Skip to main content

බුද්ධභාෂිත යනු මොනවාද?

මෙයට පෙර, වතාවක් මා ලියූ සටහනක රතන, කරණීයමෙත්ත, ධජග්ග, තිරෝකුඩ්ඩ, මහාසමය, ආටානාටිය යන සූත්‍ර පසුව ත්‍රිපිටකයට එකතු කළ ඒවා බව පෙන්වීය. මේවාට අමතරව අග්ගඤ්ඤ සූත්‍රයත් පසුව එකතු කරන ලද්දකැයි ඇතැමුන් කියන නමුත් එය පිළිගැනීමට තරම් සාධක නැත. නමුත් පායාසිරාජඤ්ඤ සූත්‍රය පසුව එකතු කළ බව තහවුරු කර ගත හැක. සූත්‍ර වශයෙන් නොගත්තත් ජාතක, අපදාන, බුද්ධවංස, චරියාපිටක වැනි ඛුද්දක නිකායට අයත් බොහෝ පොත් ද පසුව ත්‍රිපිටකයට ඈඳා ගත් ඒවාය. චන්ද පරිත්ත, සුරිය පරිත්ත ආදී ලෙස පරිත්ත යන නාමය යටතේ ඇති සියල්ලත් මේ ගණයටම අදාළය. මේවා ත්‍රිපිටකයට පසුව එකතු කළ බව කියන්නේ ඒවායේ අන්තර්ගතය පිළිගැනීමට නොහැකි නිසා නොවේය. තමන්ට යමක් පිළිගන්නට නොහැකි වූ පමණින් එය පසුව එකතු කළ එකක් යැයි කීම අතිශය අශාස්ත්‍රීය ක්‍රමයකි. මේවා පසුව එකතු කළ බව කියන්නේ කරුණු 3ක් පාදක කර ගෙනය.



1. යම් සූත්‍රයක අන්තර්ගතය දැනට නිශ්චිතව තහවුරු කර ගත් සූත්‍රයක අන්තර්ගතය සමග නොගැළපෙන විට දී. උදා. ධජග්ග සහ ම.නි. භයභේරව සූත්‍රය
2. යම් සූත්‍රයක භාෂාව වෛදික හෝ පූර්ව ප්‍රාකෘත ආභාසය නොගෙන පශ්චාත් ප්‍රාකෘත හෝ සම්භාව්‍ය සංස්කෘතයට අයත් භාෂා ලක්ෂණ නිරූපණය කිරීම. උදා. රතන සූත්‍රය
3. පසුකල බිහි වූ බවට නිශ්චිතව තහවුරු කර ගත් කිසියම් දර්ශන හෝ ආගමික ශාඛාවක ආකෘතියට අනුව රචනා වූ සූත්‍ර. උදා. මහායාන ආභාසය රැගත් ආටානාටිය, මහාසමය සහ ජෛන ත්‍රිපිටකයෙන් උපුටා ගත් පායාසිරාජඤ්ඤ සූත්‍රය යනාදිය...

දැන් අපට තියෙන ගැටලුව නම්, යමක් පසුකල ත්‍රිපිටකයට එකතු කළ බව තහවුරු වූ පමණින් එය බුද්ධභාෂිතයක් නොවේ ද? යමක් මුල සිට පවත්වාගෙන ආ පමණින් ම එය බුද්ධභාෂිතයක් බවට පත් වන්නේ ද? යන කරුණු දෙකය. පළමු සංගායනාවේ දී ඇතුළත් කිරීමට නොහැකි වූ බොහෝ දේ තුන්වන සංගායනාවේ දී ද එයින් නොහැකි වූ බොහෝ දේ ත්‍රිපිටකය ලියන කල ද ඇතුළත් විය. නමුත් මෙයින් කිසිසේත් ම ඒවා බුද්ධභාෂිත නොවේ යැයි කියැවෙන්නේ නැත. අනෙක් අතට දැනට අප අතට පත් ත්‍රිපිටකයේ කිසිදු සූත්‍රයක් බුදුරජාණන්වහන්සේ දේශනා කළ ආකාරයෙන් ම නැති බවත් ඒවා සංගීතිකාරක තෙරවරුන් විසින් සංස්කරණය කර සංක්ෂිප්ත කර ඇති බවත් අටුවාව පවසයි. ඒ අනුව ඒවා ද අපගේ සැකයට භාජනය විය යුතුය. සරලව ම යමක් ත්‍රිපිටකයට පසුව ඇතුළත් කළා ද නැද්ද යන කාරණය සහ එය බුද්ධභාෂිතයක් ද නැද්ද යන කාරණය සම්පූර්ණයෙන් ම වෙනස් ප්‍රශ්න දෙකකි. අභිධර්ම ප්‍රශ්නයත් මෙයට ම ඇතුළත් කර ගන්නවා නම්, අභිධර්මය පසුව රචනා වූ නිසාම එය බුද්ධභාෂිතයක් නොවේ යැයි තර්ක කළ නොහැක.

මෙය නිරාකරණය කර ගෙන බුද්ධභාෂිතයක් යනු කුමක් දැයි හඳුනා ගැනීමට ත්‍රිපිටකයේ ම ක්‍රමයක් නිර්දේශ කර ඇත. මෙය මගේ අදහසක් යැයි කිවහොත් මා සංකල්පචෞරයකු බවට පත් වේ. මා මූලික උපාධි අපේක්ෂකයෙකු ලෙස ජ’පුරේ අධ්‍යයනය කටයුතු කරන කාලයේ දී නායිම්බල ධම්මදස්සී (PhD, Lancaster) හාමුදුරුවන් තමයි අපට මේ කරුණ මුලින්ම ඉගැන්වූයේ. මා කරන්නේ උන්වහන්සේ උගැන්වූ දෙය විස්තර කර පෙන්වීමක් පමණි.

බුදුරජාණන්වහන්සේ වෙනත් තැනක දේශනා කළ දෙයක් අනුව උත්තර හාමුදුරුවන් අ.නි. අට්ඨක නිපාතයේ උත්තරවිපත්ති සූත්‍රයේදී මෙසේ දක්වා ඇත. “යං කිඤ්චි සුභාසිතං සබ්බං තං තස්ස භගවතෝ වචනං”. යමක් සුභාෂිතයක් ද ඒ සියල්ල එකී භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි එනම් බුද්ධභාෂිතයකි.

මෙහි සරල අදහස නම්, ‘යම් සුභාෂිතයක් වේ ද එය බුද්ධභාෂිතයකි’ යන්නයි. ඇරිස්ටෝටලියානු A ප්‍රස්තුතයක් බවට පෙරළුවහොත් “සියලු සුභාෂිතයෝ බුද්ධභාෂිතයෝය” කියා අපට කිව හැකිය. මේ අනුව යමක් බුද්ධභාෂිතයක් බව ඉදිරිපත් කළ පමණින් අප එය පිළිගත යුතු නොවේ. මෙ බව බුදුරජාණන්වහන්සේම මහාපරිනිබ්බාණ සූත්‍රයේ දේශනා කර ඇත.

ඒ ඇයි ද කියා අපි බලමු.
(P = ත්‍රිපිටකයෙන් උපුටා ගත් ඕනෑම පාඨයක්)

සියලු සුභාෂිතයෝ බුද්ධභාෂිතයෝ ය.
P යනු බුද්ධභාෂිතයකි.
එම නිසා P යනු සුභාෂිතයකි.

මේ තර්කය වැරදිය. ආභාස සහිතය. ඒ මෙසේය.

සියලු ඔටුවෝ ක්ෂීරපායීය.
චම්පික රණවක ක්ෂීරපායීයෙකි.
එම නිසා චම්පික රණවක ඔටුවෙකි.

මෙම තර්කයේ මුලින් කියන කරුණු දෙක ඇත්ත වුණත් අවසාන නිගමනය වැරදි බව ඔබට පසක් කළ හැක. ඒ ආකාරයෙන් ම මුලින් කී තර්කයත් වැරදිය.

දැන් අපට ප්‍රශ්නයක් මතු වන්නේ යමක් සුභාෂිතයක් වන්නේ කෙසේ ද කියා නිගමනය කිරීම ගැනය. හීනයානය සහ මහායානය යන දෙකම හොඳින් හදාළ 7වන සියවසේ ජීවත් ශ්‍රේෂ්ඨ බෞද්ධ දාර්ශනිකයකු වන ධර්මකීර්ති හාමුදුරුවන් මෙයට පිළිතුරු දී ඇත. උන්වහන්සේ පෙන්වා දෙන්නේ යමක් සුභාෂිතයක් වන්නේ කරුණු 4ක් සම්පූර්ණ කළ විට බවය.
1. ප්‍රත්‍යක්ෂ නිරාකෘත - යම් ප්‍රස්තුතයක් ප්‍රත්‍යක්ෂය සමග ගැළපීමක් ඇති විය යුතුයි. ‘ගින්දර සීතලයි’ කියා යමෙක් කියන විට එය සුභාෂිතයක් නොවන්නේ අපේ ප්‍රත්‍යක්ෂයට එය විරුද්ධ වන නිසාය.
2. අනුමාන නිරාකෘත - ප්‍රත්‍යක්ෂ කළ නොහැකි යමක් අනුමානය (inference) සමග ගැළපිය යුතුවේ. ‘ගඟ පිටාර ගැලුවේ ලොකු වැස්සක් ලැබුණේ නැතිවය’ කියා කියන විට එය සුභාෂිතයක් නොවේ. කුමක් නිසාද යත් අපට ප්‍රත්‍යක්ෂ කළ හැකි ප්‍රදේශයට වැස්ස නැතත් ගඟේ පෝෂණ කලාපයට වැස්ස නොලැබුනා නම් එය පිටාර ගලන්නේ නැති බව අප අනුමාන ඥානයෙන් (inferential knowledge) දන්නා නිසාය.
3. ප්‍රතීති නිරාකෘත - කිසියම් ජන සමාජයක් සම්මත කළ භාෂා ව්‍යවහාරයට ගැළපිය යුතු වේ. විට්ගන්ස්ටෛන් භාෂාව නිවාඩුවකට යවන්න එපා කිව්වේත් මේ ප්‍රශ්නය නිසාය. ඒ අනුව ‘අඹ කියන්නේ හඳට’ කියා කියන විට අප එය නොපිළිගන්නේ අඹ යන්නට තේරුම් කීපයක් ඇතත් එහි හඳ යන තේරුම නැති නිසාය.
4. ස්වවචන නිරාකෘත - කිසියම් පුද්ගලයෙක් ප්‍රකාශකරන තමාගේ වචන තුළම ගැළපීමක් ඇති විය යුතු ය. ‘අඹ ගහ කියන්නේ උද්භිද ගණයට ඇතුළත් වන දෙයක් නොවේ’ යැයි කියන විට එය සුභාෂිතයක් නොවන්නේ ගහ යැයි කීම සහ උද්භිද නොවීම යන දෙක නොගැළපෙන නිසාය.

මේ අනුව, මෙම කාරණා සපුරන ප්‍රස්තුතය සුභාෂිතයක් ලෙස පිළිගත යුතු අතර එය බුද්ධභාෂිතයක් ද වේ. මේ ක්‍රමය අනාදිමත් කාලයක සිට ථේරවාදී මහායාන යන සියලු දෙනාම පිළිගත්හ. අභිධර්මය බුද්ධභාෂිතයක් වන්නේ යම් ආකාරයකට ද ඒ ආකාරයට ම මූලමධ්‍යමකකාරිකාවත් බුද්ධභාෂිතයක් විය යුතුය. නායිම්බල ධම්මදස්සී හාමුදුරුවන් අපට ඉතා පැහැලිව පෙන්වා දුන් පරිදි යමක් බයිබලයේ තියෙන නිසා හෝ කුරාණයේ තියෙන නිසා හෝ අප ප්‍රතික්ෂේප කළ යුතු නොවේ. එය සුභාෂිතයක් නම්, බුද්ධභාෂිතයක් ලෙසම පිළිගත යුතුය. මම මෙය තවත් විස්තර කර කියන්නම්, යමක් උපනිෂද්වල තිබුණත්, භගවද්ගීතාවේ තිබුණත්, යමක් ප්‍රකාශ කළේ රසල්, විට්ගන්ස්ටෛන්, ඩෙරීඩා, ෆූකෝ, අල්තුෂර්, ජිජැක් ආදී ඕනෑම අයෙක් වුණත් එය සුභාෂිතයක් නම් එය බුද්ධභාෂිතයකි. අනෙක් අතට යමක් ත්‍රිපිටකයේ තිබුණා කියා කීවත් එය සුභාෂිතයක් නොවේ නම්, එය බුද්ධභාෂිතයක් නොවේ මය. බුදුරජාණන්වහන්සේට අනුව සත්‍යයට ප්‍රදේශවාදයක් නැත. එය යුරෝපයට එක සත්‍යයකි, ඉන්දියාවට තව සත්‍යයකි කියා වෙනස් විය හැකි නොවේ. සත්‍යයට පුද්ගලවාදයක් ද නැත. යමක් යේසුස් වහන්සේ කී නිසා බොරුවක් වීමටත් ජිජැක්ගේ අදහසක් නිසා ප්‍රතික්ෂේප කිරීමටත් බුදුරාජාණන්වහන්සේගේ අදහසක් නිසා පිළිගැනීමටත් හේතුවක් නැත. අප යමක් පිළිගත යුත්තේ එය සුභාෂිතයක් නම් ය. සුභාෂිත වන ඕනෑම දෙයක් බුද්ධභාෂිතයක් ද වේ මය. (අවු. 16දී ත්‍රිපිටකය කියවූ මම ඩෙරීඩා පස්සේ යන්නෙ ඇයි දැයි වරක් අයෙක් මගෙන් ඇසීය. මං කාගේවත් පස්සේ යන්නේ නැත. යන්නේ සුභාෂිත පස්සේ පමණි. මන්දයත් ඒවා මට බුද්ධභාෂිත වන නිසාය.)

මහාපරිනිබ්බාණ සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ දේශනා කළ අදහස ස්වරණ සූත්‍රයේ දී මෙසේ නැවත වෙනත් ආකාරයකින් දේශනා කළහ.
“මහණෙනි, රන්කරුවා රත්තරන්වල හොඳ නරක බැලීමට, ගින්නේ දමා පුළුස්සයි ද දෙකඩ කර බලයි ද උරගලක උරගායි ද ඒ ආකාරයෙන් පණ්ඩිතයන් විසින් තථාගත වචනය (බුද්ධභාෂිතය) විමසා බලා පිළිගත යුතුය”.

බර්ට්‍රම් ජී. ලියනගේ


Like

Comments

  1. ධර්මය පිළිබද සැක ඇති කරවලා භයානක අපාය ගාමි අකුසල් රැස් කරගන්න එපා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප