Skip to main content

මාධ්‍ය වාර්තාකරණය



මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි...

සේකරයන්ගේ ඒ පබැඳුම
දැන් දැන්
ඉඳහිටවත්
කිසිදු මාධ්‍යයකින් ඇහෙන්නේ නැත.
නන්දා මාලනිය
වැරදීමකින්වත්
දැන් එය ගයන්නේ නැත.

මේක ජාතිවාදී ගීයක්!

කලාකරුවන් ජාතිවාදයෙන් ඉවත් විය යුතු.

කලකට රහ ලු
කලකට වහ ලු.

සුනිල් ආරියරත්නයන්
ඉගෙන ගෙන දෙමළ
දැන් ලියන්නෑ ඔය බහු බූත.
ඒ වෙනුවට
පරිවර්තනය කරනවා
දෙමළ රාමායණය
සිංහලට
කියා දෙන්න අපේ අයට
ඉන්දියාවේ රාම
ලංකාවේ රාවණව මැරූ හැටි.

මේ හින්දයි අප උද්ඝෝෂණය කරන්නේ

කෑගහමු අපි
මේ....... සිංහල
අපේ රටයි
අප........ ඉපදෙන
මැරෙන රටයි

තෙරුවන් වැඳ
පන්සිල් ගෙන
ඇරඹුවෙමු අපි අපේ ගමන
විහාර මහාදේවි උද්‍යානයේ බුදුරුව අසලින්
බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවට...

“අද අපට වීරයෙක් අවශ්‍යයි
දියසේන ඉපදෙනකං බලං ඉන්න බෑ
අනගාරික ධර්මපාල
හික්කඩුවේ සුමංගල නාහිමි වගේ
ශ්‍රේෂ්ඨ නායකයන් අපට අවශ්‍යයි
අද ඒ මිනිස්සුන්ට ඉපදෙන්නවත් දෙන්නෑ
තිඹිරි ගෙදරදීම මරල දානවා”

මට මතකයි
මීට ටික දවසකට ඉස්සර
හම්බවුණා මට
දියසේන කුමාරයව.

නම
ටිකිරි බණ්ඩාරලාගේ දියසේන
තාත්තා බෞද්ධ
අම්මා කතෝලික
අම්මාගේ බල කිරීමට
තාත්තා හැරුණා කතෝලික ආගමට
පල්ලියෙන් බඳින්න
‘පවුල්පොත’ ලබා ගන්න.
නැතිනම් පවුල්පොත
ලැබෙන්නෑ මිනීවළ පල්ලියේ කනත්තෙන්.

(පල්ලිය ගැන කලකිරී
ජීවිතේට පල්ලි නොගිය
ඒ වුණාට
දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවුණු
සියදොරිස් සෙබස්තියන් උන්නැහේ මැරුණාමත්
වළ දැම්මේ ‘බුද්දාගමේ කනත්තේ’.
අහලපහල අය පාංසකූලෙත් දුන්නා
හාමුදුරුවන්ට බොරු කියලා.)

ඉතින් ඊට පස්සේ

බවුතීස්ම කළා
මාස තුනේ දියසේනව
එහෙම නැත්තං ලැබෙන්නෑ හොඳ ඉස්කෝලයක්

කොලුවගෙ ආච්චියි සීයයි
බැලුවා කේන්දරේ
ගමේ පන්සලේ පණ්ඩිත හාමුදුරුවන්ගෙන්
“මේක බොහොම බලගතු කේන්දරයක්
ග්‍රහයො හතර දෙනෙක් උච්චයි
විපරීත රාජයෝගයකුත් තියෙනවා
මූනං කවද හරි රජ වෙනවා.
මහාපණ්ඩිතයෙක් වෙනවා.
පුළුවන්නං කොලුවව මහණ කරන්න
රට ජාතිය බබලවන වීරයෙක් වෙනවා...”
“කොලුවගෙ අම්ම කැමති නෑ හාමුදුරුවනේ...”

කොලුවා ලොකු වුණාම
ඇතුළු කළා අගනුවර ජනප්‍රිය ජාතික පාසලකට
‘ශාන්ත ............ විද්‍යාලයට අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.’

“මුලින්ම අපි එකඟතාවයකට එමු.
මේ පාසලේ ඉගෙන ගන්නා කාලය තුළ
වෙන කිසිම ආගමක් ඉගෙන ගන්න තහනම්”
“අපි එකඟයි ෆාදර්.....”

එදා සිට ඔහු ඉගෙන ගත්තේය
පරණ ගිවිසුම
අලුත් ගිවිසුම
යුදා ඉතිහාසය
යුරෝපීය සංස්කෘතිය

‘සත්‍යය ද මාර්ගය ජීවනය ද මම වෙමි. මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝය. ඔබ මා හඳුනන්නාහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නාහුය. මෙතැන් පටන් ඔබ උන්වහන්සේ හඳුන්නාහුය. උන්වහන්සේ දැක ඇත.i

‘සුද්ධී අසුද්ධී පච්චත්තං
නාඤ්ඤෝ අඤ්ඤං විසෝධයෙii

“දැන් දියසේන ලොකුයි
ඉංග්‍රීසීත් හොඳට පුළුවන්
අපි මෙයාට ඉංග්ලිෂ් මීඩියම් එකෙන් උගන්නමු ද?”
“හොඳයි ෆාදර්.....”

‘ගුරුසිත නොරිදවා
වේලාව නොවරදවා’

හැම් බර්ගර් කේ. එෆ්. සී. චිකන් කකා
ස්ප්‍රින් ඇඳක බුදියාගෙන දුක් නොතකා
ඉම්පෝර්ටට් ඩෙනිම් ටීෂර්ට් ඇඳ නොවකා
ඇල්මෙන් අකුරු උගනී ඉදිරි වැඩ තකා

කොලුවා දැන් උසස් පෙළ...

ගැහුවා කොක්කක්
බ්‍රිජට් එකේ කෙල්ලකට
මාර කෑල්ල
ඇනා ශර්පෝවා වගේ
කකුල් දෙකම එළියෙ දාන්
කොටට කොටේ සාය ඇදන්
ටෙනිස් ගහන්නට යනකොට
මූ ගියා පස්සෙන්
දැන් සෙට්.

කොලුවා දැන් වැඩිපුරම ඉන්නේ
එම් සී එකේ
ලිබර්ටි එකේ
විහාර මහාදේවී පාර්ක් එකේ

උසස් පෙළ අසමත්...

අපි දෙන්නා මුණ ගැහුණා
මහා භාණ්ඩාගාරය ඉදිරිපිට ඇති
කැරොකෙ සමාජ ශාලාවේ සිට
එළියට එනකොට මොහු
අඩ සිහියෙන්
සුදු ගෑනු ළමයෙකුගෙ කරට අත දාගෙන.

“ඇයි මේ
මල්ලි සිංහලයෙක් නේ ද?”
මම ඇසීමි.
“සිංහලයෙක්.....!
‍වට් නෝන්සන්ස්
අයිම් නොට් අ සිංහලීස්
අයිම් අ ශ්‍රී ලංකන්...”

එදා ඉඳන් මං හිතුවේ
කරන්න ඕනැ උද්ඝෝෂණයක්
කරන්න ඕනැ විප්ලවයක්

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
එහෙම කියන්නේ ඇයි?
නැද්ද අයිතියක් සිංහලයට මෙන්
දෙමළ මිනිහට
මුස්ලිම් මිනිහට
බර්ගර් මිනිහට
............. මිනිහට
ජීවත් වෙන්න මේ රටේ?
නැද්ද අයිතියක්
නැද්ද අයිතියක්
කියාපල්ල මට නැද්ද අයිතියක්?
අයිතිය
අයිතිවාසිකමක් නොවේ
මිනිසාට ඉබේම ලැබෙන
පාරිතොෂිකයකි එය
සුදුසුකම් සපුරා ලබා ගත යුතු.
මෙරටේ ජීවත් වීමේ අයිතිය ලැබෙනුයේ
මෙරට ගැන හිතන
මෙරටේ
සමෘද්ධිය
සංස්කෘතිය
ප්‍රෞඪත්වය ගැන
හිතන
ක්‍රියා කරන අයටමය.
ඔහුය සිංහලයා;
ඔහුගේ භාෂාව කුමක් වුවත්
ඔහුගේ ආගම කුමක් වුවත්
ඔහුය සිංහලයා;
ඔහුටය මෙරටේ අයිතිය ජීවත් වීමට.

පෘථග්ජන මනස තුළ
වැඩෙයි භව තෘෂ්ණාව
අහස මෙන් උසට
පොළොව මෙන් පළලට.
උපස්ථම්භක වෙයි එයට
රට, ජාතිය, ආගම
උපාදාන ලෙස

සංකප්පරාගො පුරිසස්සකාමොiii

.........

උදේ පටන් රෑ වන තුරු
ජීවිතයේ තුන් වේලම
රට, ජාතිය, ආගම යන මේවා
අරගත යුතු ය
මේ තියෙන අනුපිළිවෙලටම
නැතිනම් වස වේවි.
‘සර්පයා වැරදි ලෙස නොගන්න....iv

රටට වඩා ජාතියත්
ජාතියට වඩා ආගමත්
ලොකු කර ගත්තෝ
මෙරට මරු මුවට ගෙන යන්නෝය.

ඒකයි අප උද්ඝෝෂණය කරන්නේ

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
එල්. ටී. ටී. ඊ ය
මරා දාමු
නොර්වේ
පන්නාදාමු
කවුද බොලේ සුදු කොටියා
නොර්වේ තමයි සුදු කොටියා
“ඇයි නෝර්වේ ?”

“නෝර්වේ යනු ක්‍රිස්තියානි රටකි. උග්‍ර ආගම්වාදයක් පවතින මේ රටේ ක්‍රිස්තියානි නොවන කිසිවෙකුට ජිවත්විය නොහැක. 2000 වසරේදී වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කිරීමට රාජ්‍ය නායකයන් කැමැත්ත පළ කරද්දී විරුද්ධ වූයේ නොර්වේමය. මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරමින් පාසල් ඉංග්‍රීසි පෙළ පොත් නොමිලේ මුද්‍රණය කෙරෙන්නේ ද නෝර්වේ ආධාර මතය. .....”

ඒ හින්දා අපට සැකයි
ඇයි නෝර්වේ?
මීයක් කඩන්නේ
අත ලෙවකන්නම ද?

මේ නිසා අපි අරගල කරමු
නොර්වේ කොඩිය පුච්චා දමා
තානාපති කාර්යාලයට ගල් ගසා
අපි උද්ඝෝෂණය කරමු.

මේ යන මඟ
අපත් සමග
මුල සිටම
අපට හිටිය ලොකුම හයිය
ජනමාධ්‍යයය.

ඇස් ඇරගෙන සිටින විට ජනමාධ්‍යය
ඇස් ඇරගෙන සිටිනු ඇත ජනතාව.
කඩේ යන විට ජනමාධ්‍යය
පරිභෝජනය කරනු ඇත ජනතාව.

අතර මඟදි
එක් තැනකදි
දික් කළා කැමරාවක්.
කවුද?

එල්මෝ ප්‍රනාන්දු

කෑගහපන් කෑගහපන්
එල්මෝ ඉන්නවා

කාගෙද මේ සන්දේසේ
එල්මෝගේ සන්දේසේ
බී. බී. සී සන්දේසේ
එල්මෝගේ සන්දේසේ

“පාවා දෙමින් රට ජාතිය
එල්. ටී. ටී. ඊයට පක්‍ෂපාතීව
බී. බී. සී. සන්දේශයට ලියන
එල්මෝ නම් මොහු ය.”
එකෙක් දිගහරියි ඔහු ගේ කැරැට්ටුව
දන්නා නොදන්නා සැමට
දැන ගැනීම පිණිස.
එවිට එකෙක් කෑගසයි

“අන්න කවුද එල්මෝට ගහනෝ...........”

ගහපියවු! ගහපියවු!
ඕකාට ගහපියවු!
කුළු හරක් රැළ
වැට බින්දෝය එවිට.

මමත් දිව ගොස් එබී බැලීමි.
ප්‍රමාදය මා.
පොලීසිය ඔහුව ගෙන ගොස් ඇත.
පිරිස සන්සුන් වී ඇත.
ගහපු එකෙක් අහලකවත් නැත.

ක්‍රියාවක් මිස
ක්‍රියා කරන්නෙකු නැත.

පාණ්ඩිත්‍ය මතු කරන
බරසාරු වචන වැල්
ඔද තෙද වඩන කියමන්
සහිත
දේශමාමක, ජාතිමාමක දේශන මාලාවකට
අවසානයේ දී අපි සවන් දුනිමු.

දැන් හරි
ඔක්කෝ ම හරි
හෙට උදේ වෙනකොට
රට ම දැන ගනී
අපි බිහි කළ බලවේගය
ජාතික, විජාතික, පරගැති බලවේග සියල්ල
නිෂ්ප්‍රභ කරන...
...................................................

මෙන්න ප්‍රවෘත්ති...

ත්‍රස්තවිරෝධි ජාතිකව්‍යාපාරය මගින් පටු ජාතිවාදය උදෙසා අද දිනයේ පැවත් වූ උද්ඝෝෂණයේ දී ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතාට පහර දී ඇත. ඔහුව මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. .........v



i ශු. ජොහාන් 14:6
ii පිරිසුදු වීම, අපිරිසිදු වීම පෞද්ගලික කාරණයකි. කෙනෙක් තවකෙනෙකු පිරිසුදු කරන්නේ නැත - ධම්මපද: 165.
iii මිනිසා ගේ රාගය සංකල්පීයය - සංයුත්ත නිකාය: දේවතා සංයුත්ත: නසන්ති සූත්‍රය.
iv මජ්ඣිම නිකාය: 01: අලගද්දූපම සූත්‍රය.
v සත්‍ය සිදුවීමක් ඇසුරින් කරන ලද ප්‍රබන්ධයකි. සිදුවීම් අනුපිළිවෙල හා ඇතැම් කරුණු මනඃකල්පිතය.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප