Skip to main content

දුෂ්ට-ෆෝබියාව සහ දුටුගැමුණු


සිංහලයාට දුටුගැමුණු මහරජතුමා තරම් වටිනා තවත් රජෙකු නැති තරම්ය. පොඩ්ඩක් ඒ ජාතික ආලේ පැත්තක තියලා ඓතිහාසික වාග්විද්‍යාවට අනුව ‘දුටුගැමුණු’ දෙස බලන්න කැමති නම් මෙය කියවන්න.

සිංහලයාට මොන තරම් ඉතිහාසයක් තිබුණත් ලිඛිත භාෂාව්‍යවහාරයක් හමු වන්නේ සිංහලප්‍රාකෘත යුගයේ සිටය. මෙය කාල වකවානුවක් වශයෙන් පූ.ව්‍ය.ව 3 වන සියවසේ සිට යයි සැලකිය හැකියි. මේ යුගයේ ලියැවුණු භාෂාව යට ගොස් නැවත පාලියුගයක් හිටි හැටියේ මතුවෙයි. සිංහලයෙන් ලියැවී තිබුණු අටුවා ආදි සියල්ල පාලියෙන් ලියන්නට පටන් ගැණුනේ මේ යුගයේදීය. මෙලෙස මහාවිහාරීය භික්ෂූන් පාලියෙන් ලියන්නට පටන් ගත්තේ විනය ශික්ෂාපදයක් වරදවා වටහා ගැනීම නිසාය. එක් අයෙකුගේ හෝ කීපදෙනෙකුගේ වැරදි වැටහීමක් නිසා සමස්ත ජාතියටම වන්දි ගෙවන්නට සිදුවීම සම්බන්ධයෙන් මෙය හොඳ උදාහරණයකි. කෙසේ වෙතත් වර්තමානයේදී අපට හමුවන සිංහල සාහිත්‍යය වනාහී මේ පාලි යුගයෙන් පසුව බිහි වූ එකකි. එහෙත් ඇත්තටම මෙහිදී බොහෝ විචාරකයන් අමතක කරන කරුණක් නම්, මෙම පාලියුගයට පෙර සිංහල ප්‍රාකෘත යුගයේදී අපට සංස්කෘත යුගයක් තිබුණු බවය. සිංහලයාගේ අතීත ශිෂ්ටාචාරයේ භාෂාමය බිහිදොර පාලි නොව සංස්කෘතය. දැනට ලංකාවෙන් හමු වී ඇති පැරණිම කෘති දෙක වන, බුද්ධදාස රජතුමා ලියූ වෛද්‍යසාරාර්ථසංග්‍රය ද කුමාරදාස රජතුමා ලියූ ජානකීහරණ මහාකාව්‍යයද සංස්කෘතය. හරි හැටි සාධක නැති නිසා මා මෙහිදී කියන්නට අකමැති වුවත් ඉන්දියානුවන් බොහෝමයක් පිළිගන්නා පරිදි රාවණාගේ භාෂාවද සංස්කෘතය.


මේ නිසා මුල් යුගයේ තිබුණු බොහෝ නම් ගම් සංස්කෘතයෙන්ම තිබුණු අතර එවා සිංහලප්‍රාකෘතයට පෙරළී පසුව පාලියුගයේදී නැවත පාලිභාෂාවට පෙරළිණි. මෙය ද්විත්ව පරිවර්තනයකි. මෙම ද්විත්ව පරිවර්තනයේදී අතීතයේ තිබූ බොහෝ නම් ගම් විකෘතිව ගියේය. ‘දුටුගැමුණු’ යන නමත් එසේය.

සංස්කෘතයේ එන දුෂ්ට, දෘෂ්ට සහ ධෘෂ්ට යන පදතුනම සිංහලප්‍රාකෘතයට පෙරළෙන්නේ ‘දුටු’ කියාය. මෙයින් ‘දෘෂ්ට’ යනු දැකපු යන තේරුමයි. ‘වළහා දුටු මල්ලී බිය විය’ යන වැකියේ ‘දුටු’ යන්න යෙදුණේ එසේය. මේ තේරුම මෙම නමට අදාළ නැත‍. ගැටලුව වන්නේ අනෙක් පද දෙකයි.

දුෂ්ට යන්න ද්විෂ් ධාතුවෙන් සෑදෙන අතීත කෘදන්ත පදයකි. එහි සැබෑ අරුත කෝපයට පත් යන්නයි. තරහ වූ, අමනාප වූ යන තේරුම් ද එහි ඇති. ගැමුණු රජතුමා තාත්තාට ස්ත්‍රී ආභරණ දී තාත්තා සමග අමනාප වූ නිසා ඔහුට මේ නම හට ගත්තේය යන්න බොහෝ වංසකතාවල එන ප්‍රවෘත්තියයි. මහාවංශයවත් ථූපවංසයවත් කාවන්තිස්ස රජතුමා තම පුතාට ‘දුෂ්ට’ යනුවෙන් ඇමතූ බවක් නොදක්වයි. එම කෘති දෙකම කියන්නේ මේ ක්‍රියාව නිසා ඔහුට මේ නම පට බැඳුණු බවයි. විශේෂයෙන්ම මේ පොත් දෙකම කියන්නේ ‘දුෂ්ට’ යන පදය අමනාප වූ යන අර්ථයෙන් මිසක අද අප භාවිත කරන්නා සේ ‘නපුරු, දුර්දාන්තගති ඇති’ යන අර්ථයකින් නොවන බව තරයේ සිහි තබා ගත යුතුය.

මේ තත්වය මෙසේ වුවද දුටුගැමුණු රජතුමාගේ සමස්ත ජීවිතය දෙස බැලූ විට ඔහුගේ නමට වඩා ගැළපෙන්නේ ‘ධෘෂ්ට’ යන යෙදුමය. එහි තේරුම ‘නිර්භීත’ යන්නයි. ‘ධෘෂ්ටග්‍රාමිණී’ හෙවත් නිර්භීත ග්‍රාමිණී යන්න සිංහල ප්‍රාකෘතයට බි‍ඳෙන විට දුටුගැමුණු යනුවෙන් බි‍ඳෙයි. එහෙත් පාලි පොත් ලියැවෙන කාලයේදී මුල් පදයේ අර්ථය නොදැන දුටුගැමුණු යන්න හුදෙක් පදවල ශබ්දඝටනාව දෙස බලා පාලියට පෙරළීම නිසා ‘දුට්ඨගාමිණී’ යනුවෙන් පෙරළීමත් එයම නූතන උගතුන් විසින් දුෂ්ට ගාමිණි ලෙස පෙරළීමත් නිසා අවුල් වියවුල් රාශියක් ඇති වී ඇත.

මේ වගේම තවත් උදාහරණයක් දියැ හැක. ‘වළගම්බා’ යන සිංහලපදයේ තේරුම මෙසේය. වළ - කැලය, ගම් - ගිය, බා - බාහු හෝ ශක්තිය. ඒ අනුව, වළගම්බා යයි කීවේ කැලෑවට වැදුණු ශක්තිය යන්නයි. එහෙත් මේ සමස්ත තේරුම පසෙක ලා ‘වට්ටගාමිණී අභය’ යනුවෙන් එය පාලියට පෙරළා ඇත්තේ සිංහල නොදන්න ඉන්දියාවෙන් ආ පාලි උගත් හාමුදුරුවරුන් විසින්ය.

මේ වාග්විද්‍යාත්මක පසුබිම ගැන නොදන්නා නිසා අපේ සිංහලයන්ට තිබුණු ලොකුම ගැටලුව නම් ගැමුණු මහරජතුමාට ‘දුෂ්ට’ කියා ඇමතීමය. මේ නිසා, මෙය අකා මකා යන්න විවිධ කතාන්දර ගොතා ඇත. එකක් නම් ‘දුටු’ යන්න ජ්‍යේෂ්ඨ යන්නෙන් බිඳුණු බව දැක්වීමය. අනෙක් ලොකුම විහිළුව නම් මේ ‘දුෂ්ට’ කතාව එළාර විසින් පතුරුවා හළ කතාවක් බව කියමින් වෙනම කතාවත් ගෙතීමය. ජයන්ත චන්ද්‍රසිරි, චරිත් අබේසිංහ ආදීන් පවා මේ දුෂ්ට-ෆෝබියාවට හසු වී එළාර පිට පටවමින් ‘දුටුගැමුණු බේරා ගැනීමට’ වෑයම් කළ අයය.
අපි වාග්විද්‍යාව පැත්තකට දාලා සාමාන්‍ය බුද්ධියෙන් හිතමු. වැව්බැම්මට තියා හිටුවා-පස් ගස්වා තම පියාව මරා දමාපු කාශ්‍යපට ‘දුෂ්ට’ කියා නොකී සිංහලයා එළාරගේ උගුලකට හසු වී රට එක් සේසත් කළ මහසෑය බැඳවූ ගැමුණු මහරජතුමාට සියවස් ගණනාවක් යන තුරුම දුෂ්ට කියන තේරුමෙන් දුටුගැමුණු කියා කීවා නම්, මේ රටේ එදා මෙදා තුර ජීවත්ව සිට ඇත්තේ සිංහලයන් නොව බත් කන ‍කේප්ප වස්සෝය.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...