Skip to main content

චේතනාව කර්මය වන හැටි



අවුරුදු දෙදසකට අධික කාලයක් ගිහිල්ලත් අපේ අයට තාම බැරිවෙලා තියෙනවා, කර්මය යනු චේතනාවයි කියන එක තේරුම් ගන්න. සමහරු හිතන් ඉන්නේ මේ චෙතනාව කිව්වේ, උදේ ඉදන් රෑවෙනකම් තොරතෝංචියක් නැතිව ගලාගෙන එන හැම සිතුවිල්ලක්ම තමයි කියල. සමහරු හිතන්නේ චේතනා කියන්නේ හැඟීම්වලට කියල. විඤ්ඤාණය කියන්නේ ඉඳුරන් ඇසුරෙන් ලබන දැනීම. එම විඤ්ඤාණය කොටස් දෙකකට බෙදනවා, චේතනා, මනසිකාර කියලා. මනසිකාර කිව්වේ, මෙනෙහි කිරීම කියන එක. මෙනෙහිකරන්නේ අතීතය. අප ලැබූ අද්දැකීම් පිළිබඳ අතීත ආවර්ජනයක් නිතර අපට අවශ්‍ය වෙනවා එදිනෙදා ජීවිතයේදී. උදාහරණයක් විදිහට ලස්සන අරලිය මලක් දැක්කාම ඒක සුවඳයි කියලා අපට මතක් වෙනවා අපි අතීතයේ ඒ සුවඳ විඳලා තියෙන නිසා. අහසේ කළුවලාකුළු දැක්කාම හිතෙනවා තව ටිකකින් වහියි කියලා. මේ දැනුම අපට ලැබෙන්නේ මනසිකාරය නිසා. ඒක විඤ්ඤාණයේ (දැනීමේ) අනිවාර්ය කොටසක්. අනෙක් කොටස තමයි චේතනාව. මනසිකාරය අතීතයට සම්බන්ධ වන සේ චේතනාව සම්බන්ධ වෙන්නේ වර්තමානයටයි, අනාගතයටයි. චිත්ත කියන පදය හැදෙන්නේත්, චේතනා කියන පදය හැදෙන්නේත් එකම ‘චින්ත්‘ කියන ධාතුවෙන්. එම ධාතුවේ අර්ථය ‘සිතීම, කල්පනා කිරීම‘ කියන එකයි. ඒ අනුව චේතනාව කියන්නේ අපේ තර්කණ හැකියාව, අපේ සිතීමේ හැකියාව. සමස්ත මිනිස්හැසිරීම කොටස් දෙකකට වෙන් කළ හැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. (මාදුළුවාවේ සෝභිත නාහිමි ජන්මදින උපහාර ශාස්ත්‍රීය සංග්‍රහයට, මා ලියූ සම්මාදිට්ඨිය පිළිබඳ ලිපිය හැකි නම් කියවන්න). එනම් ‘ප්‍රතිචාර දැක්වීම සහ නොසලකා හැරීම‘ යනුවෙනි. අපි හිතනවා කියලා කරන්නේ මේ දෙකෙන් එකක් තීරණය කිරීම. ඒ අනුව අපි යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාව පිටුපස කිසියම් තර්කණයක් තියෙනවා. චේතනාව කිව්වේ අන්න ඒකට. ඒක විඤ්ඤාණයේ අනෙක් කොටස.

දැන් බලමු ටිකක් මේ සිද්ධාන්තය උපයෝගී කර ගන්නේ කොහොමද කියලා. මෙහිදී බුදුදහමේ ඍජු විරෝධියා තමයි ජෛනධර්මය. ඒ අය කිව්වේ කර්මය යනු ක්‍රියාව කියලයි. ඒ අනුව වැදගත් වුණේ කායිකව හෝ වාචසිකව කරන ක්‍රියාව. අපි හිතමු මෙහෙම. A කියන මිනිහා ඇල්වතුර බොන්නේ නැහැ. B කියන මිනිහත් ඇල්වතුර බොන්නේ නැහැ. මේ ක්‍රියාව දෙස බලා කවුරුහෝ නිගමනය කරනවා, A සහ B කියන දෙන්නාම ‘ඇල්වතුර නොබොන‘ අය කියලා. මේ නිගමනය ජෛනධර්මයට අනුව ඉතාම නිවැරදියි. මේ නිගමනයේ උපයෝගීතාවක් ද තියෙනවා. උදාහරණයක් ලෙසට මේ දෙන්නටම කෑමකට ආරාධනා කළා කියා හිතන්න. එතකොට සේවා සපයන අයට පුළුවන් මේ දෙන්නව එක මේසෙක ඉන්දලා එම මේසයට ඇල්වතුර නොදී ඉන්න. මේ වගේ සරල උපයෝගිතාවක් බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මේ ක්‍රියාව දෙස බලා A සහ B යන දෙදෙනාම එකම දේ කරනවා කියා නිගමනය කරනවා නම් එයා බෞද්ධ නෙවේ. අනිවාර්යයෙන් ජෛන. ආයේ කතා දෙකක් නැහැ. බුදුදහම උගන්වනවා ඒ වගේ වෙලාවට ප්‍රශ්න කරන්න කියලා. ඇල්වතුර බොන්නේ නැහැ. ඇයි ඒ? A ඇල්වතුර බොන්නේ නැහැ, එයාට අසනීපයක් තියෙන නිසා. B ඇල්වතුර බොන්නේ නැහැ ඒ තුළ ක්ෂුද්‍රපාණීන් ඉන්නවා කියන විශ්වාසය නිසා. එහෙම නම් මේ සමාන ක්‍රියාව පිටුපස තියෙන්නේ තර්කණ දෙකක්. එනම් චේතනා දෙකක්. ඒ අනුව බුදුදහම පැහැදිලි කරන විදිහට මේතන තියෙන්නේ එක ක්‍රියාවක් සහ කර්ම දෙකක්. දැන් තේරෙනවා ද ක්‍රියාව හා කර්මය අතර තියෙන වෙනස. හොඳට මතක තියා ගන්න මිනිහෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ කර්මයට අනුව මිස ක්‍රියාවට අනුව නොවේ. ඒ කියන්නේ මතුපිටින් අපට පේන ක්‍රියාවට අනුව නොවේ, එයට පිටුපසින් ඇති ඔහුගේ තර්කණයට අනුව. කවුරුහරි මිනිහෙක් කරන කියන දෙයක් දැකලා එක පාරටම ඔබ නිගමනවලට එනවා නම්, මේකා කුපාඩියෙක්, හොරෙක්, රස්තියාදුකාරයෙක් ලෙස හෝ මහාපොරක්, හොඳ මනුස්සයෙක්, සිල්වතෙක් ලෙස හෝ කතා දෙකක් නැහැ ඔබ ජෛනයෙක්. ඔබ බෞද්ධයෙක් නම් හොයලා බලන්න ඕනේ ඒ ක්‍රියාව පිටුපස ඇති තර්කණය.

තව ගොන්පාට් එකකටත් මෙතනදීම පිළිතුරු ලියන්නම්. සමහර පොල්බූරුවෝ අහනවා, මෛත්‍රී චේතනාවෙන් සතෙක් මැරුවාම පවු නැද්ද කියලා. ඔය අහන්නේ බළලා මල්ලේ තියාගෙන. දෙවියන්ට පූජා කිරීම පිණිස දේවභක්තියෙන් පිනා ගිය සිතක් ඇතිව සතෙක් මරලා පූජා කරන එක ගැනයි ඔය අහන්නේ. ඒකට කියන්න තියෙන්නේ මේකයි. මං දැන් උඩ භාවිත කළ චිත්ත, චේතනා, විඤ්ඤාණ වගේ පද සේරම භාවිත කළේ මුල්බුදුසමයේ එන විදිහට. අභිධර්මයේදී මේ සෑම පදයකටම ටිකක් වෙනස් තේරුම් ලබා දෙනවා. මුල්බුදුසමයේ චේතනා කී කාරණය අභිධර්මයේදී ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියන චිත්ත 6ක් විදිහට බෙදලා වෙන් කරනවා. මුල් හේතු තුන නිසා පවු සිදු වෙනවා, පසු හේතු තුන නිසා පින් සිදු වෙනවා. සතෙක් මැරුවාම පිනක් සිදු වෙනවා කියා සිත සතුටින් පිනා යන්නේ පින කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තරම් නුවණක් නැති නිසා. දැනුමක් නැති නිසා. තවත් සතෙකුගේ ජීවිතාශාව ගැන අවබෝධයක් නැති නිසා. මේකට අභිධර්මයේදී කියන්නේ මෝහය කියලා. ඒ අනුව එතන සිදු වන්නේ පවක්.

හොදින් මතක තියා ගත යුතු කරුණක් ඇත. අප එදිනෙදා යොදන වචන ඒ ආකාරයෙන්ම බුදුදහම යොදා ගන්නේ නැත. අපි දුක කියන එකට නෙවේ, බුදුදහම දුක කියන්නේ. ඒ වගේ අප චේතනාව කියලා එදිනෙදා කියන කටවහරට නෙවේ බුදුදහම චේතනාව කියන්නේ. චේතනාව කර්මය වේ කියන කාරණය බැරෑරුම්ව ගන්න. ජෛනයන් නොවී බෞද්ධයන් වගේ හිතන්න.

Comments

  1. කෙනෙක්ව මරණයෙන් බේරගන්න සතෙක්ව මරණ එකයි විනෝදය /මස් සදහා මරණ එකයි චේතනා දෙකක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප