Skip to main content

හාරිත - පළමු කොටස

(හාරිත ජාතකය ඇසුරෙන් කොටස් වශයෙන් දිගහැරෙන කෙටිකතාව)

“හත්ථක..., හත්ථක...”

අන්ධකාරය අතර හීමිට නමුත් බොහොම සීරුවට හමා ගිය කටඬහකි. අහලපහල නිවසක් තබා බලුකූඩුවක්වත් පේන්නට නැති තරම්ය. හතරවටින් වට වුණු පොල්ගස්වලින් මුර කරන පුංචි පැල්පතකි. පැල්පතේ දොර අසල නිසොල්මන්ව රැක සිටින උත්තුංග සෙවණැල්ලකි. ඒ සෙවණැල්ල අතරින් ඇදී එන සිහින් කටහඬකි.

“හත්ථක... හත්ථක... උඹ නිදිද බං, නැඟිටලා වරෙන්කෝ... පොඩි වැඩක් තියෙනවා. නැඟිටලා වරෙන්කෝ...”

කීපවාරයක් එක දිගට කතා කිරීමෙන් පසුව ගේතුළින් මතුවුයේ කැඩුණු බිඳුණු කටහඬක්ය.

“කවුද ඔය, කවුද මේ මහ රෑ?”

“මේ මම බං, ඇවිල්ල බලපංකො පොඩ්ඩක්”

හිමීට දොර පළුවක් විවෘත විය. ඊටත් වඩා හෙමීට හත්ථක එබී බැලුවේ සොරෙකු දෙස බලන්නා මෙන් සැකයෙනි. ඔහුගේ අතෙහි කඩුවක් ද විය. “කවුද තෝ...?”



ආගන්තුක සෙවණැල්ල හෙමින් සීරුවේ හත්ථකගේ මුහුණට එබෙන්නට විය. හතථක ක්ෂණයෙන් ඔසවා ගත් කඩුව බිම හෙළා වෙවුලමින් වැඳ වැටෙන්නට මෙන් පාත් වෙමින්, “පින් කරන හාමුදුරුවනේ..ගැත්තාට...”.

“කට..කට.. කට වහපං, සද්ද කරන්න එපා.” ආගන්තුකයා ඔහුගේ කට වසමින් කීවේය.

තවදුරටත් ඔහු ආගන්තුකයෙක් නොවේ. මේ සිටින්නේ තම පරම්පරාවටම කන්න බොන්න දුන් බ්‍රාහ්මණ මහාසාර කුලයේ උපන් හාරිත බ්‍රාහ්මණ කුමාරයා බව දැන් හත්ථක දනී. හාරිත ක්ෂණයෙන් හත්ථකව අතින් ඇද එළියට ගත්තේය.

“ඔබ වහන්සේ ඇයි මේ දෙගොඩහරි ජාමයේ?”

“මට උඹත් එක්ක ගමනක් යන්න ඕනේ...”

“ඉන්ට සුළු වංගියක්, මං ඇඹෙණියට කියා එන්නම්”

“ඈට කියන්න එපා, මේ මං වග. වෙන මොකක් හෝ බොරුවක් කියාලා වරෙන්”.

“එහෙමයි...” හත්ථක කීවේ ඉතාමත් බැගෑපත් ස්වරයෙනි. හාරිත යමක් හත්ථකට කීවා නම්, ඒ ගැන පෙරළා ප්‍රශ්න කිරීමේ පුරුද්දක් ඔහුට නැත. ගේ ඇතුළට රිංගා ගත් පසුව කාන්තා හඬක් සමග ගැටෙන පුංචි කළහයක් හත්ථකට ඇසිණි. ටික වේලාවකින් නැවත පැමිණ “අපි යං” කීවා මිස ඔහු වෙන කිසිවක් හාරිත හමුවේ කීවේ නැත. හත්ථක තමන්ගෙන් ප්‍රශ්න නොකරන බව දන්න නිසාම හාරිත කතා කළේය.

“මට යන්න ඕනේ, අර මිනිහගේ ගෙදර”.

“මොන මිනිහ ද, අපේ හාමුදුරුවනේ...?”

“අර දුවට බෙහෙත් කරන්න විදිහක් නැහැ, සල්ලි ටිකක් දෙන්න කියලා ඉල්ලං ආපු මිනිහගේ ගෙදර”.

“ඒ මිනිහ ඒ බෝරුවක් කරන්නේ, අපෙ දෙය්යෝ. හැම තැනම නොමිලයේ බෙහෙත් දෙන්න, රජතුමා ගිලන්හල් හදලයි තියෙන්නේ.. ඉතිං මොකටද කාසි.. ඒකා ඔය ඉල්ලන්නේ වෙන මොකක් හරි දේකට... බාගදා බොන්න වෙන්නැති මයේ හිතේ..”

“ඒකම තමා මටත් බලන්න ඕනේ...අපි යං කෝ”

අන්ධාරයෙන් ගලා හැලෙන සීතල වැඩි වීම නිසා වීදියේ බැඳි විලක්කු පන්දම් කීපයක්ම නිවී ගොස් තිබුණි. ඈතින් බුරන බල්ලෙකුගේ හඬක් මිසක, ගස් කොළන් පීරාගෙන හූ කියන මූසළ සුළඟ මිසක ගම්මානය මැද්දේ වෙන කිසිවක් තිබුණේ නැත. කල්තියාම හඳ වැඩමුරය අවසන් කර ඇත. වලාකුළු අතරින් ඉඳහිට එබී බලන තරුකැටයක් හෝ දෙකක් අලෝක බින්දුවක් මහපොළොවට පෙරන්නේ මහා ලෝබකමකිනි. අඳුරු හෙවණැලි දෙකක් සේ ඔවුහු ඉදිරියට ඇදී ගෝස් අවසානයේ දී එක් පැලක් ළඟ නතර විය. අතරමඟදී හමු වුණ සියලු පැල්පත්වල නිදාගත් නිහඬබව පමණක් වාතලය පීරද්දී මේ ගෙයි ආලෝක බින්දුවක් නිදිවරණ බව දෙදෙනාටම පෙනිණ. ඔවුහු ඉතා අසීරුවෙන් පැල්පතේ දොර පියන ඇහැරවා ගෙන ඇතුළට වැදුණහ. එහි සිටි සියල්ලෝ සිනහව සමග විරසක වූවෝය. සිනහවෙන් පලා ගොස් කටුක වනයක ඇස් දල්වා ව්‍රත රකින්නෝය. මස් නැති ඇට සැකිල්ලක් හමවලින් වසාගෙන සිටි ඔවුහු හාරිත දුටු හැටියේ කඳ පණ නැතිව බිම ඇද වැටී නමස්කාර කළෝය. හාරිත අසීරුවෙන් ඔවුන්ව නැඟිටුවා අසළ පිදුරු ඇතිරිල්ලක සීතලේ වෙව්ලමින් සිටින දැරියක ළඟ හිද ගත්තේය. ඇය උණ වැඩිවී ගැහෙන බව වටහා ගැනීමට හාරිතට වැඩි වේලාවක් ගත වූයේ නැත. වහාම ක්‍රියාත්මක වුණ හාරිත ඇයෙගේ නාඩි පිරික්සා බලා... ඔවුන් දැනටමත් ගෙන ඇති බෙහෙත් කසාය ද පිරික්සා බලා ඒවායින් කීපයක් නැවත රත් කර ගන්න උපදෙස් දුන්නේය. එම කසාය හාරිතගේ අතින්ම කුඩා දුවණියට පොවා අනතුරුව ඇගේ පියා දෙසට හැරිණි.

“රජතුමාගේ ගිලන්හල්වලින් උඹලා දැනටමත් බෙහෙත් අරගෙන ඇවිල්ලනේ තියෙන්නේ, ඉතිං ඇයි බෙහෙත් ගන්න කාසි ඕනේ කියලා මාව හොයා ගෙන මාලිගයට ආවේ?”

“අනේ සමාවෙන්ට ඕනේ අපේ පින් කරන හාමුදුරුවනේ, ... අපි දැන් කීප පොළකින්ම බෙහෙත් ගත්තා. ඒත් මේ කෙලීට තාම ගුණයක් නැහැ. දවල්ට බොහෝම හොඳයි. නැඟිටලා කෑමත් කාලා හොඳින් ඉන්නවා. රාත්‍රියේ දී මේ විදිහට වෙව්ල වෙව්ලා උණ ගන්නවා. අපට කරන්න පුළුවන් හැම දේම අපි කොළා.” ඒ වචන ටික ඔහුගේ මුවින් පිට වූයේ වම් ඇස පුපුරා වැටෙන කඳුළක් පිස දමමිනි. අඩ අඳුරේ වුව ද ඒ කඳුළ දිලිසෙමින් වැටෙන හැටි හාරිත දුටුවේය. ගතවුණු ඊළඟ නිමේෂයේ ඔහු ඉකි ගසමින් වැළපෙන්නට විය.

“හරි හරි, දැන් ඉතිං වැළපෙන්නේ නැතිව කියහං, මොකටද කාසි ඕනේ වුණේ කියලා?” හාරිත කීවේ ස්ථිර ස්වරයකිනි.

“ගමේ හැමෝම කියනවා, වාසෙට්ඨ බ්‍රාහ්මණයා ළඟට ගෙනිච්චානං දුවව සනීප කරන්න පුළුවන් වෙයි කියා.”

“වාසෙට්ඨ කියන්නේ දැන් රාජතුමාගේ රාජකීය වෛද්‍යාචාර්යයා...! ඉතිං ඔබට යන්න තිබුණා නේ... ඔහු දැන් රෝගීන්ගෙන් මුදල් අය කරනවා ද?” හාරිත ඇහුවේ පුදුමයෙනි. වාසෙට්ඨ තමාට වඩා තරමක් වැඩිමල් වූ නමුත් ගුරුකුලයේ එකට සිටි මිතුරෙකි.

“අනේ නැහැ.. උන්වහන්සේ කීයටවත් ලෙඩ්ඩුන්ගෙන් කාසි ගන්නේ නැහැ. ඒ වුණාට අප වායේ දුප්පත් කුලහීනයන්ට උන්වහන්සේ ළඟට යන්න දෙන්නේ නැහැ, අපේ දෙය්යෝ... රාජ පුරුසයෝ අපෙන් කාසි ඉල්ලනවා. ඉතිං ඒ ඇත්තන්ව සතුටු කොරන්න කොහෙන්ද අපට කාසිපණම්. මට කියලා මිල කරන්නවත් දෙයක් නැහැ. මේ ඉන්න පැල් කොටේත් අයිති තමුන්නාන්සේට නොවැ. ඉතිං බැරිම තැන තමා, මං අවේ ඔබ වහන්සේ ව බැහැ දකින්න. ... නමුත් තමුන්නාන්සේගේ සේවකයෝ මං බොරු කියනවා කියලා හිතලා මාව පන්නා ගත්තා... මං කොහොමෙයි කටක් ඇරලා කියන්නේ, කාසි ඉල්ලන්නේ බෙහෙත් ගන්න නෙවීය, රාජපුරුසයන්ගේ අත මොළවන්නය කියලා. එහෙම කිව්වොත් උන්නැහෙලා මාව කුදලාගෙන ගිහිං මරා දාන්නත් බැරි නැහැ... අනේ පින් කරන හාමුදුරුවනේ මං මොනවැයි කරන්නේ කියන්නකෝ....” ඔහු නැවතත් ඉකි ගසමින් අඬන්නට පටන් ගත්තේය.

සිදුවී ඇති දේ වටහා ගත් හාරිත ටික වේලාවක් නිහඬබව තුළ සිර විය. නොකර සද්ද ඉණ අතගා කහවණු පොදියක් අතට ගත් ඔහු තමාගේ හුරු පුරුදු සන්සුන් හඬ දොතොල් අතරින් මතු කළේය.

“ඉඳා මේක තියාගනින්. උඹට බෙහෙත් ගන්න ඕනේ වුණොත් වරෙන් මාලිගයට. මාලිගයේ ඖෂධ ගබඩාවෙන් බෙහෙත් ගන්න පුළුවන්.”

ඒ වචන ටික ඇසෙත්ම කෙසඟ මිනිසා හාරිතගේ දෙපාමුල ඇද වැටිණි. ඔහුගේ කඳුළුවලින් හාරිතගේ දෙපා දොවන්නට විය.

“හරි, හරි දැන් ඉතිං නැඟිටහං. ආ.... තව දෙයක්. බැරි වෙලාහරි වාසෙට්ඨ කිව්වොත් දුවණියව සනීප කරන්න බැහැ කියලා, කලබල වෙන්න එපා. දුවණියව කෙළින්ම උස්සාගෙන වරෙන් අපේ මාලිගයට. මං කෙසේ හෝ සනීප කරල දෙනවා. වාසෙට්ඨ තරම්ම වෙදකම මාත් දන්නවා... හැබැයි උඹලා මුලින්ම වාසෙට්ඨ ළඟට යන්න ඕනේ තේරුණා ද?”

“එහෙමයි, එහෙමයි... අපි ඒ විදිහටම කරන්නං”

ඉන්පසු හාරිත හැරුණේ හත්ථක දෙසටය. මේ අසරණ මිනිසා කුමක් හෝ ඇයදමින් මාලිගයට පැමිණියහොත් ඔහුට අවශ්‍ය දේ ලබා දෙන්න යැයි ඔහු හත්ථකට උපදෙස් දුන්නේය. පසුව, මෙම රහස් සෙවණැලි දෙක රහසේම නික්ම ගියහ.

හාරිත බ්‍රාහ්මණයෙකි. ඔහුගේ සීයා, එනම් තාත්තාගේ තාත්තා දැනට සාකේත පුරයේ රජතුමාගේ තාත්තා රජකම් කරන සමයේ රටේ පුරෝහිත බ්‍රාහ්මණයාය. එම රජතුමා අසල පිහිටි කුඩා රාජ්‍ය කීපයක්ම තම පාලනයට නතු කරගෙන සාකේත රාජධානිය දියුණු කළේය. ඒ සියල්ලටම අවශ්‍ය ගුරුහරුකම් ලැබුණේ පුරෝහිත බ්‍රාහ්මණයාගෙනි. රජ ඔහු කෙරෙහි අතිශය ප්‍රසන්නව ඔහුට ගම්වර සහ දැනට හාරිත පදිංචිව සිටින මාලිගය සාදා දුන්නේය. ඔහුගෙන් පසුව හාරිතගේ පියාට පුරෝහිත තනතුර ලැබුණත් එය බාර ගන්න ඔහු කැමති වූයේ නැත. ඔහු ගුරුවරයෙකු ලෙස ගුරුකුලයේ ඉගැන්වීම් කරන්න පටන් ගත්තේය. දැනට සාකේත පුරයේ රජකම් කරන රජතුමා හාරිතගේ තාත්තාගේ ශිෂ්‍යයෙකි. ඒ සම්බන්ධතා මත ද ඔහුට රජුගෙන් නැවත වරදාන හා මිලමුදල් ලැබිණි. ඒ වන විට හාරිතගේ තාත්තා උපයාගෙන තිබු වස්තුවත් ඔහුට ඔහුගේ තාත්තාගෙන් උරුම වුණ වස්තුවත් මිල කළහොත් කහවණු සතළිස් කෝටියක් පමණ වෙයි. හාරිතගේ මව මගධ අධිරාජ්‍යයේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ දුවණියය. ඇයට ද විවාහයේදී ස්ත්‍රීධනය ලෙස කහවණු සතළිස් කෝටියක් වටිනා ගම්වර, වස්ත්‍රාභරණ, මිලමුදල් ආදිය ලැබිණ. කොටින්ම, හාරිත ඉපදුණේ කහවණු කන්දක් මතය. ඔහු පවුලේ එකම දරුවාය. වත්පොහොසත්කම් අතින් ඔහු දෙවැනි වන්නේ සාකේත පුරයේ රජතුමාට පමණි. හාරිතගේ උපතත් සමග, ඔහුගේ පියා ගුරුකුලයේ ඉගැන්වීම අතහැර දමා සාකේත පුරයේ තමාට හිමි නින්දගම් බලාගෙන ඉඩකඩම් අස්වැද්දවීම කරගෙන ජීවත් විය. ඔහුට අවශ්‍ය වූයේ තම දරුවා සමග කාලය ගත කිරීමටය. තම පුතාට ආර්යවර්තයේ සිටින හොඳම ගුරුවරයාගෙන් අධ්‍යාපනය ලබා දිය යුතු යැයි කල්පනා කළ මේ දෙමාපියන් හාරිතව තක්සලාවට යැව්වේ ඔහුගේ වසය දොළහ සපිරීමත් සමගය.

හාරිත තක්සලාවේදී බ්‍රාහ්මණයෙකු උගත යුතු සියලුම ශිල්පශාස්ත්‍ර මැනවින් උගත්තේය. ඔහු තක්සලාවේ දක්ෂතම ශිෂ්‍යයා බවටත් පත්විය. හාරිතගේ සමත් කම ගැන ජම්බුද්වීපයේ සියලු බ්‍රාහ්මණයන්ගේ ක්ෂත්‍රියයන්ගේ දෙසවන් අතර රැවු දෙන්නට විය. ඔහුගේ කීර්තිරාවය ඒ තරමටම ප්‍රබලව දසත හමා ගියේය. තම පුතා තක්සලාවේ සිට නිවසට එන්නට මත්තෙන් යාගයක් කළ යුතු යැයි සිතූ හාරිතගේ පියා ඒ සඳහා ගංගා, යමුනා, කාවේරී සහ සරස්වතී යන නදීවලින් දිය සහ පස් ගෙන ඒමට තීරණය කළේ ඔය අතරේදීය. සරස්වතී නදියෙන් පස් ටිකක් ගන්න වතුරට බැස්ස හාරිතගේ මව නොසිතූ ආකාරයෙන් ගඟේ සැඩ පහරට හසුව ගහගෙන ගියේය. ඇය බේරා ගන්න ගොස් හාරිතගේ පියාත් ඒ සැඩ පහරටම එකතු විය. දොළොස්වසරකට පසු හාරිත තක්සලාව අතහැර ආපසු නිවසට පැමිණියේ තම දෙමාපියන්ගේ අන්තිම කටයුතු කිරීමටය.

හාරිතගේ ජීවිතය පුරාවටම රජකරපු එකම චරිත දෙක ඔහුගේ අම්මා සහ තාත්තාය. ඔහු තක්සලාව අතහැර නිවසට එන්නට සිහින මවමින් සිටි අයෙකි. ඔහුට ඕනේ වුණා, තමා උගත්දේවල් තම පියා ඉදිරියේ ප්‍රදර්ශනය කර ඒ තුළින් පියාගේ මුහුණට නැඟෙන සිනහව විඳ ගන්නටය, අම්මාගේ මුහුණ රතු වී නෙතට උනන සතුටු කඳුළ විඳ ගන්නටය. ඒත් ඒ සියල්ල දැන් දහනය කර ගංගා නදියේ පා කර යවා අවසන්ය.

ඔහු නිවසට පැමිණියේ ඉබේම කඩා හැලෙන අතපය එහෙමෙහ හසුරවමින් දිරා ගිය මුහුණක් කඩා වැටෙන්නට නොදී අසීරුවෙන් රඳවා ගනිමින්ය. සුළං සැර ද එදා නොවුණි. ගහකොළ ද සැළුණේ නැත. සතා සිව්පාවා සද්ද කළේ ද නැත. දෙමාපියන්ගේ අවසන් කටයුතු සිදු කළ මොහොතේ සිට ඔහු මේ වන තෙක් කිසිදු අමුත්තක් මුහුණෙන් හෝ ඔහුගේ ක්‍රියාවෙන් හෝ පෙන්නුවේ ද නැත. ඔහු තවම නිසොල්මනේ සිටී. සැම විටම පුංචි සිනහවක් මුවගට නඟාගෙන කතා කිරීමට ද ඔහු පුරුදුව සිටියේය. එම සිනහවේ ව්‍යාජ බව සඟවන්න තරම් ඔහු දක්ෂ නළුවෙක් නොවීය. වසය විසිහතරක් වුවද දැන් ඔහු හැසිරෙන්නේ හැට පිරුණාක් මෙන්ය. විශාල ධනස්කන්ධයක් උරුමව සිටියත්, දැසිදස්සන් පිරිවරා ගත් සියලු සැප සම්පත් තිබුණත් හාරිතට අඩුවක් දැණින. එම අඩුව වචනවලට පෙරළගන්නට ඔහු දහස්වරක් වෙහෙසෙන්න ඇත. නමුත් ඔහු ලද භාෂා දැනුම ඒ සඳහා ඔහුට පිහිට වීමට කැමති වූයේ නැත.

ඔහු නිරන්තරයෙන් කල්පනා කරන බවත් මුහුණේ ඇති සිනහව ව්‍යාජ බවත් හඳුනා ගත් හත්ථක ඇතුළු ඔහුට සමවයස් ඇති මාලිගයේ සේවකයන් විවිධ ආකාරයෙන් ඔහුව සතුටු කරන්නට වෙර දැරූහ. මාලිගාවේ ප්‍රිය සාද, නර්තන උත්සව ආදි නොයෙක් දේ ඔවුහු සූදානම් කළහ. නමුත් මේ කිසිවක් හාරිතව සොළවන්නට සමත් වූයේ නැත. ‘මේ මං හොයන දේ නෙවේ’ කියා හාරිත කීප විටක්ම තමාටම කියා ගත්තේය. ඔහු පැමිණි දා සිටම ඔහුට අසන්නට දකින්නට ලැබුණේ විවිධාකාර අඳෝනා සහ වැළපිලි පමණකි. දුවට බෙහෙත් අර ගන්න බැරු වුණ මෙම අසරණ මිනිසාගේ පැමිණිල්ල ඒ අතරින් හත් වැනි හෝ අට වැනි සිදු වීමය. දුවව විවාහ කර දීමට නොහැකිව මුදල් නැති කම නිසා එකෙක් වැළපිණි. තමන්ගේ වෙළෙඳ ව්‍යාපාර කටයුතු සියල්ල විනාශ වීම නිසා තව එකෙක් වැළපිණි. තම සැමියා මිය ගිය පසු ජීවත් වීමට අයුරක් නැති බව කියමින් ගැහැනියක් වැළපිණි. මෙවැනි වැළපීම් අඳෝනා හාරිත වෙත ඇදී ආ පසු, ඔහු තමාට හැකි උපරිමයෙන් උදවු කිරීමට කිසිසේත් මැලි වූයේ ද නැත.

* * * * * *

‘සරා..ස්’

හදිසියේම හාරිතගේ කුටියේ කවුළු විවර විය. කවුළුව අතරින් හනි හනිකට කඩා වැදුණු ඉර එළිය කුටිය පුරා දුවන්නට විය. හාරිත නිදා සිටි ඇඳ මතට උන් පැන්නේ හරිම අශීලාචාර ලෙසය. කිසිම අවසරයක් නැතිවය. හාරිත කළේ හැකි ඉක්මනින් මෙතෙක් වෙලා තමා පොරවා ගෙන සිටි රෙද්ද හිසේ සිට වැසෙන පරිදි නැවත තර කොට පොරවා ගැනීමය. ‘දැන් ඉර එළියට බැහැ මගේ නිදි බිඳින්න’ හාරිත තනිවම මතුළේය. ටික වේලාවකින් හාරිතගේ කකුල දිගේ සීතලට යමක් ඇදී යන බව දැණුනි. ‘සර්පයෙක්වත් ද?’ හාරිතට නින්ද නොනින්ද අතරේ සිත් විය. අනෙක් පයින් එයට දමා ගැසුව ද ටික වේලාවකින් දකුල් දෙකම හොදින් පිරිමදින්නාක් මෙන් ඒ සීතල දැනෙන්නට වූ නිසා ඔහු කළබලයෙන් ඇස් හැර බැලුවේය. තමා දුටු දෙයින් තවත් කළබල වුණු හාරිත හැකි ඉක්මනින් කකුල් දෙක තමා වෙතට ඇද ගත්තේය. ඔහුගේ ඇඳ අසල දණින් වැටී දිගාවී කකුල් දෙක අතගාමින් සිටියේ කෙල්ලකි.

(මතු සම්බන්ධයි)

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප