Skip to main content

ජීවිතය මේය'යි කියා දුන් ආච්චි අම්මා ඇයය

සිංහලෙන් හිතපු දෙමළෙන් කතා කරපු
රෙද්දයි හැට්ටෙයි ඇඳපු
ඇම්.ජී.ආර්ට පෙම් කරපු
ආච්චි අම්මා ඇයය.

යාපනයේදී මල්වර වී
දෙමළ කොල්ලෙකුට බහදුන් වරදට
සිංහල අයියා කොළඹට එක්කං ආ
ආච්චි අම්මා ඇයය.

මැරයෙකුට පෙම් කොට ගැබ්බර වී
බොරැල්ලේ හැටේ වත්තට සෙට් වුණ
කාසල් එකේ ටෙම්පරියක් කළ
ආච්චි අම්මා ඇයය.



මිනිහ මැරිල තනි වුණාම
පුංචි කිරිසප්පයෙකුත් එක්ක
හාබර් එකේ මුට්ටා ඇදපු
ඇක්මන්ට ගෙයි දොර ඇරපු
ආච්චි අම්මා ඇයය.

ඇක්මන්ගේ අනෙක් ගෑනිට
හම්බ වුණ කොලු පැටියාව විකුණන්ට යන කොට
“දීපං ඔය දරුවාව මං හදා ගන්නං” කී
ආච්චි අම්මා ඇයය.

අප්පෙකු නැතිව දරුවෙකු වදා‍
කාසල් එකේ ඇඳක් උඩ ළතැවෙන එකියක්
දරු පැටියාව විසි කරන්න මඟක් හොයද්දී
“දීපං ඔය දරුවාව මං හදා ගන්නං” කියා
මගේ අම්මාවත් අරං හදා ගත්
ආච්චි අම්මා ඇයය.

ඉඳල හිටල
මාස ගණන් අවුරුදු ගණන්
ඇක්මන් අතුරුදන් වුණාම
දරුපැටියන් පස් දෙනෙකුගෙ කට වහන්න,
බැඳ ‍ගෙන රෙදි තලප්පාව ඔළුව සිසාරා තර කොට
කොන්ක්‍රීට් තාච්චි එහෙ මෙහෙ කොට,
ඉන් ලැබෙන තුට්ටුවෙන්
ඉරට කලින් දුවගෙන ගොස් මරිය කඩේ පෝලිමෙ ඉඳ
ගෙනා මාළු
වට්ටියේ අඩුක්කරං ගම වටේට කරක් ගහපු
ආච්චි අම්මා ඇයය.

ඉන්න හිටින්නට බැරි වෙන කොට
හැටේ වත්තේ
දරු පැටවුන් දොක්කා ගෙන
ඉද්ද කැලේ වල් කොටලා
තනියම පොඩි පැළක් හදා
ඇක්මන්ටත් ඉන්ට දීපු
ආච්චි අම්මා ඇයය.

ඇක්මන් නැති ඉනවු බලා
චණ්ඩි ඇවිත් ගේ වට කොට පිහි පෙන්නා
“කවුද හුත්තො අපෙන් අහන්නැතිව මේ කැලේ ගෙවල් හැදුවේ” කියද්දී
මාළු මන්නෙ අතට අරන්
“මිනිහා නැති වෙලාවට ගෑනුන්ට හයිරන් පෙන්නන
පොන්නයා කවුද” කියා
චීත්තයත් උස්සාගෙන මිදුලට පැන
බීඩි බිබී
මන්නේ වනපු
ආච්චි අම්මා ඇයය.

මගේ අම්මට මාව දමා වෙන දීගෙක යන්ට වෙද්දී
“කොලු පැටියාව මට දීපං” කියා
මාව අරං හදා ගත්තු
ආච්චි අම්මා ඇයය.

යාන්තං බහ තෝරා ගෙන
‘අම්මා’ කියා මා කියද්දී
අම්මා ලෙසින් මා ළඟ සිටි
ආච්චි අම්මා ඇයය.

ගමේ හිටය එකම දොස්තර මහත්තයාව
ජේ.වී.පී එකෙන් මරා දමා
ටයර් ගොඩක පිච්චෙන කොට
මාවත් කිහිල්ලේ දොක්කා ගෙන
බාගෙට පිච්චෙන මිනිය දෙස බලා සිටි
ආච්චි අම්මා ඇයය.

කටුනායක මහන්න ගිය
ගෙදර හිටිය ලොකුම හයිය
ලොකු පුංචි
පැනල ගියාම කොල්ලෙකු එක්ක
මටම කියා ගෙන්නා ගත්
බූමිතෙල් කෑන් එකම
මං ඉස්සරහම ඇ‍ඟේ හලා ගෙන
ගිනි තියා ගන්නට ගිය
ආච්චි අම්මා ඇයය.

ඇස් ගෙඩි දෙක කළු වෙනකම්
ලිපට පිඹලා දුම් කා ගෙන
කඩයප්පං ලැවරිය පුච්චා
ඉස්කෝලෙට මාව යවපු
මඟුල් ගෙවල උයලා
ලැබෙන කෑම මට ගෙන දී
තළු මර මර මං කද්දී
ඒක දිහා හිනා වෙවී බලා හිටපු
පළමු දෙවන පන්තියේ
වළං පිගන් හෝදාලා
ඔවුන් දීපු පරණ ඇඳුම්
මට ගෙනවිත් අන්දාලා හැඩ බලපු
ආච්චි අම්මා ඇයය.

මට සරසවි වරම් ලැබී
ඒ බව කීමට ආ දා
දෑස පියා ගෙන සිටි,
ඒ වන විටත් මා කැඳවා
ජීවිතයේ සරසවියට
ජීවිතයේ පොත පෙරළා
සියලු අකුරු මට කියවූ
අකුරු නූගත්
ආච්චි අම්මා ඇයය.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...