සසල විය ම-හද
මොහොතකට…
කොහේදෝ සිට හැමූ
නන්නාඳුනා සුළඟට
අතුගා පිරිසිදු කොට පැත්තකට ගොඩ ගැසූ
පරණ බො පත් කසළ
නැවත ඇහැරී
විසිරී ගියේය
සුදු සුමුදු බෝමළුව පුරා…
ඈ නෙතු බැල්ම
අහිංසක සිනාව
සිහින් කෙස් කළඹ
සන්සුන් සිතින් යන ගමන
සසල කරවිය ම-හද
මොහොතකට…
කිමද මෙය?
ඇය කෙරේ උපන් ප්‍රේමය ද?
නැත…!
එය මා බිරිඳටය.
මෙය මගේ අනුරාගය ද?
බුර බුරා නැගෙන විට
දර දඬු කොට දෑත
යටි තොල විකාගෙන
යටපත් කළ
රාගයේ පැරැණි ගිනි පුපුරු
අවුලා පියේ ද මා හද?
නොදනිමි…!
නොපෙලත් ද මා හද
ඊර්‍ෂ්‍යාවෙන්…?
මැවෙයි හද කොනෙක
මට නොලැබෙන ඇගෙ පහස
බිරිඳ ගෙන් මා ලබනා’යුරින්.
ඈ හෙමින් පියනඟයි
මට පෙනෙන මානයේ
පෙනෙන නොපෙනෙන සිහිනයක් සේ
ඈ පියනඟන මඟ
ඈට ඉදිරියෙන්
මඟ පෙන්වයි
තලත්තෑනි තැරැවුකරුවෙක්
තරු පහේ හෝටලයට…
Comments
Post a Comment