Skip to main content

කාලාම සූත්‍රය හා චින්තනනිදහස


අද ඇතැමුන් සිතන්නේ කාලාම සූත්‍රයට අනුව සියලුම ඥානමූලාශ්‍රයයන් ප්‍රතික්ෂේප කළ යුතු බවකි. ඇත්තටම එසේ සිතන්නේ, ඔවුන්ට ඇතැම්විට පාලිභාෂාව ගැන දැනුමක් නැතිව සිංහලෙන් ත්‍රිපිටකය කියවන්නට යෑම නිසා ඇතිවූ වැරදි අවබෝධයකින් විය හැක. ඇතැම්විට භාරතීය දර්ශන සම්ප්‍රදායයන් ගැන නොදන්නාකමින් විය හැක. නැති නම් මේ දෙකම නිසා යැයි මම සිතමි. බුදුදහමට අනුව ඥානමූලාශ්‍රයය යනු එකකි. ඥානනිර්ණය හෙවත් නිශ්චයාත්මකඥානය යනු වෙනත් දෙයකි.

මිනිසෙකුට යම් දැනුමක් ලබා ගැනීමට නම් එය කිසියම් ආකාරයකින් උගත යුතුය. ඉගෙනීම සඳහා, ගුරුවරයකුගෙන් අසා දැන ගැනීම, වැඩිහිටියන්ගෙන් අසා දැන ගැනීම, පොත්පත් කියවීම, වෙනත් ශ්‍රව්‍යදෘෂ්‍ය මාධ්‍යයන් ඇසුරු කිරීම වැනි ක්‍රම ගණනාවක් ඇත. මේ සෑම ක්‍රමයකින්ම අපට දැනුම ලබා ගත හැක. බුදුදහම මෙලෙස දැනුම ලබා ගැනීම වරදක් කියා පෙන්වන්නේ නැත. එය නොකළ යුතුයැයි කියන්නේ ද නැත. ඉදින් කියම් මූලාශ්‍රයයක් ඇසුරු කරමින් අප දැනුම ලබන්නේ නැති නම් අපට දැනුම ලබා ගැනීමට වෙනත් ක්‍රමයක් හෝ අවස්ථාවක් හෝ නැත. සම්මාදිට්ඨිය ඇතිවීමට කරුණු දෙකක් අවශ්‍ය බව මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වේ. ඉන් පළමුවැන්න නම් 'පරතෝඝෝෂය'ය. එහි වාචිකාර්ථය අනුන්ගෙන් නැගෙන ශබ්දයය. එනම් අනුන්ගෙන් අසා ඉගෙන ගැනීමය. නූතන වාග්මාලාවට අනුව පෙරළුවහොත් අධ්‍යාපනයය. සම්‍යග්ඥානය ඇති කර ගැනීමේ පළමු සාධකය ඒ අනුව යම් අධ්‍යාපනයක් ලැබීමය. එය විධිමත් ලෙස පාසල, විශ්වවිද්‍යාලයය ඇසුරු කළ යුත්තක් බව කිසිසේත්ම මා අදහස් කරන්නේ නැත. මා මෙයින් පෙන්වා දෙන්නේ සම්‍යග්ඥානයක් ඇති වීමට කිසියම් හැදෑරීමක් කළ යුතු බවකි. තවත් අයුරකින් කියතහොත් ඥානමූලාශ්‍රයයන් ඇසුරු කළ යුතු බවකි.

ඥානනිර්ණය යනු වෙනම සංකල්පයකි. එයින් අදහස් වන්නේ යමක්, සත්‍යය බව තහවුරු කර ගැනීමය. යමක් ඉගෙන ගැනීමයි, එය සත්‍යය බව තහවුරු කර ගැනීමයි එකිනෙකට වෙනස් වූ සංකල්ප දෙකකි. පන්තිකාමරයේදී අපට ආකිමිඩීස්ගේ නියමය ඉගෙන ගත හැක. එය හුදෙක් ඥානයකි නැතහොත් දැනුමකි. නමුත් අප නිවසට ගොස් වතුර භාජනයක් ගෙන එයට ඝනවස්තුවක් දමා ඉල්පෙන ජලපරිමාව මැන බැලීමක් කරයි නම්, අප ඉගෙන ගත් දේ අපටම තහවුරු වේ. නිශ්චයාත්මකඥානය යනු ද එයමය. ඇත්තටම කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ, පරම්පරාව, කටකතාව, පොත්වල තිබීම, තර්කානුකූල වීම ආදිය ඥානනිර්ණයක් කොට නොගන්න කියාය. එනම් ඒ තුළින් අපට නිශ්චයාත්මකඥානයක් නොලැබෙන බවය. එය තවදුරුටත් මෙසේ පැහැදිලි කළ හැක. අපි පොතකින් යම් කරුණක් ඉගෙන ගත්තා යැයි සිතමු. එම කරුණ, බුදු දහමට අනුව නම්, අනිවාර්ය සත්‍යයක් විය යුතු නැත. එය සත්‍යය ද විය හැක, අසත්‍යය ද විය හැක. මෙවැනි භව්‍යතාවයන් දෙකක්, සෑම ඥානමූලාශ්‍රයයකම ඇත. ඥානනිර්ණයක එවැනි භව්‍යතාවයන් දෙකක් නැත. එය අනිවාර්යයෙන් සත්‍යයය, නැතිනම් අසත්‍යයය. එලෙස ඒකාන්ත නිශ්චිතතාවකට පැමිණිය හැකි ඥානනිර්ණායකයන් දෙකක් පමණක් ඇති බව බුදුදහම පෙන්වා දෙයි. එනම් ප්‍රත්‍යක්ෂය (perception) හා අනුමානය (inference)ය.

ඥානමූලාශ්‍රයක් ඇසුරෙන් ලබා ගන්නා දැනුම අප ප්‍රත්‍යක්ෂය හා අනුමානය යන නිර්ණායකයන්ට අනුව තහවුරු කර ගත යුතුය. යොනිසොමනසිකාරය යනු මෙලෙස විමර්ශනය කර බැලීමය. සම්මාදිට්ඨිය ඇතිවීමේ දෙවන කරුණ මෙම යෝනිසෝමනසිකාරයයි. අද ඇතැමුන් සිතන්නේ යෝනිසෝමනසිකාරය යනු යමක් ඉගෙන ගෙන පැත්තකට වී ඒ ගැන නිදහසේ කල්පනා කිරීම බවය. එය යෝනිසෝමනසිකාරයේ එක් චර්යාරටාවක් පමණි. අප කල්පනා කරනවා යනුවෙන් කරන්නේ කුමක්ද? මීට පෙර අප විසින් ලබා ගත් අද්දැකීම් ඇසුරු කර ගෙන තමා ලබා ගත් තම ඥානය විමසා බැලීමය. එය හුදෙක් සිතුවිලිවලින් පමණක්ම කළ හැකි අවස්ථා ද ඇත. නමුත් බොහොවිට සිදුවන්නේ එය ප්‍රායෝගිකව අත්හදා බැලීමට සිදු වීමය. බුදුබණ ඇසූ බොහෝ දෙනෙක් අවසානයේ මහණ වෙන්නට අදිටන් කර ගන්නේ මේ නිසාය. ඒ, තමන් උගත් දේ සත්‍යය දැයි අත්හදා බැලීමටය.

ඒ අනුව වටහා ගන්න, කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, පොතපතේ තියන දේ පිළිගන්න එපා, පරම්පරාවෙන් එන දේ පිළිගන්න එපා, මේ අපේ ගුරුවරයා දක්ෂයෙක් නේද කියා පිළිගන්න එපා කියන මතය නොවේ. උන්වහන්සේ දේශනා කරන්නේ, පොතපතේ තිබුණ 'පමණින්' පිළිගන්න එපා, පරම්පරාවෙන් ආව 'පමණින්' පිළිගන්න එපා, මේ අපේ ගුරුවරයා නේද කියන හැඟීමෙන් 'පමණක්' පිළිගන්න එපා. ඒවා ප්‍රත්‍යක්ෂඥානයට අනුමානඥානයට කොයි තරම් අදාළ ද කියා සොයා බලා තහවුරු වුණාම පිළිගන්න කියන දෙයයි.

මේ හැර, සියලු ඥානමූලාශ්‍රයයන් ප්‍රතික්ෂේප කර ඉබේ ඇති වන දැනුමක් බුදුදහම පිළිගන්නේ නැත. එය උමතු රෝගියෙකුගේ ලක්ෂණයක් පමණි.

Comments

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...