Skip to main content

චේතනාව කර්මය වන හැටි



අවුරුදු දෙදසකට අධික කාලයක් ගිහිල්ලත් අපේ අයට තාම බැරිවෙලා තියෙනවා, කර්මය යනු චේතනාවයි කියන එක තේරුම් ගන්න. සමහරු හිතන් ඉන්නේ මේ චෙතනාව කිව්වේ, උදේ ඉදන් රෑවෙනකම් තොරතෝංචියක් නැතිව ගලාගෙන එන හැම සිතුවිල්ලක්ම තමයි කියල. සමහරු හිතන්නේ චේතනා කියන්නේ හැඟීම්වලට කියල. විඤ්ඤාණය කියන්නේ ඉඳුරන් ඇසුරෙන් ලබන දැනීම. එම විඤ්ඤාණය කොටස් දෙකකට බෙදනවා, චේතනා, මනසිකාර කියලා. මනසිකාර කිව්වේ, මෙනෙහි කිරීම කියන එක. මෙනෙහිකරන්නේ අතීතය. අප ලැබූ අද්දැකීම් පිළිබඳ අතීත ආවර්ජනයක් නිතර අපට අවශ්‍ය වෙනවා එදිනෙදා ජීවිතයේදී. උදාහරණයක් විදිහට ලස්සන අරලිය මලක් දැක්කාම ඒක සුවඳයි කියලා අපට මතක් වෙනවා අපි අතීතයේ ඒ සුවඳ විඳලා තියෙන නිසා. අහසේ කළුවලාකුළු දැක්කාම හිතෙනවා තව ටිකකින් වහියි කියලා. මේ දැනුම අපට ලැබෙන්නේ මනසිකාරය නිසා. ඒක විඤ්ඤාණයේ (දැනීමේ) අනිවාර්ය කොටසක්. අනෙක් කොටස තමයි චේතනාව. මනසිකාරය අතීතයට සම්බන්ධ වන සේ චේතනාව සම්බන්ධ වෙන්නේ වර්තමානයටයි, අනාගතයටයි. චිත්ත කියන පදය හැදෙන්නේත්, චේතනා කියන පදය හැදෙන්නේත් එකම ‘චින්ත්‘ කියන ධාතුවෙන්. එම ධාතුවේ අර්ථය ‘සිතීම, කල්පනා කිරීම‘ කියන එකයි. ඒ අනුව චේතනාව කියන්නේ අපේ තර්කණ හැකියාව, අපේ සිතීමේ හැකියාව. සමස්ත මිනිස්හැසිරීම කොටස් දෙකකට වෙන් කළ හැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. (මාදුළුවාවේ සෝභිත නාහිමි ජන්මදින උපහාර ශාස්ත්‍රීය සංග්‍රහයට, මා ලියූ සම්මාදිට්ඨිය පිළිබඳ ලිපිය හැකි නම් කියවන්න). එනම් ‘ප්‍රතිචාර දැක්වීම සහ නොසලකා හැරීම‘ යනුවෙනි. අපි හිතනවා කියලා කරන්නේ මේ දෙකෙන් එකක් තීරණය කිරීම. ඒ අනුව අපි යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාව පිටුපස කිසියම් තර්කණයක් තියෙනවා. චේතනාව කිව්වේ අන්න ඒකට. ඒක විඤ්ඤාණයේ අනෙක් කොටස.

දැන් බලමු ටිකක් මේ සිද්ධාන්තය උපයෝගී කර ගන්නේ කොහොමද කියලා. මෙහිදී බුදුදහමේ ඍජු විරෝධියා තමයි ජෛනධර්මය. ඒ අය කිව්වේ කර්මය යනු ක්‍රියාව කියලයි. ඒ අනුව වැදගත් වුණේ කායිකව හෝ වාචසිකව කරන ක්‍රියාව. අපි හිතමු මෙහෙම. A කියන මිනිහා ඇල්වතුර බොන්නේ නැහැ. B කියන මිනිහත් ඇල්වතුර බොන්නේ නැහැ. මේ ක්‍රියාව දෙස බලා කවුරුහෝ නිගමනය කරනවා, A සහ B කියන දෙන්නාම ‘ඇල්වතුර නොබොන‘ අය කියලා. මේ නිගමනය ජෛනධර්මයට අනුව ඉතාම නිවැරදියි. මේ නිගමනයේ උපයෝගීතාවක් ද තියෙනවා. උදාහරණයක් ලෙසට මේ දෙන්නටම කෑමකට ආරාධනා කළා කියා හිතන්න. එතකොට සේවා සපයන අයට පුළුවන් මේ දෙන්නව එක මේසෙක ඉන්දලා එම මේසයට ඇල්වතුර නොදී ඉන්න. මේ වගේ සරල උපයෝගිතාවක් බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මේ ක්‍රියාව දෙස බලා A සහ B යන දෙදෙනාම එකම දේ කරනවා කියා නිගමනය කරනවා නම් එයා බෞද්ධ නෙවේ. අනිවාර්යයෙන් ජෛන. ආයේ කතා දෙකක් නැහැ. බුදුදහම උගන්වනවා ඒ වගේ වෙලාවට ප්‍රශ්න කරන්න කියලා. ඇල්වතුර බොන්නේ නැහැ. ඇයි ඒ? A ඇල්වතුර බොන්නේ නැහැ, එයාට අසනීපයක් තියෙන නිසා. B ඇල්වතුර බොන්නේ නැහැ ඒ තුළ ක්ෂුද්‍රපාණීන් ඉන්නවා කියන විශ්වාසය නිසා. එහෙම නම් මේ සමාන ක්‍රියාව පිටුපස තියෙන්නේ තර්කණ දෙකක්. එනම් චේතනා දෙකක්. ඒ අනුව බුදුදහම පැහැදිලි කරන විදිහට මේතන තියෙන්නේ එක ක්‍රියාවක් සහ කර්ම දෙකක්. දැන් තේරෙනවා ද ක්‍රියාව හා කර්මය අතර තියෙන වෙනස. හොඳට මතක තියා ගන්න මිනිහෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ කර්මයට අනුව මිස ක්‍රියාවට අනුව නොවේ. ඒ කියන්නේ මතුපිටින් අපට පේන ක්‍රියාවට අනුව නොවේ, එයට පිටුපසින් ඇති ඔහුගේ තර්කණයට අනුව. කවුරුහරි මිනිහෙක් කරන කියන දෙයක් දැකලා එක පාරටම ඔබ නිගමනවලට එනවා නම්, මේකා කුපාඩියෙක්, හොරෙක්, රස්තියාදුකාරයෙක් ලෙස හෝ මහාපොරක්, හොඳ මනුස්සයෙක්, සිල්වතෙක් ලෙස හෝ කතා දෙකක් නැහැ ඔබ ජෛනයෙක්. ඔබ බෞද්ධයෙක් නම් හොයලා බලන්න ඕනේ ඒ ක්‍රියාව පිටුපස ඇති තර්කණය.

තව ගොන්පාට් එකකටත් මෙතනදීම පිළිතුරු ලියන්නම්. සමහර පොල්බූරුවෝ අහනවා, මෛත්‍රී චේතනාවෙන් සතෙක් මැරුවාම පවු නැද්ද කියලා. ඔය අහන්නේ බළලා මල්ලේ තියාගෙන. දෙවියන්ට පූජා කිරීම පිණිස දේවභක්තියෙන් පිනා ගිය සිතක් ඇතිව සතෙක් මරලා පූජා කරන එක ගැනයි ඔය අහන්නේ. ඒකට කියන්න තියෙන්නේ මේකයි. මං දැන් උඩ භාවිත කළ චිත්ත, චේතනා, විඤ්ඤාණ වගේ පද සේරම භාවිත කළේ මුල්බුදුසමයේ එන විදිහට. අභිධර්මයේදී මේ සෑම පදයකටම ටිකක් වෙනස් තේරුම් ලබා දෙනවා. මුල්බුදුසමයේ චේතනා කී කාරණය අභිධර්මයේදී ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියන චිත්ත 6ක් විදිහට බෙදලා වෙන් කරනවා. මුල් හේතු තුන නිසා පවු සිදු වෙනවා, පසු හේතු තුන නිසා පින් සිදු වෙනවා. සතෙක් මැරුවාම පිනක් සිදු වෙනවා කියා සිත සතුටින් පිනා යන්නේ පින කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තරම් නුවණක් නැති නිසා. දැනුමක් නැති නිසා. තවත් සතෙකුගේ ජීවිතාශාව ගැන අවබෝධයක් නැති නිසා. මේකට අභිධර්මයේදී කියන්නේ මෝහය කියලා. ඒ අනුව එතන සිදු වන්නේ පවක්.

හොදින් මතක තියා ගත යුතු කරුණක් ඇත. අප එදිනෙදා යොදන වචන ඒ ආකාරයෙන්ම බුදුදහම යොදා ගන්නේ නැත. අපි දුක කියන එකට නෙවේ, බුදුදහම දුක කියන්නේ. ඒ වගේ අප චේතනාව කියලා එදිනෙදා කියන කටවහරට නෙවේ බුදුදහම චේතනාව කියන්නේ. චේතනාව කර්මය වේ කියන කාරණය බැරෑරුම්ව ගන්න. ජෛනයන් නොවී බෞද්ධයන් වගේ හිතන්න.

Comments

  1. කෙනෙක්ව මරණයෙන් බේරගන්න සතෙක්ව මරණ එකයි විනෝදය /මස් සදහා මරණ එකයි චේතනා දෙකක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...