Skip to main content

බුදුහාමුදුරුවෝ වැරදිකාරයෙක් ද?


නොයෙකුත් චෝදනා මැද බුදුරජාණන්වහන්සේව වැරදි කාරයෙකු කොට එල්ලා මැරීමට අද විශාල පිරිසක් කැස කවන බව පෙනෙන නිසා සංවේගයෙන් යුතුව මේ වචන ටික ලියමි. ගැහැනියක සහ දරුවෙකු දාලා හොරෙන් පැනලා ගිහිං බුදුවෙලා හරියනවා ද? අර කසාද බඳින්න හිටිය නන්ද කුමාරයාව මහණ කරපු එක හරිද ආදී වශයෙන් මෙකී නොකී නොයෙකුත් පොර ටෝක් දාලා බුකියේ ලියන ‘බෝධිසත්වයන්’ ගේ පෞද්ගිලික ජීවිත ගැන මං නොදනිමි. නමුත් උන්දැලාගේ කතා මුඩුක්කුවක ගලා යන හුජ්ජවතුර ටිකක් ලෙව කන සොක්කි බල්ලන්ගේ උඩු බිරුමක් තරම්වත් වටින්නේ නැත. ඒ ඇයි කියලා මං කියන්නම්.

01. බුදුදහම කියන්නේ එය දේශනා කළ කෙනාගේ උත්පත්තිය මත පදනම්ව අර්ථ ගැන්වෙන දහමක් නොවේ.

කතෝලික දහම රැදෙන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියා පිළිගන්නා තාක් පමණි. මුස්ලිම් දහම පවතින්නේත් නබිතුමා ‘අකුරු නූගත් අයෙක්ය’ දෙවියන් ඔහුට කතා කළහයි යනාදී විශ්වාසය තියෙන තාක් පමණි. මේ නිසා මේ ධර්මයන් පවත්වාගෙන යන අයට ඒ අයගේ ආගමික කර්තෘව අරගෙන යන්න සිදු වුණා. නමුත් බුදුදහමට එන කිසිවෙක් බුදුහාමුදුරුවන්ගේ අම්මා කවුද, තාත්තා කවුද කසාද බැඳල ද ආදී තොරතුරු අහලා ඒ අනුව ආවේ නැහැ. ඒ අය ආවේ බුදුහාමුදුරුවන් දේශනා කරන්නේ මොකද්ද කියල අහලා ඒ ගැන හොයලා බලලා. නමුත් කාලයක් යද්දි, මේ ශාසනයට බුද්ධිහීනයන් සහ නූගතුන් එන්න පටන් ගත්තා. ඒ අයගේ දැනුමේ හැටියට බුදුන් වැන්දා මිසක පිළිපැදීමක් සිදු වුණේ නැහැ. මේ නිසා තමයි අපේ තෙරවරුන්ට සිදු වුණේ බුද්ධචරිතය කියලා එකක් අමුතුවෙන් ලියලා පෙන්වන්න, මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවන් සිටියේ අඩුම තරමේ ඒ දිහාවත් බලලා හැදියන් කියා කියන්න. මේ කාර්ය සිද්ද වුණේ යටත් පිරිසෙයින් සම්බුද්ධපරිනිර්වාණයෙන් අවුරුදු 400කටවත් පසුව. ඒ කියන්නේ දැනට අප අතර තියෙන බුද්ධචරිතය ලියපු කිසි කෙනෙකු බුදුහාමුදුරුවන්ව සියැසින් දැකලා නැහැ. ඒ අය ඒ කතාව ගොඩනඟන්නේ තමන් අහපු කටකතා ඇසුරින්. ඒ අනුව අප මුලින්ම තේරුම් ගන්න ඕනේ අද අප ‘බුද්ධ’ කියා දකින්නේ පොතෙන් මවපු චරිතයක් මිසක සැබෑ දාර්ශනික පෞරුෂය නොවන බව. මේ දෙක වෙන් වශයෙන් තේරුම් ගන්න මගේ ලිපියේ ඉදිරියේ දී ‘පොතේ බුදුන්’ සහ ‘සැබෑ බුදුන්’ යන යෙදුම භාවිත කරනවා. මං කියන්න හදන පළමු කාරණය නම්, පොතේ බුදුන් සහ සැබෑ බුදුන් යනු කිසිසේම එක් අයෙකු කියා අපට කියන්න සාධක නැහැ. ඒ නිසා පොතේ බුදුන් දිහා බලලා කරන විවේචන සැබෑ බුදුන්ට අදාළද කියලා කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ.

02. අනෙක් අතට මේ පොතේ බුදුන් කියන්නේත් එක් කෙනෙක් නෙවේ.

අප දන්න, ථේරවාදයට අයත් ලංකාවේ හිටපු කීපදෙනෙකුන් විසින් ලියපු පොතේ බුදුන්, එක් කෙනෙක් විතරයි. නමුත් මෙයට වඩා වෙනස් පොතේ බුදුවරුන් ගණනාවක් අපට චීන සහ ටිබෙට් පොත් අතරිනුත් සංස්කෘත පොත් අතරිනුත් හමුවෙනවා. සමහර පොත්වල දැක්වෙන විදිහට, මහබෝසතුන් ගිහිගෙය අතහැර යන්නේ රාහුල කුමාරයට අවුරුදු 10ක් සපිරුණාට පස්සේ. තවත් පොතක තියෙන විදිහට මහබෝසතුන් විවාහ වෙන්නේ ම නැහැ. යශෝදරාව ගිවිස ගන්නවා විතරයි. බුදු වුණේ වයස කීයෙන් ද දුෂ්කරක්‍රියා කොපමණ කාලයක් කලා ද ආදී වශයෙන් සෑම කුඩා තොරතුරක්ම විවිධ පොත්වල වෙනස් වෙනවා. ඇතැම් පොතකට අනුව නන්ද කියලා සහෝදරයෙකු හිටියෙත් නැහැ. මේ විදිහට පොතේ බුදුවරු කීපයක් සිටින විට එක් අයෙකු අල්ලා ගෙන පිස්සු විකාර ලියන එක කිසිම ශාස්ත්‍රීය පදනමක් ඇති දෙයක් නෙවේ...

03. පරමාදර්ශී චරිත හැම විටම කාලයට සාපේක්ෂයි.

මං කිව්වනේ බුද්ධචරිතය ලියන්නේ බුදුන් පිරිවන් පා වසර 400කට විතර පසුව කියා. ඒ කියන්නේ පූ.ව්‍ය.ව 1 සියවස පමණ කාලය. ඒ කාලේ හැටියට මිනිසුන් පිළිගත්ත සමාජ සම්මතයන් දිහා බලලා තමයි, බුද්ධචරිතය ලියලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ හැටියට දෙමාපියන්, බිරිඳ ආදීන් දාලා ගිහිං මහණ වෙනවා කියන එක දකින්නේ හරිම අමාරු, ඉතා බුද්ධිමත් කෙනෙකුට පමණක් කළ හැකි දෙයක් විදිහට. ඒ නිසා ඒ අනුව බුදුන්වහන්සේගේ කතාව ලිව්වා. තවත් පැහැදිලි කරනවා නම්, මේක හරියට චීනයේ බුදුපිළිම හැදුවා වගේ වැඩක්. චීනයේ අතීතයේ සිටම ලොකු විශ්වාසයක් තිබුණා මොළේ තියෙන්නේ බඩේ කියලා. මේ නිසා ගොඩාක් බුද්ධිමත් උදවියව චිත්‍රයට නඟන කොට බඩ ලොකුවට අඳින්න චීන ජාතිකයන් පුරුදු වෙලා හිටියා. බුදුහාමුදුරුවන් චීන ජාතිකයන් දැක්කේ විශිෂ්ට බුද්ධිමතෙකු විදිහට. ඒ නිසා චීන බුදුපිළිම අදටත් හදන්නේ බඩ ලොකුවට දාලා. අද චීන මිනිසුන් එදා වගේ හිතන්නේ නැහැ. නමුත් තමන්ගේ කලාව වෙනස් කරන්න කැමැති නැහැ. ඒ වගේ එදා තිබුණ සදාචාර පද්ධතියට අනුව පරමාදර්ශී චරිතයක් ගොඩ නඟන්න බුද්ධචරිතය ලිව්වත් අද මිනිස් වටිනාකම් පිළිබඳ අපේ අවබෝධය වෙනස් නිසා ඒ පරමාදර්ශී බව වෙනස් වෙනවා. එතකොට බුද්ධචරිතය අදට ගැළපෙන විදිහට වෙනස් කර ගන්න වෙනවා. මහාචාර්ය කළුපහණ බුද්ධචරිතය නවකතාවට නඟන්නේ මේ වෙනස පෙන්වා දෙන්න.

අනෙක් අතට පොතේ බුදුන් අල්ලාගෙන බුද්ධචරිතයට මඩ ගහන අයියාලා, අක්කලා අඩුම තරමේ යක්කඩුවේ නායක හාමුදුරුවන් එදා මාර්ටින් වික්‍රමසිංහ කියන සිංහලේ මහාගත්කරුට උත්තර ලියපු ‘භවතරණ මග’ පොඩ්ඩක් කියවලා බලන්න. උන්වහන්සේ ඒ පොතෙදී කොග්ගල මහාප්‍රාඥයාගේ රෙදි ගලවා ඇත.

04. ත්‍රිපිටකයේ දැක්වෙන බුදුන් පවා පොතේ බුදුන්ට වඩා වෙනස්..

අපට දැනට උගන්වන පොතේ බුදුන් කියන්නේ සතර පෙරනිමිති දැකලා ගිහි ගෙය කළකිරී මහණ වුණ කෙනෙක්. නමුත් ත්‍රිපිටකයේ වරින් වර අපට බුද්ධචරිතය ගැන කියන තොරතුරු පවා මේ පොතේ බුදුන්ට වඩා වෙනස්. උදාහරණයක් ලෙස බුදුහාමුදුරුවන් පැහැදිලිව කියනවා, තමන් හොරෙන් ගියේ නැහැ, අම්මා තාත්තා අඬ අඬ ඉන්දැද්දී තමා ගිහි ගෙදරින් ගියේ කියලා. අනෙක ගිහි කාලයේදී යුද්ධක් පවා සියැසින් දුටු බවට උන්වහන්සේ කියනවා. මාලිගාවේ හිරවෙලා හිටිය පුළුන් බබෙක් නෙවේ එහෙම බලන කොට. අනෙක උන්වහන්සේගේ දේහය ගැන කියද්දී පැහැදිලිව කියනවා උන්වහන්සේ උස, කෙට්ටු කෙනෙකු කියා. නමුත් අද කිසිම බුදුපිළිමයක අපි එහෙම කෙනෙකු දකින්නේ නැහැ. අප සූත්‍රපිටකයෙන් විනය පිටකයට පැන්නොත් එහි දැක්වෙන බුදුහාමුදුරුවන් අවශ්‍ය විටදී කේන්ති ගන්න, ශ්‍රාවකයන් වැරදි කළාම හයියෙන් කෑ ගහන, එහෙ මෙහ වේගයෙන් ඇවිදින, ඇතැම් විටෙක සිවුර පසෙක තබා විවේකයෙන් ඉන්න සාමාන්‍ය මනුෂ්‍යයෙක්. නමුත් අප ඉදිරියේ ඇති පොතේ බුදුන් මේ සියලු ගතිවලින් වෙනස් චරිතයක් විදිහටයි පේන්නේ.. ත්‍රිපිටකයේ උගන්වන්නේ සැබෑ බුදුන් කියා හිතුවොත් සැබෑ බුදුන් සහ පොතේ බුදුන් අතර කොච්චර දුරක් ඇත්ද කියා ඔබට පේනවා ද?

05. හරි, වැරදි සහ හොඳ, නරක තීරණය වෙන්නේ එකි නෙකාගේ දැනුම් මට්ටම අනුවයි.

දැන් ඔය බුදුහාමුදුරුවන් අර වැරද්ද කළා මේ වැරද්ද කළා කියන උදවිය මේක හරි, අරක වැරදියි ආදී වශයෙන් කියන්නේ කොහොම ද? මොකද්ද භාවිත කරන නිර්ණායකය. බුදුහාමුදුරුවන් කියන්නේ දාර්ශනිකයෙක්. උන්වහන්සේ ලෝකය විග්‍රහ කරන විදිහක් තියෙනවා. ඒ විග්‍රහ කරන විදිහට අනුව උන්වහන්සේ තීරණය කරනවා හරි දේ මේකයි වැරදි දේ මේකයි කියලා. ඒ අනුව උන්වහන්සේ ඒක කරනවා. එක එක ලැම්බට්ලා, විල්බට්ලා, මල්කාන්තිලා සොපිඅක්කලා හිතන විදිහට බුදුහාමුදුරුවන් හිතන්නේ නැහැ. ඒක හරියට මේ වගේ. උපන් දා ඉඳලා ඇස් පෙන්නේ නැති එකාට ගමනක් යං කිව්වාම ඌ ඕන වෙලාවක හා යං කියනවා. නමුත් ඇස් පේන එකෙකුට කිව්වාම උන්නැහේ කියනවා දවල්ට යං කියලා. ඇයි මූ දවල්ටම යන්න හදන්නේ කියාලා අර ජාත්‍යන්ධයට තේරුම් කරලා දෙන්න බැහැ. ඇයි ඌට දවල් රෑ කියලා වෙනසක් නැහැනේ.. ඒ නිසා සමස්ත ලෝකම ඉතා වෙනස් ආකාරයට තේරුම් ගත්ත බුදුහාමුදුරුවන් කරන දේවල් හරියි වැරදියි කියන්න කලින්න බුදුහාමුදුරුවන් හිතන්නේ කොහොම ද කියලා හොයලා බලන්න පුරුදු වෙන්න... මොනවා කරන්න ද එහෙම කරන්න ඔය විවේචනය කරන අයට බැහැ. මොකද උන් බුදුදහම හදාරන්න පුදුම බයක් තියෙන්නේ...

තව දුරටත් මේ කාරණය ගැන කියනවා නම්, මෙහෙම හිතන්න. දැන් නන්ද කුමාරයාව මහණ කළ එක වැරදියි කියන්නේ ඇයි? එහෙම පේන්නේ ගැහැනියක් කසාද බැඳගෙන අහවල් එක කොර කොර ඉන්න එක නිවන් දකිනවාට වඩා හොඳයි කියලා හිතන අපතයන් නෙමේ ද? නමුත් සංසාරය ගැන ඇස් ඇරලා බලපු බුදුහාමුදුරුවන් මේ භවය මොහොතක්වත් වර්ණනා කරන්න කැමති වුණේ නැහැ..


දැන් යශෝදරාව දාලා ගියා කියලා හොටු පෙරාගෙන අඬන කාන්තා විමුක්ති දායක නංගිලා අක්කලා එහෙම කියන්නේ ඇයි? ඒ අය හිතනවා ගැහැනිය කියන්නේ කිසිම විදිහකින් මිනිහෙක් නැතුව ජීවත් වෙන්න බැරි, තාත්තා කෙනෙකු නැතිව දරුවෙකු බලා ගන්න බැරි දුර්වල චරිතයක් කියා.. අර එක මැඩම් කෙනෙක් දවසක් කවියක ලියපු විදිහට යශෝදරා කියන්නේ මිනිහෙකු සමග අහවල් එක කොරන්නේ නැතිව ඉන්නවත් බැරි කෙනෙක්. ඒ නිසා ඡන්නට එන්න කියනවා නේ...! ඉතින් අද මේ ඉන්න තුප්පැහි කාලකණ්ණි දකින විදිහට නෙවේ බුදුහාදුරුවන් යශෝදරාව අඳුර ගත්තේ. යශෝදරා උනවහන්සේගේ නෑනා. උපන්දා ඉඳලා ළඟින් ආශ්‍රය කරපු හොඳම යාළුවා. ඇය ඉතා ශක්තිමත් නිර්භීත වූත් ස්වතන්ත්‍ර වූත් පෞරුෂයක් ඇති කාන්තාවක් විදිහටයි අපට ත්‍රිපිටකය කියන්නේ. තමන්ගේ හොඳම යාළුවාගේ පෞරුෂයේ තරම දන්න නිසා තමා බය නැතිව ඇයව දාලා උන්වහන්සේ ගිහි ගෙය අතහරින්නේ.. අනෙක බුදුහාමුදුරුවන් පැහැදිලිව දේශනා කරනවානේ බිරිඳව දාලා ඇවිත් මහණ වෙන අය ඇයගේ ආර්ථික සුරක්ෂිතතාව හදලා එන්න කියා. ඒ විතරක් නෙවේ, තමන් කසාද බැඳලා නැතත් තමන් මහණ වෙනකොට ගෙදර අවිවාහක සහෝදරියක් ඉන්නවා නම් ඇය වෙනුවෙන් කළ යුතු යුතුකම් භික්ෂුවක් ලෙස ඉඳගෙන ම කරන්න කියා බුදුහාමුදුරුවන් උපදෙස් දුන්නා කියා දන්නේ නැද්ද?

අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. බුදුහාමුදුරුවන්ගේ ජාතකේ හොය හොය කාලය කන්න පුළුවන් වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්න දූපත් මානසිකත්වයෙන් පෙළෙන තාමත් මානව පරිණාමයට ගොදුරු වෙලා නැති ගෝත්‍රික මානසිකත්වයෙන් පීඩා විදින තමන්ගේ ඥානමය නපුංසකත්වය නිසා පරපීඩක කාමුකත්වයෙන් සුරත්තාව පතන උන්දැලාට විතරයි. ලෝකයට ඇස් ඇරලා බැලුවා නම් පේනවා, අද ලෝකයේ කී දෙදෙනක් බුදුහාමුදුරුවන්ගේ දර්ශනයෙන් ප්‍රයෝජන ගන්නවා ද කියා.

විට්ගන්ස්ටෛන් සමලිංගිකයෙකු වීම ඒ අයට ප්‍රශ්නයක් නෙවේ, බර්ට්‍රන්ඩ් රසල් හතර වතාවක් කසාද බැඳපු එක හෝ දෙවතාවක් සිරගෙට නියම වුණු එක ඒ අයට ප්‍රශ්නයක් නොවේ. නමුත් ලංකාවේ අර මං මුලින් කියපු උන්දැලාට ඒක විතරයි ලොකුම ප්‍රශ්නේ..

(මේ ලිපියට සම්පූර්ණ ලකුණු මට දා ගන්න බැහැ. ජර්මනියේ හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලයයේ බෞද්ධ අධ්‍යයනය සහ සංස්කෘත භාෂාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මෛත්‍රීමූර්ති මහතාට මගේ විශේෂ ස්තුතිය මාව ඇතැම් කරුණු සම්බන්ධයෙන් දැනුවත් කළාට)

Comments

  1. meka ada ape samajayata therum karanna giyama thiyana mulikama getaluwa thamai sar api sadaka sahithawa oppu kalath pilinogenima mokada ithama simitha pirisak erenna bohoma sulu pirisai thawath kenek kiyana deyak piliganne buddimathun kiyala hithagena inna pal modayo aththatama unta kiyanawata wada eka athakin mehema karana deyin man dakina hoda deyak thamai sar api wage ayata me nodanna de denagena oya wisthara nodanna kenekuta ape anagatha parapurata bana kiyanna saha uganwanna hoda adahas tikak ape molayata ekathu wima aththatama oba depalata bohoma pin theruwan saranai digala pangha wansa himi

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප