Skip to main content

ජම්බුද්වීපය යන්නෙහි අර්ථය - අරුත් පහදුව 4


ජන්බුද්දීපය ද ජන්බුදීපය ද නැතිනම් ජම්බුදීපය හෝ ජම්බුද්වීපය ද?

දිගු නිහැඬියාවකින් පසුව අරුත්පහදුව සිව්වන කඩඉම පසු කරන්නට අවසර පතමි. අරුත්පහදුව ලිපිපෙළ කියවූ සැවොම එහි ප්‍රයෝජනය ගැන අතිශය සතුටින් කථා කළ නිසා මෙම ලිපිපෙළ නවත්වා දැමීමට මටද සිත් පහළ නොවේ. පොරොන්දු වූ පරිදි මම අද ‘ජම්බුද්වීපය’ ගැන ලියමි. මෙම ලිපිපෙළේ අරමුණ වාග්විද්‍යසාධක ගෙනහැර පෑම පමණක් වන බැවින් ඓතිහාසික හෝ පුරාවිද්‍යා සාධකවලට නොගොස් භාෂාමය සාධක සමග හැකි පමණ ලියමි. ඉදින් යම් තැනක වෙනත් ලිඛිත මූලාශ්‍රයයක් උපුටා දැක්විය යුතු යැයි හැඟේ නම් පමණක් එසේ කරමි. එය ඔබේ කියවීමට අපහසුවක් එක් කරයි නම් සුරුසටහනකින් (comment) දක්වන්න.

ඇතැම් පද පාලිභාෂාවේ සහ සංස්කෘතභාෂාවේ එක සමානය. මූල, බුද්ධ, ව්‍යාකරණ (පාලියේ ඇතැම්විට බ්‍යාකරණ), අධිකරණ, දේව, ආරාම යනාදී ලෙසය. ඇතැම් පද සංස්කෘතභාෂාවේ එක අයුරකුත් පාලිභාෂාවේ වෙනත් අයුරකුත් දක්වයි. සංස්කෘතභාෂාවේ එන පුද්ගල, පුරුෂ, දුඃඛ, යක්ෂ, විහග, ද්වීප යන පද පාලිභාෂාවේදී පිළිවෙලින් පුග්ගල, පුරිස, දුක්ඛ, යක්ඛ, විහංග, දීප යනාදී ලෙස වෙනස් වේ. ඒ අනුව ද්වීප සහ දීප යනු එකම පදය සංස්කෘතයෙන් සහ පාලියෙන් ලියන අයුරු බව දැන් පෙනී යා යුතුය. ‘ජම්බු’ යන පදය සංස්කෘත සහ පාලි යන භාෂාදෙකේදීම එක සමානය. ඒ නිසා සංස්කෘතයෙන් ‘ජම්බුද්වීප’ යන පදය පාලියෙන් ‘ජම්බුදීප’ කියා ලිවිය හැක. තවද සංස්කෘතයේදී ජම්බු යන පදයම ‘ජම්බූ’ යනුවෙන් දීර්ඝ ‘බූ’ යන්නක් සහිතව ලියයි. වර්තමානයේදී මේ දෙකම නිවැරදි රූප ලෙස පිළිගනී. ඒ අනුව ඇතැම් පොත්වල ‘ජම්බූද්වීප’ යන පදය ඔබට හමු විය හැක.

ඇතැම් පාලි පද සන්ධිවීමේදී පරපදයේ මුලට යෙදෙන ව්‍යඤ්ජනය ද්විත්ව වීම දක්නට ලැබෙන ලක්ෂණයකි. පති + ඨිත = පතිට්ඨිත, + පමාදෝ = අප්පමාදො, දු + = දුක්ඛ යනාදී ලෙසය. නමුත් මෙය සිදුවන්නේ අභ්‍යන්තර සන්ධියේය. බාහිර සන්ධියේදී මෙය විකල්ප රූපයක් බැවින් කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදාය විසින් ප්‍රතික්ෂේප කරයි. මේ නිසා, ජම්බු + දීප යන පද සන්ධි කිරීමේදී ‘ජම්බුද්දීප’ යනුවෙන් අමතර ‘ද්’ යන්නක් එකතු කිරීම අනවශ්‍ය වේ. ජම්බුදීප යන්නම ප්‍රමාණවත් වේ. බුද්ධජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ ජම්බුදීප යන්න ලියා ඇති අයුරු බලන්න.

මෙය පැහැදිලිවම ජම්බු සහ ද්වීප (දීප) යන පද දෙකේ එකතුවක් බැවින් මේ පද දෙකේ අර්ථයන් වෙන වෙනම බලමු.

ජම්බු :-

ඇතැම්හු මෙම පදය ජන් + බු යනුවෙන් ද, මා මුලින් දැක්වූ සේ අනවශ්‍ය ‘ද්’ කාරයක් සහිතව ‘ජන්බුද්දීප’ යනුවෙන් ලියා ජන් + බුද් කියා ද විසන්ධි කරති. ‘ජන්’ යනු ඉපදීමේ මූලය ලෙස ද ‘බු’ හෝ ‘බුද්’ යනු බුද්ධත්වයේ මූලය ලෙස ද ගෙන ඔවුහු ‘ජන්බුදීපය’ යනු බුදුරජාණන් වහන්සේ උපන් දීපය ලෙස අර්ථ විවරණය කරති. ‘ජන්’ යනු ඉපදීමේ මූලයය. එය නිවැරදිය. නමුත් ‘බු’ යනුවෙන් මූලයක් (ධාතුවක්) නැත. ‘බුද්’ යනුවෙන් දැක්වූයේ භ්වාදිගණික ‘ඉගෙන ගැනීමේ’ ධාතුවය. ඒ අනුව ජන් + බුද් යන්න අර්ථ කථනය කළ යුත්තේ ‘ඉගෙන ගැනීමට උපන්’ හෝ ‘උපන්දා සිට ඉගෙන ගන්නා’ වැනි අදහසකිනි. බුදුරජාණන් වහන්සේට අප ‘බුද්ධ’ යැයි කියන්නේ උන්වහන්සේ කාගෙන්වත් ඉගෙන ගන්නා නිසා නොව, කිසිදු ගුරුවයෙකු නොමැතිව තමාගේ ම දැනුමෙන් ධර්මය අවබෝධ කර ගත් නිසාවෙනි. ඒ අනුව බුද්ධ යන පදය සෑදෙන්නේ අවබෝධයේ ‘බුධ්’ ධාතුවෙනි. ඒ මෙසේය. බුධ් + (අතීතකෘදන්ත කර්මකාරක ප්‍රත්‍යය - කර අවසන් යන අර්ථය දීම සඳහා)
බුධ් + (ත යන්න අඝෝෂ නිසා ඝෝෂ අඝෝෂ සමරූපීවීම)
බුද් + (පූර්ව අක්ෂරයේ මහාප්‍රාණය පර අක්ෂරයට පිවිසීම - මහාප්‍රාණය යනු ‘හ්’ යන්නයි)
බුද්ධ (අවබෝධ කර අවසන් තැනැත්තා යනු එහි අර්ථයයි).

මේ ආකාරයටම, ලභ් + = ලබ්ධ, සිධ් + = සිද්ධ, වෘධ් + = වෘද්ධ යන පද සෑදේ. මේ අනුව ‘ජන්බු’ යනුවෙන් ගෙන අවබෝධාර්ථයේ බුධ් යන්න ආදේශ කර ගත නොහැකි බව දතයුතුය.

ජන්බු’ යන පදයේ ‘බු’ යනුවෙන් දැක්වූයේ ‘බුධ්’ ධාතුවේ පරිණාමය වූ රූපයක් විය නොහැකිදැයි අයෙකුට සිතිය හැක. මන්දයත්, භාෂාපරිණාමයේදී ඇතැම් අක්ෂර හැලී යන බැවිනි. එසේ ද විය නොහැක. ‘ජන්බු’ යනු එකට සන්ධි වූ හෝ අර්ථයෙන් එකට බද්ධ වූ හෝ පදයක්ය. එබැවින් ඉදින් පරිණාමය වේ නම්, බුධ් යන්න පමණක් නොව, ජන් යන්නත් පරිණාමය විය යුතුය. ඉදින් බුධ් යන්න පරිණාමයේදී ‘බු’ වූවානම්, ජන් යන්න ‘දා’ හෝ ‘ද’ යනුවෙන් පරිණාමය විය යුතුය. එවිට අපට ‘දාබු’ හෝ ‘දබු’ කියා රූප ලැබේ. මේ උදාහරණය බලන්න.
සංඝස්ස අට්ඨාය > සගස අට > සගසට > සගහට > සඟට.
මේ අනුව එකට බද්ධ වුණු පද පරිණාමයේදී එකටම වෙනස් වනවා මිස එක් පදයක් වෙනස් වී අනෙක වෙනස් නොවී පවතින්නේ නැත.

මෙහිදී තවත් වැදගත් කාරණයක් අවධාරණයෙන් කිව යුතුය. වෙනත් භාෂාවකින් ණයට ගත් පදයක් වෙතොත් මිසක, සිංහල, පාලි, සංස්කෘත, හින්දි, මරාටි, ගුජරාටි, සින්ධි, පන්ජාබි, බෙංගාලි ආදී කිසිදු ආර්ය භාෂාවක ‘බ’ යන්නට ඉදිරියෙන් ‘න්’ යන්න ලියූ පද නැත. එනම් ‘-න්බ’ කියා යෙදෙන පද නැත. ‘අන්බු’ වැනි (මෙය දෙමළ පදයක්) අනාර්ය වචන ඇත. අනාර්ය භාෂාවලින් ණයට ගෙන ආර්ය භාෂාවල යෙදෙන පද ඇත. නමුත් පිරිසිදු ආර්ය පදයක කිසිවිටෙක ‘-න්බ’ කියා නොයෙදේ. ඒ අනුව ‘ජන්බු’ කියා ලිවීමම ආර්යභාෂා රීතියට පටහැනිය. එය අනිවාර්යයෙන් ම ‘ජම්බු’ කියා විය යුතුය.

දැන් අපි ‘ජම්බු’ යන්නෙහි අර්ථය බලමු. මෙයට අද වන විට අර්ථ දෙකක් ඉදිරිපත් වී ඇත. එයින් පළමු සහ ඓතිහාසික අර්ථය නම් ‘ජම්බු’ යනු එනමින් ගැනෙන පලතුර යන්නයි. ජම්බුදීප යන්නට එම නම ලැබුනේ ‘විශාල ජම්බු ගහක්’ නිසා බව බොහො පුරාණගන්ථ සහ බෞද්ධ ග්‍රන්ථ දක්වයි. බුත්සරණෙහිද ‘සච්චක දමනක කථා’වෙහි මෙම අර්ථය දී ඇත. නමුත් විෂ්ණුපුරාණයේ 2.2 දක්වන්නේ ජම්බුගස් විශාල සංඛ්‍යාවක් තිබූ නිසා එය ජම්බුද්වීපය වූ බවකි. මෙම ජම්බුගස පිළිබඳ පිළිගැනීම විනයපිටකයේ මහාවග්ගපාළියේ උරුවේලකස්සප කථාවේ ද එයි. “...යාය ජම්බුයා ජම්බුදීපෝ පඤ්ඤායති තතො ඵලං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා ...” ආදී ලෙස යම් ජම්බුගහක් නිසා මේ ජම්බුදීප යන පැනවීම ඒද එයින් ගෙඩියක් ගෙන පළමුව පැමිණ... යනුවෙන් එහි ඇත. ජම්බුදීපය සහ ජම්බුගහ අතර දැඩි සම්බන්ධයක් ඇති බව තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ද පිළිගෙන ඇත. සංයුත්ත නිකායේ මහාවග්ගයේ ඉන්ද්‍රිය සංයුත්තයේ සම්බෝධිවග්ගයේ එන රුක්ඛ සූත්‍රයේ දී “යේ කේචි ජම්බුදීපකා රුක්ඛා ජම්බූ තේසාං අග්ගමක්ඛායති” යනුවෙන් ‘ජම්බුදීපයේ යම් කිසි ගස්හු ඇත්ද ඒවා අතරින් ජම්බු ගහම ප්‍රධාන වේයැයි කියනු ලැබේ’ කියා දේශනා කර තිබීමෙන් මේ බව සනාථ වේ. මේ අනුව ජම්බුදීපය යන්නෙහි පළමු අර්ථය නම් විශාල ජම්බුගහක් හෝ ජම්බුගස් විශාල සංඛ්‍යාවක් මූලික වීම නිසා නම් ලද දීපය යන්නයි.

ජම්බු යන්නෙහි දෙවන අර්ථය ‘කන්ද’ යන්නයි. සංස්කෘතයේ හෝ පාලියේ ඇති ‘ජ’ යන්න සිංහලභාෂාවට බිඳී ඒමේදී ‘ද’ බවට පත්වේ. ජාලා > දැල, ජටා > දළ, ජල > දල ආදී වශයෙනි. ඒ අනුව ජම්බු යන පදය බිඳෙන්නේ දඹු හෝ දඹ ලෙස. අඹ දඹ නාරං කෙසෙල් දෙල් ... ගීතයේ දඹ කීවේ ජම්බුවලටය. ජම්බු යන පදයේ අර්ථය ‘කන්ද’ යැයි ගතහොත් ‘දඹ’ යනු කන්දට සමාන පදයකි. දෙණිය කියන්නේ ලඳුකැලෑවය. ඒ නිසා ‘දඹදෙණිය’ කියන්නේ කන්දක් ඇසුරින් වැඩුණු ලඳුකැලෑවකටය. උල්ල යනු උලට පිහිටි යන්නයි. දඹ + උල්ල = දඹුල්ල වුණේ උලට පිටිහි කන්දක් නිසාය. මේ ආකාරයටම ‘ජම්බුදීප’ යන්න සිංහලෙන් ‘දඹදිව’ ලෙස ලියයි. එයට ප්‍රධාන වන කන්ද කුමක් ද? එනම් මහාමේරු පර්වතයයි. හින්දු පුරාණග්‍රන්ථ අටකට වැඩි සංඛ්‍යාවක ජම්බුද්වීපය ගැන විස්තර දැක්වෙන අතර ඒ සෑම ග්‍රන්ථයක්ම පවසන ප්‍රධානම අදහස නම් ජම්බුද්වීපය මැද මහාමේරු පර්වතය ඇති බවය. මේ මේරු පර්වතය කුමක්ද යන්න ගැන මත දෙකක් ඇත. එයින් පළමු මතය නම්, මේරු යනු මනඃකල්පිත පර්වතයක් බවත් එහි මුදුනේ බ්‍රහ්ම ලෝකය ඇති බව කියන නිසා එය පෘථිවිය ඇසුරුකොට ගත් කිසියම් සංකේතාත්මක විග්‍රහයක් බවය. දෙවන මතය නම් මේරු පර්වතය යනු හිමාලය පර්වතයම බවය. නමුත් විෂ්ණු පුරාණයේ 2.2 දක්වන අයුරින් මේරු පර්වතය ජම්බුද්වීපයේ මැද ඇත. (සෙසු පුරාණ ග්‍රන්ථවල ද මේ විස්තරය එයි). මේරු පර්වතයට දකුණින් හිමවත්, හේමකූට, නිෂධ යන පර්වත තුන ඇත. මෙහි හිමවත් කීවේ හිමාලය බව ඇතැමෙක් කියති. හිමවත් යනු හිම සහිත යන අර්ථයයි. එහි තවදුරටත් දැක්වෙන පරිදි ජම්බුද්වීපයේ දකුණු දෙසින් එනම් හිමාලය පර්වතයට දකුණු දෙසින් භාරතය පිහිටා ඇති බවය. කෙසේ වෙතත් ජම්බුද්වීපයට පර්වතයක් මැදිහත් වන බව මේ අනුව පැහැදිලිය.

මට අවසර දෙන්න ජම්බුද්වීපය ගැන මගේ පෞද්ගලික අදහස ලියා තබන්න. අතීතයේ කිසියම් දවසක ඇති වූ මහාද්වීපික ඝට්ටනය නිසා, හිමාලය පර්වතය පොළොවෙන් ඉහළට නැංගේය. මේ සිදුවීම නිසා, ආසියාවේ එකට සිටි ජනතාව උතුරු, දකුණු හා වෙනත් ප්‍රදේශවලට විසිරිණි. මෙම මතුවූ ජම්බුව හෙවත් කන්ද නිසා ආසියාවේ සමස්ත භූ සිතියම වෙනස් වූ අතර එයින් හට ගත් නව භූවිෂමකලාපය ‘ජම්බුද්වීය’ ලෙස නම් කෙරෙන්නට ඇතැයි මම සිතමි. මේ අනුව ජම්බුද්වීපය යන්නට අර්ථකථන දෙකක් ඇති බව වටහා ගත යුතුය.

ද්වීපය (දීපය) :-

මෙම පදයේ ප්‍රකෘතිය ‘ද්වීපා’ යන්නයි. විශ්වපා, මධුපා යන ශබ්ද මෙන් ම වරනැඟීමේදී අග ස්වරය හ්‍රස්ව වේ. එය සෑදී ඇත්තේ ද්වී + පා යන පද දෙකේ එකතුවෙනි. ද්වී යනු දෙකය. ‘පා’ යන්නට අර්ථ දෙකක් ඇත. පළමු අර්ථය නම් (භ්වාදි ගණයේ) බීම, පානය කිරීම යන අර්ථයයි. එම අර්ථයෙන් ‘ද්වීප’ යනු ඇතාය. ඇතා යමක් පානය කිරීමේදී හොඬින් වරක් ගෙන පසුව කටින් බොයි. මෙය පැරැණ්නන් දුටුවේ දෙවරක් පානය කිරීම ලෙසය. ඒ නිසා ඇතාට සමාන වචනයක් ලෙස ද්වීපා යන්න යොදයි. දෙවැනි අර්ථය නම් (අද් ආදී ගණයේ) ආරක්ෂා කිරීම යන අර්ථයය. මිනිසාට ජලයේ ජීවත්විය නොහැක. ඔහුට ජලයෙන් වන අනතුරුවලින් ආරක්ෂා වීම අවශ්‍යය. ඔහුට ආහාර නැතිව ජීවත් විය නොහැක. එනම් දුර්භික්ෂයෙන් ආරක්ෂා විය යුතුය. මේ අනුව ජලයෙන් ආරක්ෂා වීම ද දුර්භික්ෂයෙන් ආරක්ෂා වීමද යන කරුණු දෙක සපයා දෙමින් ආරක්ෂාව සලසන ස්ථානය ‘ද්වීප’ නම් වේ. එනම් ගොඩබිමය. ද්වීප ශබ්දයෙන් ගොඩබිම අපේක්ෂා කරන විට එය සංස්කෘත හා පාලි යන භාෂාදෙකේ ම පුරුෂ ලිංගයෙන් වරනැඟේ. බුදුරජාණන් වහන්සේගේ ‘අත්තදීපා විහරථ’ යන යෙදුම සමග සසඳා බලන්න. එහිදී අදහස් කළේ තමා තමාට ආරක්ෂිත ස්ථානයක් බවට පත් වන්න කියන එකයි. පාලියෙන් දීප ශබ්දය ‘දීපෝ දීපා, දීපං දීපේ’ යනාදී ලෙස පුල්ලිංගයේ මිසක ‘දීපං දීපේ’ යනාදී ලෙස නපුංසක ලිංගයේ නොයෙදෙයි. නපුංසක ලිංගයේ යෙදුව විට එහි අර්ථය ‘පහන, ලාම්පුව’ බවට පත් වේ.

ද්වීප යනු මහද්වීපය යන අදහස වෙනත් අර්ථ නිරූපණයක් ද ඇත. එහිදී ද්වී + අප් යන ලෙස පද වෙන් කෙරේ. අප් යනු ජලයයි. එයින් ම නිපන් ‘ආපස්’ යන පදය ජලස්කන්ධය යන අර්ථයට යෙදේ. ඒ අනුව ද්වීප යනු ජලස්කන්ධ දෙකක් අතර පිහිටි බිම යන අර්ථය ඇති බව ඇතැමෙක් කියති. වර්තමානයේදී ද්වීප යනු දූපත යන අර්ථයෙන් යෙදේ. නමුත් අතීතයේ දී එය ගොඩබිම හැදින්වීමට යෙදිණි. මේ අයුරින් එකම පදයක් කාලයෙන් කාලයට අර්ථ වෙනසකට ලක්විය හැකි ද? ඔවු. උදාහරණයක් ලෙස ‘විවේකකාල’ යන පදය පෙන්විය හැක. වි + විච් යනු මැනවින් සිතා බැලීම, කල්පනා කිරීම යන අර්ථයටය. අතීතයේදී යම් දේශනයක්, ඉගැන්වීමක් අවසානයේදී ‘විවේකකාලයක්’ ලබා දේ. එසේ කරන්නේ ශිෂ්‍යයාට තමා උගත් දේ ගැන මැනවින් සිතා බලා අවබෝධ කර ගැනීමටය. නමුත් අද අප කරන්නේ විවේකකාලයට වැසිකිළි කැසිකිළි යාම ආහාර ගැනීම ආදියය. එයට හේතුව එහි අර්ථය මේ වන විට ‘නිදහස් කාලය’ යන ලෙසින් වෙනස් වීමය. මේ අනුව ඇතැම් පද අතීතයේ යෙදුණ අර්ථයෙන්ම අද නොයෙදේ. බ්‍රහ්මසූත්‍ර භාෂ්‍යයේදී ශංකරාචාර්යයන් ‘විවේක’ යන පදය යෙදූ අයුරු සොයා බලන්න.

ජම්බුද්වීප යන තැන ‘ද්වීප’ යනු කුඩා දූපතක් නොවේ යැයි සිතීමට අපට තවත් හේතුවක් ඇත. ශිවමහාපුරාණයේ 5 පරිච්ඡේදයේ 8 කාණ්ඩයේ, බ්‍රහ්මවිවර්තපුරාණයේ 13 පරිච්ඡේදයේ, අග්නිපුරාණයේ 4 පරිච්ඡේදයේ 3 කාණ්ඩයේ, කූර්මපුරාණයේ 25 පරිච්ඡේදයේ දැක්වෙන අයුරින් සමස්ත මහපොළවම කොටස් හතකට බෙදා එම කොටස් ද්වීප යනුවෙන් හඳුන්වා ඇත. ඒ අනුව ද්වීප යනු වර්තමානයේ ‘මහාද්වීප’ යන අර්ථයට සමානව යෙදී ඇත. (මෝනියර් විලියම් ශබ්දකෝශය ද බලන්න). ජම්බුද්වීප යනු එසේ බෙදූ කොටස් හතෙන් එකකි. එනම් මහාද්වීපයකි.

ජම්බුද්වීප යන්නෙන් වර්තමාන ඉන්දියාව හෙවත් භාරතදේශය (භාරතවර්ෂ යනු මේ සඳහා යෙදෙන සංස්කෘත පදයයි) අදහස් වේ දැයි සොයා බැලීම ද කළ යුතුයි. මුලින් දැක්වූ ශිවපුරාණ විස්තරයේ (5.8) ජම්බුද්වීපය යනු භාරතදේශයම බවත් එය ප්‍රමාණයෙන් වර්ග යොදුන් 9000ක් පමණ වන බවත්, දකුණින් මහාසමුද්‍රයෙන් ආරම්භ වී උතුරින් හිමාලයෙන් අවසන් බව බවත් පෙන්වයි. පාලි අටුවාවල එන ජම්බුද්වීපය යොදුන් 10000ක් බව දැක්වීම හා විශේෂයෙන්ම අංගුත්තර නිකාය අටුවාවේ එන ‘දක්ඛිණසමුද්දපරියන්තං ජම්බුදීපං’ දකුණින් සමුද්‍රයෙන් සීමා වන ජම්බුදීපයයි යන යෙදුම හා මෙය ගැලපේ. නමුත් අනෙකුත් පුරාණ ග්‍රන්ථ දක්වන පරිදි පෙනී යන්නේ, සුළු ආසියාව, මධ්‍යම ආසියාව, දකුණු ආසියාව ඇතුළු කොට ඇති සමස්ත ආසියා මහද්වීපයම ‘ජම්බුද්වීපය’ ලෙස සැලකෙන බවය. විශේෂයෙන්ම මාර්කණ්ඩේය පුරාණයේ 9 පරිච්ඡේදයේ 1.1. කාණ්ඩයේ සහ භාගවත පුරාණයේ 5 පරිච්ඡේදයේදී ජම්බුද්වීපය වර්ග යොදුන් ලක්ෂයක් වන බව කියයි. භාගවත පුරාණයම වැඩිදුරටත් කියා සිටින්නේ ජම්බුද්වීය ‘නෙළුම් කොළයක් මෙන්’ රවුමට පිහිටා ඇති බවය.

අරුත් පහදුව මීළඟ ලිපියෙන් ‘සෞන්දර්යය, සම්ප්‍රදායය, විද්‍යාලයය’ යනාදී ලෙස ‘ය’ යනු දෙකක් අගට ලියන්නේ ඇයි ද යන්න මම පැහැදිලි කර දෙමි.

Comments

  1. බොහොම වටිනා කාර්යයක්. මේ වගේ විකෘති කිරීම් දිගටම හෙළිදරව් කරන්න. මගේ බ්ලොග් එකෙත් මේවයේ ලින්ක් දානවා

    ReplyDelete
  2. oya purana kiynne ,indiyawen awa bamnuno heladiwen aragena gos sanskruth basawata harawapu karunu walata ,ehma harawaddi a
    thishokthi ekathu karala

    ReplyDelete
  3. දෛවච්ඤ කාම දෙනුව බලනු ,

    ReplyDelete
  4. මට අවසර දෙන්න ජම්බුද්වීපය ගැන මගේ පෞද්ගලික අදහස ලියා තබන්න. අනේ ඔබේ අදහස් කන්නද

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හිතලු පල් හෑලි ලිවිම කරේ සිංහලයෝ නොවේ ඒක හිඟනුන්ගේ ක්‍රියාවක්

    ReplyDelete
  7. According to vedic cosmology Jambudweepa is soraunded by small islands.They are Swarnapastha;Chandrashukla;Avarthana;Ramanaka; Mandavaharina;Panchadasanya; and Simhala lanka.

    ReplyDelete
  8. niyamai mithraya agana pahadili kirimak. obe pahadili kirimata tharkayen uttara denna bari aya apahasaya uttara lesa danawa

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප