Skip to main content

ථේරවාදී භික්ෂු කතිකාවත් පනත - මෙන්න ඇත්ත

(අදහස් පළකිරීමට පෙර සියල්ල කියවා බලන්න.)

*භික්ෂූන් වහන්සේලාව පාලනය කරන්න ආණ්ඩුවෙන් නීති හදලා පනතක් ගෙනා බව ඇත්තක් ද?

මේක පට්ටපල් බොරුවක්. ඇත්ත සිදුවීම සම්පූර්ණයෙන් විකෘති කර මාධ්‍ය ආයතනවලින් ප්‍රචාරය කිරීම නිසා තමයි මෙහෙම ‘ගෝනිබිල්ලෙක්’ සමාජය තුළ බිහි වී ඇත්‍‍තේ. පනතේ නම දැක්වෙන්නේ “ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා වූ පනතකි” යනුවෙනි. එයින් කෙරෙන කාර්යය පනතේ 2. (අ), (ආ), (ඇ) දැක්වෙන පරිදි සරල සිංහලෙන් කීවොත් මෙහෙමය.

භික්ෂූන්වහන්සේ නමක් විසින් නොපිරිහෙළා ඉටු කළ යුතු කාර්යයන් සහ අනුගමනය කළ යුතු හැසිරීම් මොනවාද කියා නියමිත කරන ලද ‘කතිකාවතක්’ ඒ ඒ බෞද්ධ නිකායන් විසින් සහ පාර්ශ්ව විසින් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ නිකායේ භික්ෂූන්වහන්සේලා, අපේ පාර්ශ්වයේ භික්ෂූන්වහන්සේලා මේ මේ විදිහටයි ක්‍රියා කළ යුත්තේ කියා තමන්ගේ නිකායට, පාර්ශ්වයට ආවේණික නීති පද්ධතියක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ හදාගත් නීති පද්ධතිය (එනම් කතිකාවත) බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට නීතිමය බලයක් ලැබෙනවා. ඉතින් මේ හදාගන්න කතිකාවතට



1. අනුගමනය කළ යුතු නීතිරීති

2. ඒවා කඩ ක‍ළොතින් ඒ ගැන සොයා බලන විදිහ

3. ඒවා කඩ කළ බව තහවුරු කර ගත්තොත් දෙන දඬුවම් ආදී සියල්ල ඇතුළත් ‍වෙන්න ඕනේ.

මේ සියල්ල කරන්නේ ඒ ඒ නිකායේ හෝ පාර්ශ්වයේ හාමුදුරුවරු තමයි. නැතිව ගිහියන් හෝ රජය හෝ නෙවෙයි. රජය කරන්නේ ඒ හදාගන්නා නීතිවලට නිල බලයක් ලබා දීම විතරයි.

*එතකොට අර භූතවිද්‍යා කරන්ඩ දෙන්නේ නැහැයි අරකයි මේකයි කියන කතාව මොකද්ද?

එතන තියෙන්නේ ජනමාධ්‍ය සහ ලැබෙන හැම අවස්ථාවෙන්ම දේශපාලන වාසි ගන්න බලන මන්ද බුද්ධිකයන් හැදූ බිල්ලෙක් විතරයි. ඇත්ත මෙහෙමයි.

පනතේ 3. (අ), (ආ), (ඇ), (ඈ) සහ (ඉ) යටතේ පෙන්වා දෙනවා ගුප්තවිද්‍යා කටයුතු කිරීම, වෙළෙඳාම් කිරීම, වාහන පැදවීම, අධ්‍යාපන හෝ සමාජසේවා නොවන වෙනත් රැකියා කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල අ‍කැප අයුරින් හැසිරීම වැනි වර්තමානයේ භික්ෂූන්වහන්සේ සිදු කරන ප්‍රධාන වැරදි සහගත ක්‍රියාවන් වළක්වා ගැනීමට “අදාළ විධිවිධාන ද ඇතුළත් කළ හැකිය” කියා විග්‍රහයක්. මේ ඇතුළත් කරන්න කියන්නේ අර මා මුලින් කී කතිකාවත්වලට. අනෙක මෙතනදී රජය කියන්නේ ‘හැකිය’ කියා මිස ‘යුතුය’ කියා නෙවේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ රජය පාර්ශ්වයෙන් ගෙනෙන ‍යෝජනා කීපයක්. මං මුලින්ම කීවා වගේ මේ කතිකාවත් හදන්නේ හාමුදුරුවරු. එතකොට මේ යෝජනා ඒවාට ඇතුළත් කර ගන්න පුළුවන්. අන්න එතනදී ‘ගුප්ත විද්‍යා’ කියන්නේ මොනවා ද? කළ යුතු නොකළ යුතු රැකියා මොනවා ද? අකැප හැසිරීම කියන්නේ මොකද්ද? ආදී වශයෙන් ඉතා නිරවුල් ලෙස කතිකාවත හදා ගැනී‍මේ අයිතියත් හැකියාවත් හාමුදුරුවරුන්ට තියෙනවා. ඕනේ නම් මේ යෝජනා නොසලකා හරින්නත් ඒ අයට පුළුවන්. මොකද පනතින් එහෙම බලකිරීමක් කරලා නැහැ.

*එතකොට අර දඬුවම් කතාව?

ඒකත් රජයෙන් කරන යෝජනාවක් විතරයි. පනතේ පැහැදිලිව තියෙන්නේ “පහත සඳහන් දඬුවම් ඇතුළත් කළ හැකිය” කියා. එහෙම නැතිව ‘ඇතුළත් කළ යුතුයි’ කියා කියන්නේ නැහැ.

මේකට හේතුවක් තියෙනවා. දැන් විනය නීති කඩ කළාම දිය යුතු දඬුවම් බුදුහාමුදුරුවන් දේශනා කර ති‍යෙනවා. නමුත් බුද්ධකාලයේ විහාරධිපතිකම්, භික්ෂූන්වහන්සේලාව ලියාපදිංචි කිරීම් වගේ දේවල් තිබුණේ නැහැ නේ. ඒ නිසා තමයි පනත විශේෂයෙන් යෝජනා කරන්නේ විහාරස්ථානයෙන් ඉවත් කිරීම, භික්ෂු ලියාපදිංචිය අහෝසි කිරීම වැනි දේ දඬුවම් වශයෙන් යොදා ගන්න කියා. එහෙම වෙන්නේ බුදුහාමුදුරුවන් දීපු දඬුවම්වලට අතිරේක වශයෙන්..

*එතකොට අර හාමුදුරු කෙනෙකු වරදක් කළාම දඬුවම් දෙන්න විනිශ්චය මණ්ඩලක් පත් කරනවා ය ඒකේ ගිහි දෙන්නෙකුත් ඉන්නවා ය කියන කතාව ඇත්ත ද?


මේක සම්පූර්ණයෙන්ම දිරච්ච ලණුවක්. පනතේ ඔය කාරණය සඳහන් වෙන්නේ 5 (ආ) යටතේ. අදාළ කාරණය තේරෙන සිංහලයෙන් කියනවා නම් මෙහෙමයි.

දැන් මං මුලින් කී විදිහට හාමුදුරුවරු තමන්ගේ නිකාය වෙනුවෙන් හෝ පාර්ශ්වය වෙනුවෙන් කතිකාවතක් හදා ගන්නවා යැයි කියමුකෝ. ඉතිං මේකට නීතිමය බලයක් දෙනවා කියන්නේ රටේ පවතින නීතියට අමතර තව නීතියක් ක්‍රියාත්මක වීමක් නේ. මේ නිසා තමයි පනත ලියාපදිංචි කරන්න කියන්නේ. ඓහම ලියාපදිංචි කිරීමේ දී කරණු දෙකක් හොයා බලනවා.

1. මේ කතිකාවතට ඇතුළත් කරන නීති දැනටමත් මේ රටේ තියෙන සිවිල් නීති, දණ්ඩ නීති වගේ ඒවා සමග පරස්පර විරෝධීතාවන් පෙන්වනවා ද කියා සොයා බලන්න ඕනේ. එහෙම වුණොත් ඒක ශාසනික ප්‍රශ්නයක් නෙවේ ජාතික ප්‍රශ්නයක්. ඒ කියන්නේ හාමුදුරු කෙනෙක් ස්ත්‍රියක් දූෂණය කළෝතින් ඔහුට විරුද්ධව ශාසනික වශයෙන් විතරක් ක්‍රියා කරලා නිදහස් කරන්න බැහැ. ඒ සඳහා සිවිල් නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි. එහෙම දේවල් වළක්වන්න කතිකාවත් හදන්න බැහැ නේ.

2. මේ හදන කතිකාවත් දැනටමත් බුදුහාමුදුරුවන් පනවලා තියෙන විනය පිටකාදියේ තියෙන නීතිවලට පටහැනි වෙන්නත් බැහැ. එහෙම වුණොත් එතන ශාසනය විනාශ වීමක් වෙනවා නේ, ඒ නිසා.

ඉතිං යම් කතිකාවතක් ලියාපදිංචියට බාර දුන්නාම කිසියම් මණ්ඩලයකට දීලා එහි මේ ලක්ෂණ දෙක ගැන සොයා බලනවා. මේ කාරණා දෙකින් පළමුවැනි එක කරන්න හාමුදුරු කෙනෙකුට බැහැනේ. ඒක කරන්න ඕනේ දක්ෂ නීතිඥයෙකු විසින්. ඉතිං ඒ සඳහා නීතිඥයන් දෙන්නෙකු යොදා ගන්නවා. පනත පැහැදිලිවම පෙන්වලා තියෙනවා මේ ගන්න නීතිඥයන් දෙන්නා නීතිය ගැන පමණක් නෙවේ, බුදුදහම ගැනත් හොඳට දන්න දෙන්නෙක් වෙන්න ඕනේ කියලා. දෙවන කාරණය ගැන හොයා බලන්න පත් කර ගන්නේ විනය පිළිබඳ දන්න හාමුදුරුවරු තුන්දෙනෙක්. ඉතින් මේ පස් දෙනාගෙන් යුත් මණ්ඩලයක් විසින් විමසා බැලුවාට පසුව තමයි පනත ලියාපදිංචි වෙන්නේ.

මේ හැර හාමුදුරුවරු කරන වැරදි ගැන සොයා බලන විදිහත්, දඬුවම් දෙන විදිහත් තීරණය කරන්න ඕ‍නේ තම තම නිකාය හෝ පාර්ශ්වය විසින්ම තමා. රජය ඒවාට මැදිහත් වෙන්නේ නැහැ. රජය මැදිහත් වෙන්නේ හාමුදුරු කෙනෙක් වරදක් කරලා එයට ශාසනික වශයෙන් දඬුවමකුත් දීලා ඒත් ඒ දඬුවම පිළිගන්නේ නැතිව ඉන්නවා නම් පමණයි. ඉන් අනතුරුව එහෙම කරන භික්ෂුවට මේ පනත උල්ලංඝනයා කළා කියා සිවිල් නීතියෙන් දඬුවම් දුන්නැහැකි. ඉතං ඒක හරිනේ. නායක හාමුදුරුවරු, අධිකරණ සංඝනායකවරු කියන දේ පිළිගන්නේ නැතිනම් මහේස්ත්‍රාත් උසාවියකින් දඬුවම් දෙන්න වෙනවා.

*මේ කියන කාරණා ඇත්තනම් ඇයි මේ තරම් පිරිසක් මේකට විරුද්ධ වෙන්නේ?

ඒකට හේතු දෙකක් තියෙනවා. පළමු කාරණය නම් බුද්ධශාසන අමාත්‍යාංශයට ගිහිං රු. 8ක් වියදම් කරලා මේ පනත අරන් කියවන්න බැරි කම. රු.8ක් කියන්නේ සෑහෙන්න ලොකු ගාණක් නේ. දෙවන කාරණය නම්, ලැබෙන සෑම අවස්ථාවකින්ම දේශපාලන වාසියක් අරගෙන තමන්ගේ පිල ශක්තිමත් කර ගන්න බලන අවස්ථාවාදයයි. වෙන කිසිවක් මෙතන නැහැ.

*ඉතිං ඔබ මේ පනතට විරුද්ධ නැද්ද?

අනේ මං විරුද්ධයි. මං විරුද්ධ වෙන්නේ ඔය උඩ දැක්වූ සිල්ලර කාරණා නිසා නෙවේ. මං මේ පනතේ විශාල අනතුරක් දකිනවා.

දැන් හිතන්න, දැනට අපේ රටේ නිකාය, පාර්ශ්ව බෙදිලා වෙන්වෙලා තියෙන්නේ පොඩි පොඩි කාරණා කීපයක් ගැන නිල නොවන වශයෙන් ඇති කර ගත් විවාද නිසා. හිසකේස් සහ රවුල සමග ඇහි බැමත් කැපිය යුතු ද? පිඟානේ දානේ වැළඳීම හොඳ ද? ගමට වඩින භික්ෂුව සිවුර පොරවන විට ඒකාංශ කර පෙරවීම කැප ද? ගහක කොළයක් වෙනුවට කුඩයක් භාවිත කිරීම හොඳ ද? වගේ පොඩි ‍පොඩි කාරණා තමයි එතන ති‍යෙන්නේ. නමුත් මේ පනතේ කියන විදිහට ඒ ඒ නිකායන් විසින් හෝ පාර්ශ්ව විසින් වෙන වෙනම කතිකාවත් හදාගෙන ඒවා නීතිමය ලෙස බලාත්මක කර ගත්තාම මේ ශාසනයේ තියෙන මේ බෙදීම් සියල්ල ස්ථිර වෙනවා. අයේ මේ සම්මජ්ජාතියට මේ ශාසනය එකතු කරන්න බැරි වෙනවා. ඉතිං ඒක ශාසනයේ ඉදිරි පැවැත්මට හොඳ නැහැ.

*එහෙනම් ඔබ කියන්නේ අප කුමක් කළ යුතුයි කියා ද?

මං නම් කියන්නේ මේකයි. මේ ලැබුණු අවස්ථාව අප ශාපයක් කර ගන්න ඕනේ නැහැ. අපි මේක ආශිර්වාදයක් කර ගමු. අපි හැමෝම එකතු වෙලා රජයට කියමු, මේ ‍විදිහට වෙන වෙනම කතිකාවත් හදන්නේ නැතිව, හැම නිකායෙන්ම හැම පාර්ශ්වයෙන්ම යෝජනා එකතු කරලා ඒවා විමර්ශනය කරලා මුළු ශාසනයටම ගැළපෙන එක කතිකාවතක් හදන්න කියා. ඊට පස්සේ ඒක බලාත්මක කරලා ක්‍රියාත්මක කරන්න කියමු. එතකොට මේ ශාසනය හොඳින් ශක්තිමත් වෙනවා.

මං කවදාවත් මේ ශාසනය විනාශ කරන්න එක වචනයක් වත් ලියලා නැහැ. දැනුත් නැහැ, මතුවට මගේ අතින් එහෙම දෙයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මං කියන්නේ මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගමු. ශාසනය සමගි සම්පන්න කරලා ඉතා ශක්තිමත් කතිකාවතක් හදමු.

බර්ට්‍රම් ජී. ලියනගේ

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප