Skip to main content

මෙවැනි බැඳුම් අදහනු බැරි

ආදරය හරි අමුතු දෙයක්.. ඒක හිත ඇතුළට රිංගන්නේ දඟකාර කිරිකැටියෙක් මවු දෙතන තුඩු අතර අත් ගසා හුරතල් වෙනවා වගේ. ඒක හිත ඇතුළේ පදිංචි වෙන්නේ දුරුත්තේ හීතලට ඇද වැටෙන බෝපතක් වැලිමළුව සිප ගන්නවා වගේ.. මේ පුදුම ආදරය කවදා කොයි වෙලේ පීදෙයි ද කා වෙනුවෙන් පීදෙයි ද කියා සිතා ගන්න බැරි බඩවැටියේ තලමල වගේ..

ආදරයටත් වඩා පුදුමයි ගැහැනු ළමයෙකුගේ හිත. මට හිතෙන්නෙම, ඇල කණ්ඩිය දිගේ පිපුණු කුමුදු මල් යායට පිනි ඉහළ ඒ මත්තෙන් සඳ එළිය කැටි ගැහුණ වගේ නේද ඒ හිත කියා. වරෙක ඒ හිත බලා ගෙන ඉන්නවා පහන් තරුව දෙස, වරෙක සඳවටොර දෙස, පුංචි සමනලුන් දෙස.. ඒ හැම තැනකටම ඒ හිත ලෝබ නැතිව දන් දෙන්න ඇය හරි ආසයි. නමුත් පිරිමි ළමයෙකුට ඒ හිත දෙන්න ඇය හරිම ලෝබයි.. නමුත් කවදා හරි දවසක, කොයියම් හෝ මොහොතක ඒ හිත දීලා ම දානවා ආයේ ඉල්ලන්නේ නැතිව ම ඉන්න.. අන්න එදාට ලස්සන කතාවක් ගොඩ නැඟෙනවා. ඒ කතාව ඇත්තටම හරිම ලස්සනයි.. ඇය ඒ කතාව තුළ හැමදා ජීවත් වෙනවා. නමුත් අහල පහල ඉන්න බොහෝ දෙනාට ඒ කතාව ලස්සන වෙන්නේ හිත දන් දුන්නේ කාට ද කියා දැන ගන්න ලැබුණාට පසුවයි..

බන්දුල නානායක්කාරවසම් එහෙම ලස්සන නැති කතාවක් අහිංසක ගැහැනු ළමයෙකුගේ හිතට මුවා වෙලා අප ඉදිරියේ හරිම ලස්සනට ලියනවා..



සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝඝයක් විය ඔබෙන් ලැබුව අපමණ අබිමන්

මේ පද පේළි දෙක ඇහෙන කොට බන්දුල මේ කියන්න යන්නේ ආදරයක් ගැන ද කියා හිතා ගන්නත් බැරි තරම්. ඇත්ත... නැණ ගුණ බෙලෙන් යුතු තරුණ හාමුදුරුකෙනෙක් දහම්පාසල් ළමයි වට කරගෙන ඉඳහිට පොඩි විහිළුවක් කරන කොට ඒක ආදරය ද කියා හිතා ගන්න බැහැ තමයි.. තාත්තා කෙනෙක් වගේ ජීවිතය මෙහෙමයි කියලා ඔවදන් දෙනකොට ඒක ආදරය ද කියා හිතා ගන්න බැහැ තමයි... ඒත් ඒ අතර ඉන්න තරුණ ගැහැනු දරුවෙකුට එය ආදරයක් වගේ පේන්න බැරි ද? පොඩි හාමුදුරුවන් කරන විහිළුවලට හිනා වෙන්නයි ඒ දෙන අවවාදවලින් ඔළුව පුරවා ගන්නයි ගියාම ඇයට සියුම් මිහිරියාවක් දැනෙනවා වෙන්න බැරි ද? මං ඒකයි මුලින්ම ලිව්වේ ගැහැනු ළමයෙකුගේ හිත හරි පුදුමයි කියලා..

ඒත් පොඩිහාමුදුරු කෙනෙකුට ආදරය කර ඒ ආදරය දිනා ගන්නේ කොහොම ද? ‘මං හින්දා මේ හාමුදුරුවන් සිවුරු ඇරියොත්’ කියා ඇයට හිතෙන කොට, ඒත් එක්ක එන දහසක් ප්‍රශ්න කන්ද දිහා බලන කොට හිතේ ඇති වන ආදරය හිත ඇතුළේම හිර කරන් ඉන්නවා මිසක එළියට දාන්නේ කොහොමද කියා ඇයටවත් හිතා ගත නොහැකියි. මේක හිත ඇතුළේම හට ගෙන හිත ඇතුළේම පරවෙලා යන ආදරයක් වේවි.. එහෙම පරවුණ දාට අඬන්නවත් අයිතියක් ඇයට නැති වේවි.. මේ නිසා බන්දුල ඇගේ හිත අකුරුවලට පෙරළෙනවා මෙහෙම.

නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං

ඔව් ඒක ආදරය.. ආදරය දෙව්රුවක් වෙලා.. නමුත් ඇයට උරුම වී ඇත්තේ හැමදාම ඒ දේවාලේ එළිපත්තට වී දෙව්රුව දෙස බලා ඉන්න විතරයි.. කොහොමද දෙවියන් ළඟට යන්නේ..

මේ වචන ටික ලියලා මං අත අහකට ගනිද්දි බන්දුල මගේ පපුව පසාරු කරනවා ඊළඟ පද පේළි දෙකෙන්..

බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියා දැයි මලවී

සුනිල් ආරියරත්න රාගයෙන් තොර ප්‍රේමයක් ගැන ලියද්දී සුචරිත ගම්ලත්ට සුනිල්ව පෙනුනේ මානසික රෝගියෙකු වගේ. ප්‍රසාද සහ මාධූර්ය ගුණයෙන් ලිවිය යුතු අදහසක් ගෞඪී රීතියෙන් ලියා නන්දා මාලනිය එය උච්චස්වරයෙන් ගායනා කරද්දී මටත් හිතුනේ නිකම්ම අදෝනාවක් වගේ. නමුත් කළුගලක් මෙලෙක් කර කුරුටු ගානවා වගේ මේ දහම්පාසල් දැරියගේ හිත බන්දුල පිරිමදින්නේ අමුතුම තැනකින්. පොඩිහාමුදුරුවන් ඉදිරියේ මේ දැරිය නිකම්ම නිකම් උවැසියක් විතරයි.. පොඩිහාමුදුරුවන් බණකියන කොට, පිරිත් කියන කොට, කටහඬ උල්කරලා අනුශාසනා කරන කොට ඒ දිහා බලා ඉන්න පුළුවන් උවැසියක් විදිහට විතරයි. මෙහිදී බන්දුල දකින පොඩි හාමුදුරුවන් ඇය දෙය බලන්නේ කරුණාවෙන් දයාවෙන් පමණයි. ඒ කරුණාව දයාව වෑහෙන ‘බෝසත් සිත’ ඉදිරියේ ඇයට අනංග හැඟුම් එන්නේම නැහැ. ඇය තුළ ගලා හැලෙන්නේත් ‘ආදරයම’ පමණයි. ඒක මොනවගේ ද කියාත් කවියා අපට කියනවා..

පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී

ගෙදරින් ගෙනා මල් සේරම බුදුහාමුදුරුවන් ඉදිරියේ පූජා කර ඉවරයි. ඒවා සියල්ල ටික ටික පරවෙනවා.. නමුත් පූජා කර ගන්න බැරි වුණ ඇගේ හදවත භක්තියෙන් පිරී ඉතිරී තාමත් ළතැවෙනවා.. ඒ ආදරය වචනයට නඟා ගන්න බැරි භක්තියෙන් පිරිලා ඉතිරිලා යනවා.

කොච්චර කාලයක් නම් මෙහෙම හිතින් ආදරය කර කර ඉන්න ද? අනෙක් මිනිසුනට පේන්නේ නැති වෙන්න ආදරය හිතේ හිර කර ගෙන ඉන්න පුළුවන් ද? එහෙම කරන්න බැහැ. ඉතින් මේ දැරිවියගේ හිතේ තියෙන ආදරය එක දවසක එළියට එනවා.. එදාට මුළු ගමම ගිනි ගන්නවා.. අනේ අර පොඩි හාමුදුරුවන් මොකද කරන්නේ? ඇය තමාට ආදරය කරන බව දැනුයි ඔහු දන්නේ.. අවාසනාවට ඔහු දැන ගන්න අතරේදී මුළු ගමමත් දන්නවා. ඉතින් ඒ හාමුදුරුවන්ට සිදු වෙනවා පන්සල අතහැර දාලා යන්න. සමහර විට සිවුරුත් අතහැරලා යන්න.. හැමෝගේම අපවාද එන්නේ දැන් හාමුදුරුවන්ගේ නමට. තමන්ගේ හිතේ මෙච්චර කාලයක් ‘ආදරයේ දෙව්රුව’ ඇඳලා තිබුණු පොඩි හාමුදුරුවන්ට මෙහෙම වෙන කොට ඇයට මොනවා හිතෙනවා ද? ඇයට මොනවා හිතුනත් දැන් හාමුදුරුවන් ඇගෙන් ගොඩක් ඈතට ගිහිං ඉවරයි. ඇය දැන් තමන්ගේ සිහින ලොව හුදකලා වුණ යශෝදරාවක් වගේ..

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
ඔබට ළං ව දුක බෙදා ගන්න බැරිකම දුකකි

හාමුදුරුවන් දැන් ඇයගෙන් ඈත් වෙලා ගිහිං ඉවරයි. ඒ යන්නේ ඇයව අරගෙන නෙවේ. මොකද හාමුදුරුවන්ගේ හිතේ ආදරයක් තිබුණේ නැති නිසා. ඇය දත්මිටිකාගෙන හිත හදා ගන්න හදනවා, ‘ඔබට මිහිරි නම් මට සැපකි‘ කියා. ඒ ගමන්ම ඇයට තේරෙනවා, දැන් හාමුදුරුවන් මුහුණ දෙන තත්වය. ඒත් ඒ දුක බෙදා ගන්න ඇයට අවසර නැහැ.

මේ අසම්මත ප්‍රේමය ඇගේ සිහින ලොවින් ඇයව නිතරම මහපොළොවට ඇදලා දානවා. ඇය තමාගෙන් ප්‍රශ්න කරනවා. ‘මේ මං පැතූ අවසානය ද? මට ඕනේ වුණේ හාමුදුරුවන්ව පිටමං කරන්න ද?’ ඇගේ නෙතු අතරට කඳුළක් උනන්න තරම් අයිතියක් ඇයට තියෙනවා ද කියා ඇයවත් දන්නේ නැහැ. නමුත් ඈ එක දෙයක් දන්නවා, ඈ තුළ තිබුණු ප්‍රේමය මේ අහල පහල මිනිසුන් හිතාගෙන හිටි අයුරුන් ගොඩ නැඟුණු එකක් නෙවේ.. එහෙනම් ඒක මොකද්ද? ඒකට නමක් දෙන්න පුළුවන් ද? ‘මට බැරි ද පොඩි හාමුදුරුවන්ගේ හොඳම යෙහෙළිය වෙන්න, හිතවතිය වෙන්න?’ ඇයත් ඇය තුළම නිරුත්තරයි. ඇයට අවසානයේ දී කියන්නට ඇත්තේ මෙපමණයි.

මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි
එවැනි ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

පද රචනය - බන්දුල නානයක්කාරවසම් (Bandula Nanayakkarawasam) (උපුටා ගැනීම ඔහුගේ ‘සිනා තොටක්’ නම් ගීපොතෙන්)
ගායනය - නිරෝෂා විරාජිනී
සටහන - බර්ට්‍රම් ජී. ලියනගේ

Comments

  1. Vijitha Tharanga Bandara21 March 2016 at 14:26

    Love originates in every heart. But in many cases, it takes time to understand. Love is something natural and spiritual phenomena that nobody can really understand. So, it is quite strange and mystery but exists forever. Many say love is a gift of the god. But for me, it is gifted by the nature. Love is nothing a-convention. But love is love. No any color should be added for that beautiful concept. It could be found in deepest side in your heart. Let's change the mind setting of the people. The person who sees the change within himself, really changes the world. In the Sri Lankan deep -rooted tradition, LOVE is something should not be happen and has so many barriers.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප