මිනිසෙකුට යම් දැනුමක් ලබා ගැනීමට නම් එය කිසියම් ආකාරයකින් උගත යුතුය. ඉගෙනීම සඳහා, ගුරුවරයකුගෙන් අසා දැන ගැනීම, වැඩිහිටියන්ගෙන් අසා දැන ගැනීම, පොත්පත් කියවීම, වෙනත් ශ්‍රව්‍යදෘෂ්‍ය මාධ්‍යයන් ඇසුරු කිරීම වැනි ක්‍රම ගණනාවක් ඇත. මේ සෑම ක්‍රමයකින්ම අපට දැනුම ලබා ගත හැක. බුදුදහම මෙලෙස දැනුම ලබා ගැනීම වරදක් කියා පෙන්වන්නේ නැත. එය නොකළ යුතුයැයි කියන්නේ ද නැත. ඉදින් කියම් මූලාශ්‍රයයක් ඇසුරු කරමින් අප දැනුම ලබන්නේ නැති නම් අපට දැනුම ලබා ගැනීමට වෙනත් ක්‍රමයක් හෝ අවස්ථාවක් හෝ නැත. සම්මාදිට්ඨිය ඇතිවීමට කරුණු දෙකක් අවශ්‍ය බව මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වේ. ඉන් පළමුවැන්න නම් 'පරතෝඝෝෂය'ය. එහි වාචිකාර්ථය අනුන්ගෙන් නැගෙන ශබ්දයය. එනම් අනුන්ගෙන් අසා ඉගෙන ගැනීමය. නූතන වාග්මාලාවට අනුව පෙරළුවහොත් අධ්‍යාපනයය. සම්‍යග්ඥානය ඇති කර ගැනීමේ පළමු සාධකය ඒ අනුව යම් අධ්‍යාපනයක් ලැබීමය. එය විධිමත් ලෙස පාසල, විශ්වවිද්‍යාලයය ඇසුරු කළ යුත්තක් බව කිසිසේත්ම මා අදහස් කරන්නේ නැත. මා මෙයින් පෙන්වා දෙන්නේ සම්‍යග්ඥානයක් ඇති වීමට කිසියම් හැදෑරීමක් කළ යුතු බවකි. තවත් අයුරකින් කියතහොත් ඥානමූලාශ්‍රයයන් ඇසුරු කළ යුතු බවකි.
ඥානනිර්ණය යනු වෙනම සංකල්පයකි. එයින් අදහස් වන්නේ යමක්, සත්‍යය බව තහවුරු කර ගැනීමය. යමක් ඉගෙන ගැනීමයි, එය සත්‍යය බව තහවුරු කර ගැනීමයි එකිනෙකට වෙනස් වූ සංකල්ප දෙකකි. පන්තිකාමරයේදී අපට ආකිමිඩීස්ගේ නියමය ඉගෙන ගත හැක. එය හුදෙක් ඥානයකි නැතහොත් දැනුමකි. නමුත් අප නිවසට ගොස් වතුර භාජනයක් ගෙන එයට ඝනවස්තුවක් දමා ඉල්පෙන ජලපරිමාව මැන බැලීමක් කරයි නම්, අප ඉගෙන ගත් දේ අපටම තහවුරු වේ. නිශ්චයාත්මකඥානය යනු ද එයමය. ඇත්තටම කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ, පරම්පරාව, කටකතාව, පොත්වල තිබීම, තර්කානුකූල වීම ආදිය ඥානනිර්ණයක් කොට නොගන්න කියාය. එනම් ඒ තුළින් අපට නිශ්චයාත්මකඥානයක් නොලැබෙන බවය. එය තවදුරුටත් මෙසේ පැහැදිලි කළ හැක. අපි පොතකින් යම් කරුණක් ඉගෙන ගත්තා යැයි සිතමු. එම කරුණ, බුදු දහමට අනුව නම්, අනිවාර්ය සත්‍යයක් විය යුතු නැත. එය සත්‍යය ද විය හැක, අසත්‍යය ද විය හැක. මෙවැනි භව්‍යතාවයන් දෙකක්, සෑම ඥානමූලාශ්‍රයයකම ඇත. ඥානනිර්ණයක එවැනි භව්‍යතාවයන් දෙකක් නැත. එය අනිවාර්යයෙන් සත්‍යයය, නැතිනම් අසත්‍යයය. එලෙස ඒකාන්ත නිශ්චිතතාවකට පැමිණිය හැකි ඥානනිර්ණායකයන් දෙකක් පමණක් ඇති බව බුදුදහම පෙන්වා දෙයි. එනම් ප්‍රත්‍යක්ෂය (perception) හා අනුමානය (inference)ය.
ඥානමූලාශ්‍රයක් ඇසුරෙන් ලබා ගන්නා දැනුම අප ප්‍රත්‍යක්ෂය හා අනුමානය යන නිර්ණායකයන්ට අනුව තහවුරු කර ගත යුතුය. යොනිසොමනසිකාරය යනු මෙලෙස විමර්ශනය කර බැලීමය. සම්මාදිට්ඨිය ඇතිවීමේ දෙවන කරුණ මෙම යෝනිසෝමනසිකාරයයි. අද ඇතැමුන් සිතන්නේ යෝනිසෝමනසිකාරය යනු යමක් ඉගෙන ගෙන පැත්තකට වී ඒ ගැන නිදහසේ කල්පනා කිරීම බවය. එය යෝනිසෝමනසිකාරයේ එක් චර්යාරටාවක් පමණි. අප කල්පනා කරනවා යනුවෙන් කරන්නේ කුමක්ද? මීට පෙර අප විසින් ලබා ගත් අද්දැකීම් ඇසුරු කර ගෙන තමා ලබා ගත් තම ඥානය විමසා බැලීමය. එය හුදෙක් සිතුවිලිවලින් පමණක්ම කළ හැකි අවස්ථා ද ඇත. නමුත් බොහොවිට සිදුවන්නේ එය ප්‍රායෝගිකව අත්හදා බැලීමට සිදු වීමය. බුදුබණ ඇසූ බොහෝ දෙනෙක් අවසානයේ මහණ වෙන්නට අදිටන් කර ගන්නේ මේ නිසාය. ඒ, තමන් උගත් දේ සත්‍යය දැයි අත්හදා බැලීමටය.
ඒ අනුව වටහා ගන්න, කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, පොතපතේ තියන දේ පිළිගන්න එපා, පරම්පරාවෙන් එන දේ පිළිගන්න එපා, මේ අපේ ගුරුවරයා දක්ෂයෙක් නේද කියා පිළිගන්න එපා කියන මතය නොවේ. උන්වහන්සේ දේශනා කරන්නේ, පොතපතේ තිබුණ 'පමණින්' පිළිගන්න එපා, පරම්පරාවෙන් ආව 'පමණින්' පිළිගන්න එපා, මේ අපේ ගුරුවරයා නේද කියන හැඟීමෙන් 'පමණක්' පිළිගන්න එපා. ඒවා ප්‍රත්‍යක්ෂඥානයට අනුමානඥානයට කොයි තරම් අදාළ ද කියා සොයා බලා තහවුරු වුණාම පිළිගන්න කියන දෙයයි.
මේ හැර, සියලු ඥානමූලාශ්‍රයයන් ප්‍රතික්ෂේප කර ඉබේ ඇති වන දැනුමක් බුදුදහම පිළිගන්නේ නැත. එය උමතු රෝගියෙකුගේ ලක්ෂණයක් පමණි.
තවත් ලියන්න !
ReplyDelete