Skip to main content

පුනර්භවය


මේ භවයෙන් අනෙක් භවයට යන 'ගන්ධබ්බ' ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.(සැ.යු. අන්තරාභවය නොවේ). මහාතණ්හාසංඛයසූත්‍රයේදී 'ගන්ධබ්බස්ස පච්චුපට්ටිතෝ හෝති' කීවේ ඒක.
දැන් ප්‍රශ්නයක් තියෙනවා, ආත්මයක් නැත්නම් මේ ඊළඟ භවයට යන ගන්ධබ්බයා කවුද?

එය පටිසන්ධි විඤ්ඤාණය බව අටුවාව කියනවා. දැන් අපි නිරවුල් කර ගමු මේ පටිසන්ධි විඤ්ඤාණය ගැන.

විඤ්ඤාණය යන පදය බුදුරජාණන් වහන්සේ අර්ථ තුනකට භාවිත කරනවා.

1. ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණය ,
2. මානස ප්‍රත්‍යක්ෂය
3. විඤ්ඤාණ ස්කන්ධය.



චක්ඛං ච පටිච්ච රූපේච චක්ඛු විඤ්ඤාණං කියා කිවේ පළමු වැන්න.

මනං ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කිව්වේ දෙවැන්න.

යදිදං රූපක්ඛන්ධෝ ... විඤ්ඤාණ ඛන්ධෝ ආදී වශයෙන් දේශනා කළේ තුන් වැන්න.

ඔය තුන් වැනි විඤ්ඤාණස්ඛන්ධය කෙළින්ම ඉන්ද්‍රියබද්ධ ලෝකය සමග එනම් රූපය සමග ගැටෙන්නේ නැහැ. එය සම්බන්ධ වන්නේ අනෙකුත් ස්කන්ධ 3 සමග. අනෙක් ස්කන්ධ 3 රූපය සමග සම්බන්ධ වෙනවා.

ඒ අනුව,
රූපය (ඉන්ද්‍රිය බද්ධ ලෝකය) --> සංවේදනය, සංජානනය, සංකල්පීකරණය --> විඤ්ඤාණය.

ඉන්ද්‍රිය බද්ධ ලෝකය සමග අප කරන ගනු දෙනු නිසා හෙවත් අපේ අත්දැකීම් (කර්ම ලෙස ද ගත හැකියි) නිසා අනෙකුත් ස්කන්ධ වෙනස් වෙනවා. ඒ අනුව විඤ්ඤාණය වෙනස් වෙනවා.

මේ නිසා විඤ්ඤාණය කියන්නේ හැම විටම වෙනස් වන අලුත් අලුත් තත්වයන්ට පරිණාමය වන දෙයක්.

එය නිත්‍යව පවතින එක දෙයක් නොවේ. විඤ්ඤාණය පටිච්චසමුප්පන්න යැයි කීවේ ඒ නිසා.

මිනිසෙකුගේ මරණයේදී කරුණු තුනක් පිට වන බව ධම්මපදය අපට පෙන්වා දෙනවා.
ඒ කියන්නේ කරුණු 3ක ක්‍රියාකාරිත්වය නතර වෙනවා.
එනම්

1. ආයුෂය,
2. උෂ්ණය.
3. විඤ්ඤාණය.

1, ආයුෂය කියන්නේ උපතේදී තීරණය වන සෛල බෙදී යාමේ ක්‍රියාවලිය.
2, උෂ්ණය කියන්නේ, අභ්‍යන්තර පද්ධතීන්ගේ ක්‍රියා කාරිත්වය.
3, විඤ්ඤාණය කිව්වේ මං දැන් ඉහත කී විඤ්ඤාණය.

රූපය බිඳ වැටීමත් සමග එයට ඍජුව ම බද්ධ වූ අනෙකුත් ස්කන්ධ 3ත් වැටෙනවා. නමුත් විඤ්ඤාණය රූපය සමග ඍජු සම්බන්ධයක් නැති නිසා එය රූපයත් සමග බිඳ වැටෙන්නේ නැහැ.

විඤ්ඤාණය නිතර වෙනස් වන නිසා යම් පුද්ගලයෙක් මැරෙන විට තියෙන්නේ. ඔහු උපදින විට ඇති විඤ්ඤාණය නොවේ වෙනස් එකක්.

නමුත් එය මුලින් තිබූ විඤ්ඤාණයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේත් නැහැ. මොකද මුලදි එකක් තිබුණ නිසා නේ පසුව වෙනස් වෙන්නේ.

මේ වෙනස් වූ විඤ්ඤාණය තමා විනාශ නොවී රැකී සිටීමට අවශ්‍ය නම් ඒ සඳහා යෝග්‍ය වන්නේ කුමන භෞතිකය ද කියා දන්නවා.

ඒ අනුව ඔහු තමා මෙතෙක් ජීවත්ව සිටි භෞතිකය නැති වූ ක්ෂණයේම වෙනත් භෞතිකයක් වෙත සම්ප්‍රේෂණය වෙනවා.

මෙලෙස පිටවන විඤ්ඤාණය කියන්නේ තරංගයක්. ජංගම දුරකථනයකින් ඇමතුවාම අදාළ අංකය සහිත තැනට යනවා වගේ, රූපවාහිනියක් සුසර කළ විට අදාළ නාලිකාව පමණක් ලැබෙන්නා සේ මෙය තමාට නියමිත භෞතිකයක් වෙත යනවා. මොක ද, විඤ්ඤාණයට භෞතිකයකින් තොරව ජීවත් වන්න බැහැ.

(විශේෂත්වය නම් එසේ යැවීමට කෙනෙක් අවශ්‍ය නොවීමයි).

නාමරූප පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං කීවේ ඒකයි. මේ විඤ්ඤාණය කියන තරංගය ගමන් කරන වේගය ගැන කියන්න බැහැ. බුදුහාමුදුරුවන් පෙන්වා දෙන්නේ එයට උපමාවක් දැක්වීම පවා අපහසු බවයි. මෙම විඤ්ඤාණය භෞතිකයක් සොයා සම්ප්‍රේෂණය වන්නේ මේ පෘථිවියේ පමණක් නොවේ.

මේ විශ්වයේ ඕනෑම තැනකට ඇසිල්ලකින් එය ඇදී යනවා.

බුදුහාමුදුරුවන් පෙන්වා දෙන්නේ මරණයයි, නැවත උපතයි අතර කාල අන්තරය දක්වන්නට නොහැකි බවයි.

දැන් අපි බලමු බෞද්ධ අනාත්මවාදී කියන දේ තුළයි ආත්මවාදී කියන දේ තුළයි වෙනස.

මුලින් මා පෙන්වූ පරිදි විඤ්ඤාණය කියන්නේ හැම විටම අලුත් වෙමින් යන එකක්. ඒ අනුව ඉපදෙන කොට තියෙන විඤ්ඤාණයට වඩා ජීවත් වෙනකොට තියෙන විඤ්ඤාණය වෙනස් .

මැරෙන කොට තියෙන විඤ්ඤාණය ඊටත් වෙනස් . නැවත හට ගන්න කොටත් යන්තම් හෝ වෙනස් වෙනවා.

මේ විදිහට, AB --> CD --> EF --> N ආදී ලෙස වෙනස් වෙන්න පුළුවන්..

නමුත් ආත්මයක් ඇතැයි කියන අය පැහැදිලි කරන්නේ,

AB --> AC --> AD --> AE ආදී වශයෙන්.

හැම විටම A යන්න නිත්‍යව පවතිනවා. බුදුහාමුදරුවන් දේශනා කරන්නේ නිත්‍යව පවතින දෙයක් නැත කියා පමණයි.

එහෙම නැතිව මැරිලා අනෙක් භවයට මුකුත් සම්ප්‍රේෂණය වෙන්ෙන් නැහැ කියා නොවේ.

දැන් බලමු බුදුහාමුදුරුවන් මේ කාරණය පැහැදිලි කළ විදිහ. උන්වහන්සේ කීවේ මැරිලා උපදින්නේ ඔහුත් නෙවේ, වෙන කෙනෙකුත් නෙවේ කියා. නච සෝ නච අඤ්ඤෝ.

එහෙම වෙන්නේ මෙහෙමයි. භෞතිකය හා විවිධ ගති පැවතුම් අතින් පුද්ගලයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නමුත් මතකය අතින් ඔහු එක් කෙනෙක් වෙනවා.

උදාහරණයක් ලෙස, යම් ජීවිත කාලයක දී පුද්ගලයෙක් ගත්තු ඡායා රූප එකතුවක් අරන් බලන්න. පොඩි කාලේ එක විදිහක්, තරුණ වයසේ තව විදිහක්. වයසට ගියාම තව විදිහක්. මේ ඉන්නේ වෙනස් අය.

නමුත් ඒ ඡායාරූපවල අයිතිකාරයාට මතකයි තමා ඒ සෑම අවස්ථාවක් ම පසු කල බව.
ඔහුගේ මතකය තුළ ඔහු එක් අයෙක්. විඤ්ඤාණයේ ස්වරූපයත් ඒකයි,

AB තත්වයට වඩා CD තත්වය වෙනස්. නමුත් පසුව කී තත්වය ඇති වෙන්නේ මුලින් කී තත්වය ඇති වුණොත් විතරයි.

එක අතකින් මේ දෙන්නා දෙන්නෙක්. තව අතකින් මේ දෙන්නා එක් කෙනෙක්.
නච සෝ නච අඤ්ඤෝ.

Comments

  1. \\නාමරූප පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං කීවේ ඒකයි.//
    අනුලෝම පටිච්ච සමුප්පදයේ තියෙන්නෙ "සංඛාර පච්චයා විඤ්ඤාණං" ලෙස නෙවෙයි ද?
    නැත්නම් මේ වෙන තැනකින් ගත්ත උපුටනයක් ද? එහෙම වුණොත් එතන විසංවාදයක් ඇතිවෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අදාළ දේශනය තියෙන්නේ මහානිදාන සූත්‍රයේ. සාම්ප්‍රදායික පටිච්චසමුප්පාදය ලැබෙන්නේ, උදාන පාලි බෝධිවග්ගයේ. ඇත්තටම මෙතන විසංවාදයක් නැහැ. තියෙන්නේ දුරවබෝධයක් විතරයි. අපි මේ කතා කරන 'අවිජ්ජයා පච්චයා සංඛාර' ආදී කතාව පටිච්චසමුප්පාදයට උදාහරණයක් විතරයි. උදාහරණ සැපයීමේදී බුදුරජාණන්වහන්සේ අවස්ථා කීපයක විවිධ ආකාරයෙන් පටිච්ච සමුප්පාදය දේශනා කරලා තියෙනවා. පටිච්චසමුප්පාදය යනු 'අස්මින් සති ඉදං හෝති...' යනාදී දේශනයට. එම මූලය හැම තැනම එකම විදිහට අදාළයි.

      Delete
  2. \\බුදුහාමුදරුවන් දේශනා කරන්නේ නිත්‍යව පවතින දෙයක් නැත කියා පමණයි.
    එහෙම නැතිව මැරිලා අනෙක් භවයට මුකුත් සම්ප්‍රේෂණය වෙන්ෙන් නැහැ කියා නොවේ.//

    අනිත්‍ය: නිත්‍යව පවතින කිසිදු සංස්කාරයක් නොමැත.
    දුක්ඛ: සැප යයි ගතහැකි කිසිදු සංස්කාරයක් නොමැත.
    අනාත්ම: ?

    ReplyDelete
    Replies
    1. අනාත්ම - සියලු ධර්මතාවයන්ගේ ස්ව-භාවය යන්න අවිද්‍යමාන බව.

      Delete
  3. ආත්ම කිව්වත් අනාත්ම කිව්වත් යම්කිසි කොන්ටිනිවිටි එකක් (//මෙතෙක් ජීවත්ව සිටි භෞතිකය නැති වූ ක්ෂණයේම වෙනත් භෞතිකයක් වෙත සම්ප්‍රේෂණය වෙනවා//) තියෙනවා වෙනසක් සහිතව (ඒක ඉතා ලොකු වෙනසක් කියලා හිතුවත් ). ඒත් මේ දෙකේ (ආත්ම / අනාත්ම) ප්‍රධාන ම දේ එනම් කොන්ටිනිවිටි එකක් තියෙනව කියන තැනදි දෙකම එකයි.

    ප්‍රශ්නෙ තියෙන්නෙ මෙන්න මේ ප්‍රධාන දෙය වූ කොන්ටිනිවිටි එක ගැන මිස ඔය කියන වෙනස නෙමෙයි.

    මම ආත්ම වාදය විශ්වාස නොකර අනාත්මවාදය විශ්වාස කරන්න ඕනෙ ඇයි?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ආත්ම කියන වචනයේ තේරුම ම 'වෙනස් නොවී ඉදිරියට යනවා' යන්නයි. අන‍ාත්ම කියන්නේ ඒ අර්ථයෙන් ගත්තාම ඉදිරියට යන්නේ නැහැ කීම නෙවේ. වෙනස් වෙවී ඉදිරියට යනවා කියන දේ. නමුත් ඔබේ ප්‍රශ්නය තියෙන්නේ - එහෙම නැත්තම් ඔබ හිතාගෙන සිට ඇත්තේ අනාත්ම යනු අාත්ම කියන සමස්ත සංකල්පයේ ප්‍රතිවිරෝධය ලෙස නම් ඔබ වැරදියි. ඒ නිසාම දැන් ඔබට මතු වෙන ගැටලුව වන්නේ මේ 'පැවැත්ම' යයි කියන පාරභෞතික සංකල්පය පිළිගන්නේ ඇයි කියන දේ. ඇත්තටම එහෙම දෙයක් පිළිගන්න ඕනේ නැහැ. එහෙම දෙයක් පිළිගන්න කියා බුදුහාමුදරුවන් බල කරන්නේත් නැහැ. අපි තේරුම් ගන්න ඕනේ ඇයි 'අනාත්ම' සංකල්පයක් අවශ්‍ය වුණේ යන්න. එය අවශ්‍ය වුණේ පුද්ගලයා 'මම' කියන සංකල්පය ඇති කරගෙන එය පෝෂණය කිරීමට පෙළඹීම නිසා. තවත් විදියකින් කියනවා නම්, 'මම රැස්කර ගන්නා දේ තුළින් මට සැප වින්දැහැකි' කියන මානසිකත්වය ආවාම මිනිහෙක් උග්‍ර ධනවාදීයෙක් වෙනවා. ඔහුගේ සමස්ත චින්තනය මෙහෙය වන්නේ මේ 'මම' පෝෂණය කිරීමට. එලෙස වෙනස් නොවී පවතින දෙයක් නැත කියා සනාථ කිරීම මත මේ 'මම' යන්න විනාශ වෙනවා. එවිට මිනිසා 'මම' පෝෂණය කිරීම වෙනුවට සමස්තයක් වශයෙන් මානවයාගේ 'සම්මුති පැවැත්මට' අවශ්‍ය දේ කරනවා. එයින් එක 'මම' කෙනෙක් රැකෙනවා වෙනුවට 'මම' නොමැති සමස්තය රැකෙනවා. ලෝකය සමාජවාදී හෝ කොමියුනිස්ට් තැනකට අවබෝධයෙන් යුතුව ගලා යනවා. අන්න එතනදි 'අනාත්ම' යන්න මිනිසාගේ පරමාදර්ශය සකස් කිරීමට හේතු වෙනවා. මට මතකයි වරක් 'බෞද්ධ අනාත්ම සංකල්පයේ පදනම' පැහැදිලි කරමින් මේ අදහසම කෝවුර් පවා දක්වා තිබුණා.

      Delete
    2. ඔබ කියන විදියට අනාත්මවාදය අවශ්‍ය වුනේ "මම" කියන 'සංකල්පය' (හෝ 'දෙය') රිප්ලේස් කිරීමට නම්, අනාත්මවාදය යන ශුවර් නැති සංකල්පයකට වඩා (ඇත්තටම එහෙම දෙයක් පිළිගන්න ඕනේ නැහැ කියලාත් ඔබ කියනවා), "මම" හි කිසිම ආකාරයක කන්ටිනුඒශන් එකක් (ආත්ම ලෙස හෝ අනාත්ම ලෙස) නොදකින, නොදන්නා දේ ගැන විවෘතව දකින 'සෙකියුලර්' සංකල්පය ඒ සඳහා ගැලපෙන බවයි මට නම් හිතෙන්නේ. එතකොට පිලිගැනීමේ නොගැනීමේ අවශ්‍යතාවයක් අදාල වන්නේත් නැහැ!

      //එය ('අනාත්ම' සංකල්පය) අවශ්‍ය වුණේ.....// ලෙස ඔබ විස්තර කරන දේ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. එය අවසානයේ //....අන්න එතනදි 'අනාත්ම' යන්න මිනිසාගේ පරමාදර්ශය සකස් කිරීමට හේතු වෙනවා// හි 'අනාත්ම' යන්න වෙනුවට 'සෙකියුලර්' යන්න ඉතා නිරවුල් ලෙස ගැලපෙන බවයි මා කියන්නේ.

      "මම" නැතිකිරීමට, වඩා බුද්ධිගෝචර වන්නේ, පොල්ලෙන් ගැහුවා වගේ, ආත්මයක් හෝ අනාත්මයක් "නැහැ" කියලා කියන 'සෙකියුලර්' සංකල්පයද? එහෙම නැත්නම් වෙනස් වෙවී හරි, නැතුව හරි අපි නොදන්න කන්ටිනුඒශන් එකක් ගැන කියන (පිලිගන්න ඕනෙත් නැති!) වේග් සංකල්පයක්ද ?

      මම කැමතියි කොවූර් මේ ගැන පලකලා යැයි ඔබ කියන අදහස් මුද්‍රිතව හෝ වෙබ් අඩවියක ඇත්දැයි දැනගන්න.

      - Dimithri

      Delete
    3. //'අනාත්ම' යන්න වෙනුවට 'සෙකියුලර්' යන්න ඉතා නිරවුල් ලෙස ගැලපෙන බවයි මා කියන්නේ// ඔවු. හැබැයි එහෙම වෙන්නේ අප දැන් මේ කතා කරමින් සිටින සංවාදයට සාපේ‍ක්ෂව පමණයි. එහෙත් අනාත්ම සංකල්පය හරහා බුදුදහම පැහැදිලි කරන්න උත්සාහ කළ බොහෝ දේ තිබුණා. උදා. ලෙස බෞද්ධ ප්‍රපඤ්චවාදය සහ නාමමාත්‍රවාදය යන දෙකම හට ගන්නේ අනාත්ම සංකල්පය අනිත්‍යතාවට ඌනනය කළ දෙවන විග්‍රහයක දී. අද සෙක්‍යුලර් පසුබිමක් ඇතිව පුනර්භවය, කර්මය වැනි දේ ගැන කතා නොකළත් එදා වැඩිපුරම හිටියේ එහෙම අය. එතකොට මේ හැම දෙයක්ම යම් ඒකමතිකභාවයක් ඇතිව විග්‍රහ කිරීම අවශ්‍ය වෙනවා. එතනදී තමා අනාත්ම සංකල්පය එන්නේ. කොටින්ම කියනවා නම්, අනාත්මය යනු 'පුනර්භවය' යනු කුමක් ද කියා කියන්න බුදුහාමුදුරුවන් පෙන්වා දුන් තියරිය නෙවේ. 'සත්‍යය' යනු කුමක් ද යන්න පෙන්වා දෙන්න ගත් උත්සාහයේ අතුරු විග්‍රහයක්. බුදුහාමුදුරුවන්ට අනුව පරම සත්‍යය කියා ලෝකයේ නැහැ. යථාර්ථය කියන්නේ නිතරම ගතික දෙයක්. සත්‍යය යනු හැමවිටම සාපේක්ෂ දෙයක්. ලොව කිසිම දෙයක් ‍හේතුඵල වශයෙන් බැඳිලා නැහැ. ඉතින් මේ සියල්ල විග්‍රහ කරන්න වෙන්නේ 'අනාත්ම' සංකල්පය මත. එහෙත් අවාසනාවට වගේ ලංකාව කියන භූමිය තුළ මට එයට අවසර නැහැ. 'ථේරවාදය' කියන මාෆියාව හරිම දරුණුයි. මං කීවෝතින් බුදුහාමුදුරුවන් ඇත්තටම දේශනා කළේ මෙයයි, ‍ථේරවාදය එය විකෘති කරනවා කියා, ඊට පස්සේ ම‍ගේ රස්සාවත් නැති වෙනවා. ලංකාවේ බුද්ධිමතුනටවත් බුද්ධිමත් සංවාදවලටවත් ඉඩ නැති නිසා හොඳම දේ නිහඬ වීමයි. මං මේ ටික ඔයාට ලිව්‍වේ, අනාත්ම යන්න වෙනුවට සෙක්‍යලර් යන්න රිප්ලේස් කිරීම දුෂ්කර බව ඒත්තු ගන්වන්න විතරයි.

      //ම කැමතියි කොවූර් මේ ගැන පලකලා යැයි ඔබ කියන අදහස් මුද්‍රිතව හෝ වෙබ් අඩවියක ඇත්දැයි දැනගන්න// ඇත්තටම මං ඒක කියෙව්වේ පොතක, දැනට ගොඩාක් ඉස්සර. මට දැන් හරියට නම මතක නැහැ. හේතුවාදිදර්ශනයේ වෙන්න ඇති. කෝවුර් එය එක වාක්‍යයකින් හෝ දෙකකින් කියන්නේ.

      Delete

Post a Comment

Popular posts from this blog

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප