනීමක් හැදෑරීමක් නැති නිසාය. දෙවන පිරිසට එය වැළදෙන්නේ සම්ප්‍රදායට අනවශ්‍ය පූජනීයත්වයක් ආරෝපණය කරන නිසාය.

සම්ප්‍රදායය යනු කුමක් ද? ආගමික හෝ සංස්කෘතික හෝ යම් මතවාදයක්, ආකල්පයක්, පුරුද්දක් චිරාත් කාලයක් තිස්සේ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ඒම සම්ප්‍රදායය නම් වේ. එය කායික, වාචසික මෙන්ම මානසික නැඹුරුවලට ද එක සේ අදාළ වේ. සම්ප්‍රදායය හැමවිටම තාර්කික වන්නේ නැත. එය එසේ විය යුතු ද නැත. සම්ප්‍රදායය තුළ ඇත්තේ තාර්කික බවට වඩා උපයෝගීතාවකි. කිසිදු සම්ප්‍රදායයක් ආකස්මිකව හට ගන්නේ නැත. එය කිසියම් පසුබිමක් මත, කිසියම් අවශ්‍යතාවයක් මත බිහි වන්නකි. එහි පසුබිම හා අවශ්‍යතාව වටහා නොගෙන එය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම එය බාර ගැනීමත් වරදකි. සම්ප්‍රදායයක උපයෝගීතාව අකාලික වීම හෝ නොවීම තීරණය වන්නේ සැමවිටම එය අර්ථකථනය කරන සමාජපරිසරයට සාපේක්ෂවය. එකම සම්ප්‍රදායය විවිධ අර්ථකථනයන් යටතේ කාලයෙන් කාලයට විවිධ උපයෝගීතාවන් නිසා ජීවත්ව සිටිය හැක. මෙය භීතිකාවක් ලෙස දකින්නේ ඇයි? එකෙක් සම්ප්‍රදායය රැකෙනවාට බයය. අනෙකා සම්ප්‍රදායය විනාශ වෙනවාට බයය. සම්ප්‍රදායය රැකීම හෝ නැසීම වැදගත් නැත. වැදගත් වන්නේ එහි උපයෝගීතාව වටහා ගෙන ජීවත් වීමය.

දැන් සම්ප්‍රදායභීතිකාව ගැන සවිස්තරාත්මකව බලමු.

උදාහරණයක් ලෙස පෙරහැරේ ගැහැනු ළමයින්ට නටන්න දෙන්නේ නැහැ. මේක සම්ප්‍රදායයකි. මේ සම්ප්‍රදායයට ඉදිරිපත් වුණ අර්ථකථන බලන්න.
පළමු වර්ගයට අයත් පිරිස කීවේ, ඉතිහාසය තුළ පුරුෂාධිපත්‍යය නිසා ස්ත්‍රියට සම්භාවිත අවස්ථාවන් නොදී සිටීමට ගත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම සම්ප්‍රදායය ඇති වූ බවය.
දෙවන පිරිස කීවේ, ස්ත්‍රිය කිළි හෙවත් කිළිටි නිසා පූජනීය දේ තුළින් ඉවත් කර තැබිය යුතුයි යන හැඟීම නිසා මෙය හටගත් බවය.
මේ අර්ථකථන දෙකම තුළ ඇත්තේ අනෛතිහාසික හෝ ඉතිහාස-විරෝධී කියවීම් දෙකක්ය. මේ කියවීම් දෙකට හේතුව වී ඇත්තේ පෙරහැර යනු 'සංස්කෘතික මංගල්‍යයක්', 'ජාතික අනන්‍යතාව කියාපාන උත්සවයක්' ආදී ලෙස අර්ථකථනය කිරීමය. පෙරහැර සංස්කෘතිය ලංකාවේ ඇති වූයේ අනුරාධපුරයුගයේ මැද භාගයේය. ඒ කාලේ සිට අද දක්වාම ඉතිහාසය පෙරහැරට දුන්නේ එක තේරුමකි. එනම් 'පෙරහැර යනු බුද්ධපූජාවකි'. බුදුරජාණන්වහන්සේ උදෙසා පවත්වන පූජාවකි. බුදුරජාණන්වහන්සේ යනු රාග, ද්වේෂ, මෝහ දුරු කළ ඒවා දුරු කිරීමට දම් දෙසූ දාර්ශනිකයාණන්වහන්සේය. උන්වහන්සේ උදෙසා පවත්වන පූජාවක් මෙම අගතීන්ගෙන් දුරු විය යුතුය යන ආකල්පයයි මා මුලින් දැක්වූ සම්ප්‍රදායයට හේතුව වූයේ.

මා මගේ අද්දැකීමක් මෙහිලා සටහන් කරමි. මම උසස් පෙළ ශිෂ්‍යයෙක්ව සිටින අවධියේ, මගේ මිතුරෙකු මාව පෙරහැරක් බලන්නට බලෙන්ම කැටුව ගියේය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහුගේ පෙම්වතිය ඒ පෙරහැරේ නටන නිසාය. ඇය ප්‍රසිද්ධ රංගකලා ආයතනයක නැටුම් ඉගෙන ගත්තාය. පෙරහැර සඳහා එම කලා ආයතනයෙන් නැටුම් කණ්ඩායම් කීපයක් යොදවා තිබුණි. ඇය මගේ මිතුරාගේ පෙම්වතිය නිසා ඇය ගැන සරාගී හැඟීම් ආවේ නැත. නමුත් ඇය ළඟින්ම නැටූ අනෙක් යුවතිය දෙස ඒ අයුරින් බැලීමට මට නොහැකි විය. ඇය ද වයස 18 වියැති තරුණියකි. නමුත් අවුරුදු 18ට ඇයගේ පියයුරු හොඳින් වැඩී තිබුණි. සිහින් ඉඟක් මෙන්ම පුළුල් උකුළක් ද පසුපැත්ත ද විය. ඒවා තාලයට ලෙලවන විට දැනුණ අනුරාගී හැඟීම අදටත් මට සිහි වේ. මගේ මිතුරාටත් වඩා මා ඉතා උනන්දු වූයෙන් පෙරහැරේ අනෙක් නැටුම් බැලුවේ ද නැත. ඔවුන් සමගම දිගටම ගමන් කළෙමු. දින කීපයක් යන තුරු මගේ රාග නිමිත්ත වූයේ ද ඇයගේ අඟපසඟයන්ය. සෑහෙන කාලයක් ගත වූ පසු මට වැටහුණේ මං පෙරහැරක් හෙවත් බුද්ධපූජාවක් නැරඹීමට ගොස් ශ්‍රද්ධාව, ශීලය වැනි ගුණ ධර්ම ඇති කර ගන්නවා වෙනුවට රාගය ඇති කර ගෙන පැමිණි බවය. එදා මට පැරැණි සම්ප්‍රදායයේ අගය මනාව වැටහුණි.

මෙයට විරුද්ධව විවිධ තර්ක මට වුණත් ඉදිරිපත් කළ හැක. මා මුලින් කීවාක් මෙන් සම්ප්‍රදායය තාර්කික නැත. එහි ඇත්තේ උපයෝගීතාවක් පමණි. යට කී සම්ප්‍රදායයේ උපයෝගීතාව තේරුම් නොගැනීම නිසා ඉහත කී දෙපිරිස දෙපැත්තකට වී ගහමරා ගනියි. දෙදෙනාම සම්ප්‍රදායභීතිකාවෙන් පෙළෙති.

මෙයට වඩා වෙනත් උදාහරණයක් ගෙන නැවත මෙය විමසා බලමු.

හාමුදුරුකෙනෙක් අසුන් ගන්වන විට සුදු රෙද්දක් එලයි. මෙය සම්ප්‍රදායකි.

දෙවන වර්ගයට අයත් අය මෙය අර්ථකථනය කරන්නේ ගෞරවය පිණිස සිදු කරන දෙයක් ලෙසටය. පළමු රැඩිකල් පිරිස එවිට කියන්නේ මෙය ගෞරවය පිණිස කරන දෙයක් නම්, හැම ආගමක පූජයන්ට එසේ අසුන් පැණවිය යුතු බවකි. හාමුදුරුවන්ට දක්වන ගෞරවයට සමාන ගෞරවයක් අනෙක් අයටත් දීම ගැන විරුද්ධ වන සම්ප්‍රදායවාදීන් මෙහිදී උරණ වෙයි. දෙපිරිස ගැටෙයි.

මෙම සම්ප්‍රදායයේ හේතුව ඊට වඩා වෙනස්ය. අතීතයේ භික්ෂූන්වහන්සේලා පෙරවූයේ පඬුපොවන ලද සිවුරුය. අද කාලේ මෙන් ඒ කාලේ ගෘහභාණ්ඩ ද එතරම් සුලභ නැත. දුර බැහැර සිට වඩින හාමුදුරුවරු දාඩිය පෙර ගෙන විත් පන්සලට පැමිණ අර පුටුවල ඉඳ ගත්තාම දාඩියට සිවුරේ පඬු හේදිලා අර පුටුවලත් ගැවෙයි. මෙයින් පුටු දුරුවර්ණ වී පුස් බැඳී විනාශ වෙයි. මේ තත්වය එදා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන්වහන්සේට සැළ කර සිටියෝය. එහිදී උන්වහන්සේ විනය ශික්ෂාපදයක් පණවමින් පෙන්වා දෙන්නේ සිවුර පුටුවල ගැවෙන සේ හිඳ ගැනීම තහනම් බවය. මේ පිළිබඳ විස්තරය හා ශික්ෂාපදය විනයපිටකයේ, වත්තක්ඛන්ධකයේ ඇත. එසේ සිවුර නොගෑවී හිඳ ගන්නනම්, පුටුවට රෙද්දක් ඇතිරිය යුතුම වේ. එය සුදු විය යුතුම නැත. සිංහල සමාජය තුළ සුදු යන්න පිරිසිදු බව දක්වන නිසා කාලානුරූපව එය සුදු රෙද්දක් බවට පත් වී ඇත. ඒ නිසා අප සමාජය දැනුවත් කළ යුත්තේ හාමුදුරුවන් හිඳ ගන්නා කල පුටුවට රෙද්දක් එලන්නේ එවැනි විනය පැණවීමක් තියෙන නිසා බවය. අනෙක් ආගමික පූජකයන්ට එවැනි විනය පැණවීමක් නැති නිසා, රෙදි එලීමක් අවශ්‍ය නැත. මේ විදිහට වටහා ගත්තා නම් ගැටුම් ඇති වන්නේ නැත.

එකිනෙකට වෙනස් උදාහරණ දෙකක් ගනිමින් පෙන්වා දුන්නේ, රැඩිකල් කියා ගන්නා චින්තයන් ද සම්ප්‍රදායවාදීන් යැයි කියා ගන්න චින්තකයන් ද පොදුවේ සම්ප්‍රදායභීතිකාවෙන් පෙළෙන බවත්, ඔවුන්ගේ නොහැදැරීම හේතුවෙන් සමාජයේ නැති ප්‍රශ්න ඇති කරමින් සමාජය කිසියම් ආකූලතාවකට හෙළන බවත් පෙන්වා දීම පිණිසය.

වජිරථේරන්‍යාය

මෑතකදී සිට මගේ නිරීක්ෂණයට හසු වූ පරිදි සම්ප්‍රදායයට විරුද්ධවන්නන්ගේ පොදු හැසිරීමක් ගැන ද මෙහිලා සටහන් කළ යුතුමය. මොවුන් සම්ප්‍රදායයට විරුද්ධ වන්නේ වජිරථේරන්‍යාය යොදා ගනිමින්ය. මෙම න්‍යාය මේ නමින් හැඳින්වෙන්නේ, සබරගමුව විශ්වවිද්‍යාලයයේ කුලපති, අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය කඹුරුගමුවේ වජිර ස්වාමින්වහන්සේට උපහාර පිණිසය. උන්වහන්සේ සිතන්නේ මෙලෙසය. උදාහරණයක් ලෙස හිතන්න, පාර අයිනේ ගූ බෙට්ටක් ඇත යනුවෙන්. එතනින් යන සියලු දෙනා එහි ගඳ දැනී 'අය්යෝ, පුදුම ගඳක් නේ' කියමින් පිළිකුල් කරමින් යන්නේ නම්, වජිර ස්වාමින්වහන්සේ එතනට වඩිති. හැමෝම කියන්නේ ගූ බෙට්ට දුගඳයි කියා බව වැටහුණු විට උන්වහන්සේ 'අහෝ සුවඳයි' කියා කියති. එයට එකම හේතුව 'පොදුවේ එය දුගඳයි' කියා ප්‍රතික්ෂේප කිරීමය. වෙනත් කිසිම හේතුවක් අවශ්‍ය නැත. එසේ කිරීමෙන් සමාජයේ අර්බුදයක් බිහි කළ හැක. ගැටුමක් ඇති කළ හැක. සමාජය ගැටෙන විට එය තමාගේ පාණ්ඩිත්‍ය ඉස්මතු කර ගැනීමේ අවස්ථාවක් බවට පත් කර ගෙන ක්‍රියා කළ හැක.

මේ ලිපියෙන් මා යෝජනා කරන්නේ සම්ප්‍රදාය විචාරයකින් යුතුව බාර ගන්න කියා නොවේය. කිසියම් සම්ප්‍රදායයක් ආකස්මිකව ඇති නොවන බව දැන එහි උපයෝගීතාව අධ්‍යයනය කර එය සමාජය තුළ විද්වත් සාකච්ඡාවකට ලක් කළ යුතු බව පමණක් යෝජනා කරමි. එසේම අවසාන වශයෙන් බුදුරජාණන්වහන්සේගේ සත්‍යදේශනයේ ප්‍රතිපත්තිය පැහැදිලි කරමි. උන්වහන්සේ සත්‍යය හා අසත්‍යය කොටස් 4කට බෙදති. සත්‍යය වර්ග දෙකකි. (1) යමක් සත්‍යය වේ එසේම ප්‍රයෝජනවත් වේ. (2) යමක් සත්‍යය වේ එසේම ප්‍රයෝජනවත් නොවේ. මේ දෙකින් උන්වහන්සේ දේශනා කරන්නේ හුදෙක් සත්‍යය පමණක් නොව එහි ප්‍රයෝජනවත් බව ද සලකාය. යමක් ප්‍රයෝජනවත් නොවේ නම් එය කෙතරම් උසස් සත්‍යයක් වුවත් සමාජය ඉදිරියේ එය දිගහරිමින් කතිකාවත් බිහි නොකළ යුතුය. කුමක් නිසාද යත්, කෙටි ආයු කාලයක් ඇති ජීවිතය කොයි මොහොතේ අවසන් වේදැයි නොදන්නා අප ජීවත් වන කෙටි කාලය තුළ කළ යුතු දේ බොහෝය. සම්ප්‍රදායභීතිකාව නිසා අනවශ්‍ය කතිකාවන් සමාජයට ගෙන විත් තමාගේ කාලයත් විනාශ කරගෙන අනුන්ගේ කාලයත් කා දැමීම බරපතළ අපරාදයකි. එම නිසා සම්ප්‍රදායයේ උපයෝගීතාව හදාරන්න. එයින් බියට පත් නොවන්න.

Comments

Popular posts from this blog

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප