Skip to main content

විද්‍යාලඞ්කාර ගුරුකුලය - අරුත් පහදුව 3


ගැහැණිය ද? ගැහැනිය ද? කැළණිය ද? කැලණිය ද?

පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන


අරුත්පහදුව 3 ලිපියෙන් ලංකාවේ නූතන භාෂාගුරුකුල ගැන කතා කරන්න පොරොන්දු වුණ නිසා, මා එය මෙසේ ලියමි. නමුත් අද මා සියලු ගුරුකුල ගැන නොව එකක් ගැන කරුණු දක්වා ඉදිරි ලිපිවල අනෙක් ඒවා ගැන ලියමි. එක දිගට ලී විට කියවන්නත් එපා වෙයි. මා අද කියන්නේ ‘විද්‍යාලංකාරගුරුකුලය’ ගැනය. වර්තමාන සිංහලභාෂාවේ අක්ෂරවින්‍යාසය බිහිකිරිමේ වැදගත්ම කාර්යභාරය කළේ මෙම ගුරුකුලයයි. මෙය ආරම්භ වන්නේ සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගෙන්. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මෙහි මුල් බිමයි. විද්‍යාලංකාර පිරිවෙනේ ඇති විශේෂ ලක්ෂණයක් නම් අතීතයේ පරිවේණාධිපති නාහිමිවරු පවත්වාගෙන ගිය සම්ප්‍රදායන් ඒ අයුරින්ම රැක ගෙන යාම. ඉදින් වෙනස් කිරීමට අවශ්‍යනම්, පිරිවෙනේ ආචාර්යමණ්ඩලය එකතු වී සකච්ඡා කළ යුතු වේ. ධර්මාරාම නාහිමියන්ගේ අක්ෂරවින්‍යාසය වරින්වර කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නාහිමියන් අතින් ද කොටහේනේ පඤ්ඤාකිත්ති නාහිමියන් අතින් ද වෙනස් වීම්වලට භාජනය වුණා. නමුත් යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් නැවත එය ස්ථාපනය කළ නිසා එය විද්‍යාලංකාරයේ සම්මත අක්ෂරවින්‍යාසය බවට පත්වුණා. ඉහත නම් වශයෙන් දැක්වූ අද්විතීය පඬිවරුන් තිදෙන හැරුණු විට විද්‍යාලංකාර අක්ෂරවින්‍යාසය රටට ගෙනයාමට දායක වූ විද්‍යාලංකාරයේ ඉගෙනගත් හෝ ඉගැන්වූ හෝ විශාල පිරිසක් හිටියා. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, ඇස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය සහ වල්පොල රාහුල හිමි යන අය ඒ අතර කිහිප දෙනෙක්. ඉන්පසුව රටේ පොදු ජනතාවත් විද්‍යාලංකාරක්‍රමය අනුගමනය කරන්න පෙළඹීම නිසා එය සම්මතයක් බවට පත්විය. හැමවිමට විද්‍යාලංකාරයේ ප්‍රතිවාදියා වූයේ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණයි. විද්‍යෝදය අනුගමනය කළේ පැරණි සංස්කෘත පඬිවරුන්ගේ මතයයි. විද්‍යාලංකාරය පිළිගත්තේ පැරණි සිංහල ලේඛනක්‍රමයයි. විද්‍යාලංකාරයේ විශේෂ ලක්ෂණ කීපයක් දැන් දක්වන්නම්.

01. යම් පදයකට පාලියෙන් හා සංස්කෘතයෙන් අක්ෂරක්‍රම දෙකක් ඇති විට විද්‍යාලංකාරය පිළිගත්තේ පාලික්‍රමයයි.
(සංස්.) ගෘහිණි > ගැහැණිය (විද්‍යෝදය) / (පාලි) ගේහිනි > ගැහැනිය (විද්‍යාලංකාර)
(සංස්.) ඛනති > කනියි (?) / (පාලි) ඛණති > කණියි (විද්‍යාලංකාර)

02. විද්‍යාලංකාරය පැරැණි සිංහලභාෂා ව්‍යවහාරය මුල්තැනට ගෙන පිළිගනී.
පැරැණි ‘පිරිවහන’ යන පදයෙන් බිඳෙන නිසා ‘පිරිවෙන’ කියා විද්‍යාලංකාරය ලියන අතර ‘ර’ යන්නේ බලපෑම නිසා එය ‘ණ’ විය යුතුයි සිතන විද්‍යෝදය ‘පිරිවෙණ’ කියා ලියයි.

03. විද්‍යාලංකාරය, අපේ පදවලට සහ සංස්කෘත, පාලි යන භාෂාවලින් බිඳී එන පදවලට සංස්කෘත රීති අදාළ වෙන බවක් නො පිළිගනී.
(සංස්./ පාලි) කල්‍යාණි > කැලණි
නමුත් මූර්ධජයක් ඉදිරියේ දන්තජය මූර්ධජයක් විය යුතු බව කියන සංස්කෘත මතය නිසා විද්‍යෝදය ‘කැළණිය’ කියා ලියයි.

04. යම් සංස්කෘත පදයක ‘ණ’ යෙදෙන්නේ මුලින් යෙදෙන ‘ර’ යන්න නිසා නම්, එම පදය සිංහලභාෂාවට එන විට එම මුල් ‘ර’ යන්න නැති වෙන නිසා ‘ණ’ යන්න ‘න’ විය යුතු බව විද්‍යාලංකාර මතයයි.
ශ්‍රවණ > සවන / ශ්‍රමණ > *සමන > *හමන > මහන / භ්‍රමණ > බමන
නමුත්
ධරණී > දරණ / ආභරණ > අබරණ

05. ගාත්‍රාක්ෂර ලෝප සන්ධියේදී පූර්ණ බින්දුවක් යෙදිය හැකි පද සාමාන්‍යයයෙන් ලිවීමේදී සඤ්ඤකයක් සහිතව ලිවිය යුතු බව විද්‍යාලංකාර මතයයි.
ගඟ (ගංපොළ) / මඟ (මංපහරන්නා) / නියඟ (නියංකල) / ක්‍රියාපදවලත් නැඟීම (නැංවීම)
නමුත්
සමග’ යන්න මිස ‘සමඟ’ නොව. 

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප