Skip to main content

ආදරණීය දුවේ....

අද උඹ පාසලට යන පළමු දවස. පාසලට යන්න කලින් උඹට කියා දෙන්න බොහෝ දේ මගේ හිතේ හිර කර ගෙන හිටියත්, මා දන්නවා ඒවා කියා දුන්නාට උඹට තේරෙන්නේ නැත. උඹ තාම පුංචියි. ඒත් කවදා හෝ දවසක උඹ මේක කියවාවි කියා සිතා මම මෙය ලියමි. මා දන්නවා දුවේ, දුව‍ගේ තාත්තා ලින්කන්වත්, මැන්ඩලාවත්, නේරුවත් නෙවේ. ඒ නිසා අනාගතයේ දවසක උඹ ලින්කන්, මැන්ඩලා, හෝ නේරු ලියූ දේ කියවන තරම් රසවත්ව මා ලියන දේ නොකියවා සිටින්නට ඉඩ ඇත. නමුත් අද මා සිතේ තෙරපෙන සිතුවිලි මෙසේ ලියා තැබුවේ නැති නම්, මට මහත් පීඩාවක් මෙන් දැනේවි. ඒනිසයි මා මෙය ලියා තබන්නේ.

එකෝමත් එක කාලෙක දූගේ තාත්තා පාසලේ ඉ‍ගෙන ගන්න අවදියේ අපට ගුරුවරු කියා දුන්නේ මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය කාරණා හතරක් තියෙනවා කියාය. ඒවා නම් ආහාර, ඇදුම්, වාසස්ථාන සහ බෙහෙත් යන හතරය. නමුත් දුවේ, මේ කාරණා හතර පමණක් තිබී ජීවත් වෙන්න පුළුවන් වුණේ දැනට ශතවර්ෂ ගාණකට ‍පෙර ජීවත් වූ මිනිසාටය. අද මේ හතරට තවත් එකක් එකතු විය යුතුය. ඒ නම් ‘දැනුම’යි. කුකුල් පැටියෙකුට බිම පහුරු ගා පණුවන් කන හැටි උගන්වන්න ඕනෑ නැත. අලිපැටියෙකුට උපන් හැටියේ ඇවිදින්නට උගන්වන්න ඕනෑ නැත. නමුත් මිනිහෙකු මේ ලෝකෙට ඉප‍දෙන්නේ උගේ පැවැත්මට අවශ්‍ය කරන කිසි දෙයක් ගැන කිසිම දැනුමකින් ‍තොරවය. මේ නිසා දෙපයින් සිට ගෙන ඇවිදින්නට ඉගෙන ගන්නා තැන සිට ආචාර්ය උපාධියක් ගන්නා තැනටත් එයින් එහාට ජීවිතයේ පරමනිෂ්ඨාවක් සොයා ගන්නා තැනටත් යාමට මිනිසාට ඉගෙන ගන්න සිදුවේ. එසේ ඉගෙනීමෙන් උඹ ලබන්නේ දැනුමය. ඒ දැනුම නැතිව ජීවත් වන්නට උත්සාහ කිරීම මිහිපිට අපා දුක් විඳීමට සැරසීමක් බඳුය. මා එසේ කියන්නේ මේ නිසාය. දූගේ තාත්තා, වතාවක් තේ‍කොළ ඇසුරුම් කර්මාන්තශාලාවක පෙට්ටි අදින සාමාන්‍ය කම්කරුවෙකු ලෙස වැඩ කළේය. එතන මාත් එක්ක පෙට්ටි කර ගහන්න හිටි බොහෝ අය ජීවිතේ කවදාවත් පාසල් නොගිය අයය: සමහරු දෙක තුන වගේ පන්ති කීපයකට පමණක් ගිය අයය. එතන හිටිය ‘කළමනාකරු’ කියන කෙනා ඉගෙන ගත්තු කෙනෙක් වෙන්න ඇති. ඔහු ඉතා අමානුෂික ලෙස අපව මරෝ මරෝ වැඩ ගත්තේය. හැබැයි දවස තිස්සේම මහන්සි වුණාට හවසට දුන්නේ රු.100ක් 150ක් වැනි මුදලකි. එම මුදල ඒ දවස්වල කිරිපිටි පැකැට්ටුවක් මිලදී ගන්නවත් ප්‍රමාණවත් වුණේ නැත. මේ සියල්ලත් කමක් නැහැ කියමුකෝ. මට එතන දරා ගන්නම බැරි වූ ‍දේ නම් අර කළමනාකරු කියන කෙනා එතන සිටි ‍අප වගේ කම්කරුවන්ට කතා කළ විදිහය. ඔහු නිතරම මිනිසුන් ඇමතුවේ තිත්ත කුණුහරුපයෙනි. ඒ මිනිස්සු හදවතින් මැරි මැරි අර තැනැත්තාට ශාප කර කර වැඩ කළහ. ඒ මිනිසුන් එදා නිතර නිතර මතුරපු කාරණයක් තිබුණි. ‘අනේ අපත් ටිකක් ඉගෙන ගත්තානම්’ යනු ඒ කාරණය. ඒ නිසා දුවේ, උඹ මුලින්ම තේරුම් ගන්නට උවමනා දේ නම් ‘දැනුම’ උපයා ගැනීම ජීවිතයට අතිරේක කාරණයක් නෙවේ, ජීවිතයේ පැවැත්මට ආහාර, ඇඳුම් ආදිය මෙන්ම අත්‍යවශ්‍ය කාරණයක් බවය. හැබැයි උඹ ඒ දැනුම උපයා ගන්නට අවශ්‍ය අර ‘කළමනාකරු’ වගේ වීමට නොවේය. ඇත්තටම දුවේ, අද මා හොඳින්ම වටහා ගෙන සිටින පරිදි එතන සිටි නූගත්ම තැනැත්තා කළමනාකරුය. ඊට වඩා බොහෝ දේ උගත් අය එදා මා සමග රු.150ට පෙට්ටි ඇදපු අය අතර සිටියහ. බෝක්කුවක් උඩට රැස්වී කහට වීදුරවක් බොන ගමන් බීඩියක් උරන ගමන් අප කතා කළ දේ තුළින් මම එය අවබෝධ කර ගෙන සිටියෙමි. පවතින අධ්‍යාපනයෙන් ලබන දැනුම වහලුන් සහ වහල් හිමියන් බිහි කරන බව ද මා දැන ගත්තේ එදාය. කණගාටුවෙන් මෙන් කිවයුතු දෙයක් ඇත. අද උඹ ඇතුල් වෙන්නේ එකී අධ්‍යාපනයම ලැබීමටය. ඒ නිසා උඹ දැනුම ලබන ගමන්ම වහල්හිමියෙකු නොවී සිටින්නේ කෙසේද කියාත් ඉගෙන ගන්න.

වරක් ෆිදෙල් කැස්ත්‍රෝ රෝගාතුරව සිටි අවස්ථාවක ඇමරිකාව ඇතුළු ධනපතිවාදී මාධ්‍යයෙන් ලෝකය වටා ප්‍රචාරයක් ගෙන ගියේය. ඔවුන් කීවේ කැස්ත්‍රෝ පාර්කින්සන් රෝගයෙන් පෙළෙන බවත් තව ටික කලකින් මිය යන බවත්ය. ඔවුන්ට ඇත්තටම ඕනේ වුණේ කැස්ත්‍රෝගේ මරණයෙන් පසුව කියුබාවේ සමාජවාදය බිඳවැටෙන බව අනෙක් රටවලට ඒත්තු ගැන්වීමටය. නමුත් රෝහලෙන් පැමිණි කැස්ත්‍රෝ වැදගත් කතාවක් කළේය. තමන් අද මිය ගියත් හෙට මේ කියුබාව බාර ගන්න කැස්ත්‍රෝලා සිය දහස් ගාණක් මේ කියුබාවේ සිටින බව ඔහු තමාගේ කතාවෙන් කීවේය. එය තමා දුවේ අධ්‍යාපනයේ ප්‍රාතිහාර්යය. කියුබාවේ අධ්‍යාපනය තුළින් බිහි කරන්නේ කියුබාට අවශ්‍ය පුරවැසියන්ය. නමුත් අවාසනාවකට වගේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ දින සිට අද දක්වා ක්‍රියාත්මක වන අපේ රටේ අධ්‍යාපනයෙන් බිහි කරන්නේ කුමන ආකාරයේ පුරවැසියෙකු ද යන්න නිශ්චිත නැත. අපේ රටේ අධ්‍යාපන බලධාරියෙකුගෙන් ඇහුවොත් කුමක්ද මේ අධ්‍යාපනයේ අරමුණ කියා, ඒ සඳහා ඔවුනට පෙරසූදානම් කළ පිළිතුරක් ඇත. එනම්, ‘පූර්ණ පෞරුෂවර්ධනයක් ඇති පුද්ගලයෙකු බිහිකිරීම හා රටට ඵලදායී පුරවැසියන් බිහි කිරීමයි’. ඇත්තටම මේ කාරණා දෙකම බොරුය. පූර්ණපෞරුෂය කියන්නේ කුමක් ද? ඒ ගැන දහ දෙනෙකුට අර්ථකථන දහයක් ඉදිරිපත් කළ හැක. අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ ජාතික අධ්‍යාපන ආයතනයට ඒ සඳහා යම් අර්ථකථනයක් තිබිය හැක. නමුත් ඒ අයගේ අර්ථකථනය වඩාත්ම නිවැරදි යැයි අප පිළිගත යුත්තේ ඇයි? අනෙක ඒහෙම අර්ථකථයන් දෙන අයට පූර්ණපෞරුෂයක් තියෙනවා ද? මේ වචනය තනිකරම සීතාම්බරපටසළුව වගේ ජනතාව ගොනාට අන්දන්න ගෙනා පිළිතුරකි. අනෙක් අතට ගත්තාම රටට ඵලදායී පුරවැසියා කියන්නේ කවුද? මා මෙයට පෙරත් කී පරිදි වහල්හිමි මානසිකත්වයෙන් පීඩා විඳින නරුමයන් බිහි කිරීම රටට ඵලදායී පුරවැසියන් බිහි කිරීම ද? ඒ නිසා මා මෙය පැහැදිලිව ලියා තැබිය යුතුමය. අපේ අධ්‍යාපනයෙන් බිහි කරන පුරවැසියාව අපේ රටට නම් කොහෙත්ම වැඩක් නැත. ඇතැම් විට ඌව වටින්නේ ඇමරිකාවට හෝ යුරෝපා රටකටය. එහෙම නැතිනම් ඉන්දියාවට ය. ඒ නිසා දු‍වේ, පවතින අධ්‍යාපන රාමුව තුළ ඉගෙන ගන්නා අතර උඹට එක් අභියෝගයක් ඇත. එනම් රටට ඵලදායී පුරවැසියෙකු වීමය.

නිදහස් අධ්‍යාපනය ගැන මතක් කළ නිසා ඒ ගැනත් යමක් කියා දිය යුතුය. අද සිට උඹ බුක්ති විඳින්නේත් ඒ නිදහස් අධ්‍යාපනයම නිසා බැවින් මේ ටික දැන ගත යුතුමය. අපේ රටේ අද කවුරුත් කියන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා කන්නංගර මැතිතුමා කියාය. මේක සම්පූර්ණ ඇත්ත නෙවේ. නිදහස් අධ්‍යාපන පනත රාජ්‍යමන්ත්‍රණසභාවට ගෙනාවේ එතුමාය. එහෙත් එම පනත සම්මත වූ මොහොතේ, එවක යාපනයේ කයිට්ස් ප්‍රදේශය නි‍යෝජනය කරමින් රාජ්‍යමන්ත්‍රණසභාවට පැමිණ සිටි නල්ලයියා නම් ද්‍රවිඩ මන්ත්‍රීවරයා කළ කතාවෙන් පෙන්වා දුන්නේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වීම මේ රටේ භික්ෂූන්වහන්සේ ලද ජයග්‍රහණයක් ලෙසය. ඇත්තම කතාව එයය. පනතක් ලෙස පාර්ලිමේන්තුවට එය ගෙනාවත් ඒ පිටුපස සිට කන්නංගර මැතිතුමාව එතනට යොමු කළේ මේ රටේ බෞද්ධ භික්ෂූන්වහන්සේය. මේ රටේ දුප්පත් අම්මාගේ, තාත්තාගේ දරුවන් ඉගෙන ගෙන උගතුන් වෙනවාට මේ රටේ රදළ පැලැන්තිය කැමති වූණේ නැහැ. ඒ අය කන්නංගර මැතිතුමාගේ යෝජනාවට සෑහෙන අකුල් හෙළුවා. ඒ වෙලාවේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, බඹරැන්දේ සිරි සීවලී, වල්පොල රාහුල, කළල්ඇල්ලේ ආනන්සාගර (සාගර පළන්සූරිය) වැනි හාමුදුරුවරු පාරට බැහැලැ පෙළපාලි ගිහින් ජනතාව දැනුම්වත් කරලා රටේ ඒ පිළිබඳව විශාල මතයක් ගොඩ නැඟුවා. ඊට පස්සේ තමයි කන්නංගර මහතාට පුළුවන් වෙන්නේ ඒ පනත මන්ත්‍රණසභාවට ගේන්න. ඒ නිසා දුවේ, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා අතර තමා ලබන ජයග්‍රහණවලින් මේ රටේ සම්බුද්ධශාසනය රැක ගැනීමට යමක් කළ යුතුයි යන්නත් සිහි තබා ගත යුතුය.

අද අපේ සමහරු සිතා සිටින්නේ ‘අධ්‍යාපනය’ යනු පන්තිමාරු කිරීමේ ඉනිමඟක් කියාය. තු‍නේ පන්තියේ උපන් පුද්ගලයාට දෙකේ පන්තියට හෝ පළමු පන්තියට පැන ගැනීමට අධ්‍යාපනය පිටිවහලක් වේ. කෙසේ ද යත්, හොඳට ‍ඉගෙන ගෙන හොඳ රැකියවක් කොට යහමින් මුදල් ඉපයීම තුළිනි. මෙය ඇත්තෙන්ම සාත්‍රේ කියන්නාක් මෙන් අශ්වයාට කැරට් අලයක් බැඳීමේ ක්‍රියාවට සමානය. පුරාණ ප්‍රංශජාතිකයන් අශ්වයාව වේග‍යෙන් ධාවනය කරවීම සඳහා ඌට පේන විදිහට උගේ ඔළුවට උඩින් කැරට් අලයක් බැඳීමේ පුරුද්දක් තිබුණි. එවිට අශ්වයා ඒ කැරට් අලය කෑමට වේගයෙන් දිව යයි. තමා සමග කැරට් අලයත් ගමන් කරන බවත් තමාට ඒ කැරට් අලය අල්ලා ගැනීමට නොහැකි බවත් ඌ නොදනී. වැදගත්ම දේ ‍මෙයයි. කැරට් අලය කන්න දුවන අශ්වයා තමා කරත්තයකට බැඳී ඇති බව අමතක කරයි. අවට තියෙන දේත් අමතක කරයි. ඒ කරත්තයේ යන මඟියා තමාට අවශ්‍ය තැනට ආ පසු අ‍නේ අර අශ්වයාට කැරට් අලය කන්න දෙයි. අපේ දුප්පත් දූලා පුතාලාටත් මේ ‘ධනවත් වීම’ කියන කැරට් අලයක් පෙන්වා ඇත. අධ්‍යාපනය ලැබීමට එක ශ්‍රේණියට ඇතුළත් කළ මොහොතේ සිට දෙමාපියන් උනන්දු කරවන්නේ මේ කැරට් අලය පස්සේ දිවීමටය. ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වෙන්න, සාමාන්‍යපෙළ සුපිරි දක්ෂතා පෙන්වන්න, උසස්පෙළින් දිවයිනේ විශිෂ්ටතමයා වෙන්න කියා ඔවුන්ව තල්ලු කරන්නේ මේ නිසාය. නමුත් මගේ දුවට මා මේ දෙය කියා දිය යුතුමය. දුවේ, සාමාන්‍යපෙළ ලියන්නේ උසස්පෙළ ලියන්නට සුදුසුකමක් ලබා ගැනීමටය. ඒ සඳහා උඹට ලැබිය හැකි අවම ලකුණු මට්ටම තිබුණොත් මට ඒ හොඳටම ඇතිය. උඹ සාමාන්‍යපෙළ ඉහළින්ම සමත් වෙන්න කියා සිතා දිවා රෑ නොබලා ඒ සඳහා වෙහෙසුණොත් උඹට වටිනා කාලයක් නැති වෙයි. එනම් සමනලයින්ට කතා කරන්න තියෙන කාලය, වෙල්එළියේ ඉපනැල්ලේ හමායන සුළඟට ඇහුම්කන් දෙන්න තියෙන කාලය, ගීතයක් රස විඳන්න, කවියක් ලියන්න තියෙන කාලය, ඉර බහින කොට හඳ පායන කොට අහසේ රටා අඳින්න තියෙන කාලය උඹට නැති වේවි. මට කෙටියෙන්ම කියන්න ඇත්තේ මෙයය, ඔය නොවැදගත් කැරට් අලයක් වෙනුවෙන් උ‍ඹේ ජීවිතයේ වටිනාම කාලය සින්න කරන්න එපාය.

පාසලින් ලබන අධ්‍යාපනය තුළ අනිවාර්යයෙන් දැන ගත යුතු දෙයක් නම් විභාග සමත් වීමය. අප මොන තරම් පම්පෝරි ගැහුවත් උත්තර පත්‍රයට ලියන අකුරු ටිකෙන් යමෙකුගේ දැනුමේ ප්‍රමාණය මැන ගත හැකියි කියන ගෝත්‍රවාදී මානසිකත්‍වයෙන් අපේ රටේ බලධාරීන්ට තාමත් එළියට එන්න බැරිවී තිබේ. ඒ නිසා විභාග හොඳින් සමත් විය යුතුය. එහිදී මෙන්න මේ කාරණය ගැන සිහිපත් කර ගන්න. විභාගයක් හොඳින් සමත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා ඉදිරිපත් කර ඇති විෂය නිර්දේශයන් මනාව සම්පූර්ණ කළ ශිෂ්‍යයන්ට පමණි. කවුද මේ විෂය නිර්දේශ හදන්නේ? සාහිත්‍යය ඉගෙන ගන්නේ මෙහෙමයි කියා නිර්දේශ හදන්නේ කාලිදාසවත්, භරතමුනිවත්, ශේක්ස්පියර්වත්, එලියට්වත් නෙවේ. ඇතැම්විට, සාමාන්‍ය පෙළ දරුවන් මේ මේ කවි හැදෑරිය යුතුයි කියා නිර්දේශ කරන කෙනාට පදහතර ගළපලා එළිසමය තියලා කවියක්වත් ලියා ගන්න බැහැ. බුදුදහම මෙසේ හැදෑරිය යුතුයි කියා නිර්දේශ කරන්නේ නාගර්ජුන, වසුබන්ධු හෝ මහින්ද මහරහතන් වහන්සේ නෙවේ. ඇතැම්විට බුදුදහමට ඔය නිර්දේශපත්‍රය හදන කෙනාට පන්සිල්වත් රකින්න බැහැ. නිර්දේශපත්‍ර හැදීම විතරක් නෙවේ, ඔය දරුවන් විභාගයේ දී ලියන උත්තරපත්‍ර පරීක්ෂා කරන්නේත් ඒ විෂයන් පිළිබඳ ප්‍රවීණයන් නෙවේ. මා හොඳින්ම දන්නා දෙයක් නම් බෞද්ධ දහම්පාසල්වල ධර්මාචාර්ය විභාගයේ උත්තරපත්‍ර පරීක්ෂා කරන්න එන අය හැමදාම රෑට එකතු වෙලා සුරාවෙන් මත්වෙලා තමයි පහුවෙනිදාට ශිෂ්‍යයන්ගේ උත්තරපත්‍ර බලන්නේ. ඉතින් දුවේ ධර්මාචාර්ය උත්තරපත්‍ර බලන්න ඒ අයට ති‍යෙන සුදුසුකම කුමක් ද? අනෙක උඹ පාසලින් ඉගෙන ගන්න විට උඹට උගන්නාවි, සිංහලබෝධිවංශයත් සඳකිඳුරු දා කවත් ලිව්වේ කුරුණෑගල යුගයේ සිටි විල්ගම්මුල මහතෙරුන් බව. සිංහලව්‍යාකරණය හදාරද්දී විභක්තිසමාසයට දිය යුතු උදාහරණ විශේෂණවිශේෂ්‍ය සමාසයට දාලා උගන්නාවි. දුවේ උඹ සාමාන්‍ය‍පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය එහෙම ඉගෙන ගන්න ගියොත් උඹට උගන්නාවි ලෝකයේ තියෙන හොඳම සදාචාරපද්ධතිය රෝමානුකතෝලික සදාචාරය බවත් ලංකාවේ තියෙන බුදුදහම ඉතා ම්ලේච්ඡ ආගමක් බවත්. එය ගුරුවරුන්ගේ වරදක් හෝ දොසක් හෝ නොවේ. උඹලට හදලා තියෙන විෂය නිර්දේශවල ස්වභාවය එයයි. ඒ නිසා දුවේ මේ දෙය හොඳින් මතක තබා ගන්න. පාසලින් උගන්වන හැම දේම ‍හොඳින් ඉගෙන ගෙන ඒවා ඒ විදිහටම ගිහින් විභාගයට ලියන්න. එතකොටයි උඹව විභාගයෙන් සමත් කරන්නේ. විභාගය ඉවර වුණු වහාම ඒ සියල්ල අමතක කර දාන්න. මොකද පාසලින් දැනුමක් ලැබෙන්නේ නැත. දැනුම ලබන්නට නම්, උඹම ඒ අදාළ පොතපත සොයාගෙන කියවන්නටත් මහපොළවට බැහැලා මිනිසුන්ව හදාරලා ඉගෙන ගන්නටත් අවශ්‍ය බව තර‍යේ සිහි තබා ගන්න.

දුවේ, මා මුලදීම සඳහන් කළ ‍පරිදි උඹ විශිෂ්ට සාමාර්ථ හොයාගෙන කැරට් අලය පස්සෙන් දුවන්නේත් නැතිනම් උඹලට ඉගෙන ගන්න කියා රජයෙන් දෙන විෂය නිර්දේශ ගැන බැරෑරුම්ව හිතන්නේත් නැති නම් ඒකෙන් සිදු වන අතුරු වාසියකුත් ඇත. එනම් අමතර දෙයක් ඉගෙන ගැනීමට ඇති ඉඩකඩයි. දුවගේ තාත්තා උසස්පෙළට හැදෑරුවේ බුද්ධධර්මය, පාලිභාෂාව සහ තර්කශාස්ත්‍රය යන විෂයයෝය. නමුත් මා මේ විෂයන් ඉගෙන ගන්න වැඩි උනන්දුවක් ගත්තේ නැහැ. තර්කශාස්ත්‍රය නම් විෂය හැදෑරුවේ අන්තිම මාස දෙකේ දීය. මා වැඩිපුරම කියෙව්වේ, රසල්, විට්ගන්ස්ටෛන් ඇතුළු සමකාලීන දර්ශනය මාක්ස්වාදය වැනි විෂයන්ය. හැකි සෑම විටම ශුද්ධගණිතය, භෞතිකවිද්‍යාව හදාරන්නත් අමතක කළේ නැත. මා ඒ ලබා ගත් දැනුම මට කිසිසේත්ම උසස්පෙළ කරන්න අවශ්‍ය වූයේ නැත. නමුත් මට අද වගේ මතකයි, විශ්වවිද්‍යාලයයේදී මට මාක්ස්වාදය ගැන තෙලක් ගහන්‍න ආපු දෙවන වසරේ අයියා ‘කොමියුනිස්ට් ප්‍රකාශය’ කියවා තිබුණේ නැත. නමුත් මා ඒ වන විටත් එය කියවා තිබුණි. අපට විශ්වවිද්‍යාලයයේදී සමකාලීන දර්ශනය උගන්වන්න අලුතින් ලෙච්චියක් (කථිකාචාර්යවරියක්) ඇවිත් සිටියාය. ඇයට එම විෂය හරි හැටි වැටහී තිබුණේ නැත. මේ නිසා අපේ පන්තියේ උන් එම විෂය අතහරින්න සූදනම් වී සිටි අතර ඒ මොහොතේ මට හැකි වූවා මගේ ම පන්තියේ එවුන්ට කුප්පි දාලා (කුඩා පන්ති පවත්වා) සමකාලීන දර්ශනය උගන්වන්න. මට මතකයි රජය විසින් උසස්පෙළ ශිෂ්‍යයනට නායකත්ව පුහුණු වැඩමළුවක් සංවිධානය කළ අවස්ථාවේ දී ඔවුන් සොයා ගත්තා උසස්පෙළ සිංහල විෂයධාරාවෙන් සමත් වී විශ්වවිද්‍යාලයට තේරුණ කිසිදු ශිෂ්‍යයෙකු මේ රටේ හරිශ්චන්ද්‍ර නම් මහතෙකු විසින් සිංහල ශබ්දකෝශයක් ලියා තිබුණ බව දැන සිට නැති බව. තේරුම් ගන්න දුවේ, අප යමක් ඉගෙන ගත යුත්තේ විභාගයක් දෙස බලා නෙවේ, අපට දැනුම අවශ්‍ය නිසා. ඒ දැනුම කවදාහෝ අපට ප්‍රයෝජනය පිණිස පවතීවි. විෂය නිර්දේශවලට කොටුවෙලා දැනුම ගන්න බැහැ.

අනෙක මගේ දුව හිතනවා නම්, විභාග සමත් වෙන්න උපකාරක පන්තිවලට යන්න අවශ්‍යයි කියා මේ වචන කීපයත් දුව හොඳින් මතක තියා ගන්න. දූගේ තාත්තා කවදාකවත් කිසිම විභාගයක් ‍වෙනුවෙන් පන්ති ගිය කෙනෙක් නෙවේ. ඇයි දන්නවා ද? උපකාරක පන්ති කියන්නේ දැන උගත් දරුවන් බිහි කරන තැනක් නෙවේ. විභාග වංචාවන් කරන්න උගන්වන හොරු බිහි කරන තැනක්. එය සිදු වන්නේ මෙහෙමයි. හිතන්න අපට රචනාවක් ලියන්න ඕනේ කියා. අප ඇත්තටම ගුරුවරයාගෙන් අසා දැන ගන්නට ඕනෑ, රචනාවේ ආකෘතිය, කරුණු ගොනු කරන ආකාරය, ව්‍යාකරණය රැකීම සහ භාෂාශෛලිය වැනි කරුණු. ඒවා කියා දීම තමයි හොඳ ගුරුවරයෙකුගේ ලක්ෂණය. නමුත් මේ සියල්ල ඉගෙන ගෙන රචනාවක් ලියන්න අමාරුයි. ඒ සඳහා යම් කාලයකුත් ගත වෙනවා. මේ නිසා උපකාරක පන්තියකට ගියාම එතන දී අපට ‘ආදර්ශ රචනා’ කියා කල්තියා ලියූ රචනා කීපයක් ‍දෙනවා. ශිෂ්‍යයාට තියෙන්නේ ඒවා හොඳින් කියවා ඒ විදිහටම විභාගයට ලියන්න. එවිට ශිෂ්‍යයා විභාගය සමත් වෙයි. කෝ දැනුම? ගුරුවරයෙකු කළ යුත්තේ දරුවෙකුට පොතක් කියවා ‍කෙටි සටහන් පිළියෙළ කර ගන්නා ආකාරය පැහැදිලි කර දීමය. නමුත් අද උපකාරක පන්තිවලින් කරන්නේ කෙළින්ම කෙටිසටහන් පිළියෙළ කර ශිෂ්‍යයාගේ අතට ලබා දීමය. මේ ක්‍රමයට බිහි වන්නේ හොරු විතරයි. උගතුන් නෙවේ. අද විශිෂ්ට සාමාර්ථ ලබා ගන්නා ශිෂ්‍යයන්ව වැටෙන්නේ මෙතනට. දැන් බලන්න ඔය උපකාරක පන්තිවල ගුරුවරු මාධ්‍ය ආයතනවල දැන්වීම් පළ කරන විට දිවයිනේ ප්‍රථමයා බිහිකළ, දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බිහිකළ යනුවෙන් පළ කරන්නේ ඇයි? ඇත්තටම විභාගය ලීවේ ශිෂ්‍යයාගේ දැනුමෙන් නෙවේ, තමාගේ වංචනික උපායන් තුළින් බව ඒ අය දනිති. ඉතින් දුවේ, මා කියන්නේ මෙපමණය. උඹේ හැකියාවෙන් උඹ ලබන ‘සී’ සාමාර්ථය මට ප්‍රමාණවත්ය. හොරෙකු වී විශිෂ්ට සාමාර්ථ ලබා ගත යුතු නැත.

තව දෙයක් මා උඹට මතක් කර දිය යුතුමයි දුවේ. උඹ පාසලින් ලබන්නේ මා මුලින් කී පරිදි වැරදි දැනුමක් පමණක් නොව, විශ්වාසයනුත් ඒ සමග ලබයි. දූගේ පාසල පටන් ගත්තේම ‘රංවල දෙවියන්ට’ දානයක් දීමෙනි. මාගරට් මීඩ් කියනවා මිනිසා තම විශ්වාසයන් මවුකිරිත් සමග බොන බව. එය සම්පූර්ණ ඇත්තකි. ලංකාවේ මිනිසුන් වුවත් එහෙමය. උඹට පාසලේදී උගන්වන්නට පැමිණෙන්නේ එවැනි මිනිසුන් පිරිසකි. නැතිව, දාර්ශනිකයන් හෝ ශාස්තෲවරුන් නොවේය. මේ අය දැනුම දෙන අතර තම තමන්ගේ විශ්වාසයන් උඹලගේ ඔළුවට දමාවි. එහෙම කරන්නේ නරක හිතකින් නෙවේ. ඒ අය හිතනවා තමා හොඳයැයි විශ්වාස කරන දේ ශිෂ්‍යයන්ට කියා දීම හොඳ බව. මේ නිසා ඒ සියල්ල හොඳින් ඉගෙන ගන්න. නමුත් කිසිම දවසක ඒවා ඇත්ත යැයි නොපිළිගන්න. රංවල දානය දීම, සිංහල අවුරුද්දට ලිප ගිනි මෙලවීම ඇතුළු සියලු විශ්වාසයන් පසුපස ඇත්තේ අපේ සංස්කෘතියයි. මේ නිසා මේ සියල්ල අප උගත යුත්තේත් පිළිපැදිය යුත්තේත් අපේ සංස්කෘතිය රකිනවා යන හැඟීමෙන් මිස ඒවා තුළ කිසියම් ගුප්ත බලයක් හෝ අදෘශ්‍යමාන ශක්තියක් ඇතැයි යන මෝඩ විශ්වාසයෙන් නොවේය. දූගේ තාත්තා, ඉපදුණේ රෝමානු කතෝලිකයෙකු විදිහට. ජීවත් වුණේ බෞද්ධයෙකු විදිහට. අදටත් බෞද්ධයෙක් තමා. නමුත් එදා මෙදා තුර ජීවිතයේදී මා කළ නිර්භීතම ක්‍රියාව නම් සියලු සාම්ප්‍රදායික විශ්වාසයන්ට අභියෝග කිරීමයි. දුවත් මා මෙන් හැදෙන්න. බුදුදහම කෙරෙහි මා මේ තරම් ඇලෙන්නේ අනෙක් විශ්වාසයන් තුළ ඇති ගැඹුර මා නොදන්නා නිසා යැයි වරක් මට හිතුණ නිසා මා බුදුදහම අතහැර මූලධර්මවාදී ක්‍රිස්තියානි (බයිබල්) ආගමකටත් සම්බන්ධ වුණා. එහෙම කර ඒ සියල්ලත් අතහැර දමා ඇවිත් දැන් බෞද්ධ වී සිටින්නේ. අපේ මිනිසුන් රාහු කාලයට ගෙයින් එළියට බහින්න බයයි. ඒත් දුව දැන ගන්න, දූගේ අම්මාව මගේ බිරිඳ වශයෙන් බාර ගන්නවා යැයි මා කීවේත් ‍පොතේ අත්සන් කළේත් සෙනසුරාදා දවසක රාහුකාලයටයි. දුවටම තේරෙනවා නේද මායි අම්මයි අදටත් හරිම ආදරයෙන් ඉන්නා බව. ඒ නිසා දුව දැන ගන්න, කිසිම විශ්වාසයක් සොයා බලා පරීක්ෂා කිරීමකින් තොරව පිළිගන්න එපා.

ආදරයට අධ්‍යාපනය සම්බන්ධ වෙන ආකාරය ගැනයි, අධ්‍යාපනය තුළින් ජීවිතය ජය ගන්නා ආකාරය ගැනයි මා උඹට පසු දිනෙක කියා දෙන්නම් දුවේ. අද මා මේ වචන ස්වල්පය උඹ වෙනුවෙන් ලියා තැබුවේ අද දිනයේ සිට උඹ ලබන පාසල් අධ්‍යාපනය ගැන යම් දැනුමක් ලබා දෙන්න. නමුත් ‍මේ වචන ටික අවසන් කරන්න කලියෙන් තව එක දෙයක් තියේ උඹට කියා දෙන්න.

දූගේ තාත්තා සල්ලිකාරයෙක් නෙවේ. දුව පුංචි වුණත් දැනටත් තේරෙනවා නේද ගෙදර තියෙන අඩුපාඩුකම්. මේ නිසා දුවේ මට පොරොන්දු වෙන්න බැහැ දූට අවශ්‍ය හැම දේම මට ‍ගෙනත් දෙන්න පුළුවන් වෙයි කියා. නමුත් මට පුළුවන් හැම විදිහකින්ම උඹට උගන්වන්න අවශ්‍ය දේවල් සපයා දෙන්නම්. ගෙදර මොන තරම් ආර්ථික ප්‍රශ්න තිබුණත්, උ‍ඹේ ඉගෙන ගැනීම නවත්වන්න එපා. දුව දන්නවා ද? දූගේ තාත්තා උසස්පෙළ කරන්න සූදානම් වන විට තාත්තාගේ අම්මා, ඒ කියන්නේ උඹේ ආච්චිඅම්මා කිව්වේ ‘දැන් ඉගෙන ගත්තා ඇති, ගිහිං රස්සාවක් කරපං’ කියා. එහෙම කීම ගැන මට දොස් කියන්න බැහැ. ඒ කාලේ මගේ අම්මා ධනවත් ගෙදරක මෙහෙකාරියක් විදිහටයි කටයුතු කළේ. මගේ සුළුපියා කම්හලක තාවකාලික කම්කරුවෙක්. ගෙදර ආර්ථික ප්‍රශ්න කන්දක් තිබුණා. මල්ලිටයි මටයි උගන්වන්න ඒ අයට බැහැ.‍ ඉතින් මා පාසලකට හෝ වෙනත් පෞද්ගලික පන්තියකට හෝ ගියේ නැත. මට ඉගෙන ගන්න පොත් පත් තිබුණෙත් නැත. මා එදා අම්මාට කිව්වා, ‘අම්මේ, පුළුවන් නම් මට කන්න විතරක් දෙන්න මං තනියෙම ඉගෙන ගන්නම්’ කියා. යාළුවන්ගෙන් පොත පත හොයාගෙන තමයි බොහෝමයක්ම ‍ඉගෙන ගත්තේ. ඊට අමතරව කෙරවලපිටිය මහජන පුස්තකාලය මගේ තාවකාලික නිවාසය කර ගතිමි. මීට අමතරව මම කොළඹ මහජන පුස්තකාලයටත් ගි‍යෙමි. ඒ මෙසේය. ඇලකන්දෙන් බස‍යට ගොඩ වී එල්ෆිනිස්ටන් රඟහල ළඟින් බසිමි. එතැන සිට මරදාන හරස්පාරෙන් පුරහල ළඟටත් එයින් මහජන පුස්තකාලය ළඟටත් පයින් යමි. ගොස් හැකි තාක් පොත් කියවා බඩගිනි වූ විට පහළ ආපනශාලාවෙන් නිකං තේ (ප්‍ලේන් ටී) එකක් බී නැවත පෙර සේම ආපසු ගෙදර එමි. ඉදින් කොළඹ මහජන පුස්තකාලයයේ බිත්තිවලට කතා කරන්න පුළුවන්කමක් වේ නම් ඔවුන් කතා කර කියාවී මා කෙතෙක් නම් බඩගිනි උහුලාගෙන පොත් කියෙව්වා ද යන්න. මා මේ තරම් ඉගෙන ගන්න උත්සාහයක් ගනිද්දී මගේ සමීප මිතුරන් කීප දෙනෙකු හැර අනෙක් නෑදෑ හිතමිතුරන් මට වචනයකින්වත් උදවු කළේ නැත. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වූයේ ‘ළමයි උසස්පෙළ කරන්න පාසලුත් යනවා, පන්තිත් යනවා, එහෙම ගිහිනුත් විභාගය සමත් වෙන්න බැරි වෙනවා. එහෙම සමත් වෙන අයගෙනුත් කීප දෙනයි විශ්වවිද්‍යයාලයයට තේරෙන්නේ. ඉතින් මං කොහොම ද කරන්නේ?’. නමුත් දුවේ, කිසිම පාසලකට නොගිහිං කිසිම පන්තියකට නොගිහිං මා උසස්පෙළ ලියා සමත් වීමි. එපමණක් නොව විශ්වවිද්‍යාලයටත් ගියෙමි. ඉතින් මගේ දූ මාව ආදර්ශයට ගන්න. කිසිම බාධාවකට දූගේ ගමන නවත්වන්න ඉඩ දෙන්න එපා. දිගටම ඉගෙන ගන්න. ඉදිරියටම යන්න. උඹට ජයෙන් ජය.

2016.01.14 දින මගේ ලොකු දුව මේධාවී මුලින්ම පාසලට ගියාය. මේ මා ඇය වෙනුවෙන් ලියූ සටහනකි.

Comments

  1. සර්ගෙ දුවට සර් ගිය පාර කියා දී දුවට විතරක් නෙමේ හුගක් දෙනෙකුට නිවැරදි මාර්ගය ආදරණීය දුවේ.... පෝස්ට් එකෙන් කිය දුන්නා. ජිවිතයට ලගා කරගත යුතු වටිනා මැණික් පහක් කියල දුන්නා..... හැමෝටම වටිනා ලිපියක්......

    ReplyDelete
  2. ආදරණීය බර්ට්රම්, ඔබේ දීර්ඝ හරවත් ලිපිය ජීවිතය පිළිබ‍ද කෙතරම් පාඩම් අපට කියා දෙනව ද....දරුවන්ට කියා දෙනව ද....බොහෝ දෙනෙකුට තමන්ගේ ළමා විය පිළිබ‍ද ව ඇති ස්මරණ අමතක කරන්න හැකි යි. නමුත් ඔබ ඒවා ලෝකයට කියන්නේ එයින් සුන්දර පාඩමක් කියා දෙන ආකාරයට යි. අපේ දරුවෝ බොහෝ දෙමව්පියන්ගේ ජීවිත ගැන දන්නේ නැහැ. නැත්නම් ඒ පිළිබ‍ද ව දරුවන්ගෙන් වසංගනවා. තමන්ට අහිමි වූ භවුතික ලෝකය පමණක් ගොඩ නගාගන්න කෙසේ හෝ උත්සාහ කරනවා. ඊට එහා ගිය ආත්ම ශක්තියෙන් ගොඩනගා ගත යුතු සුන්දර ලෝකයක් තිබෙන ළමුන්ට වටහා දෙන දවසක දරුවන්ගේ ලෝකය හුගාක් සුන්දර වේවි. ඔබගේ නිර්ව්‍යාජ ලිපිය දෙමව්පියන්ටත් දරුවන්ටත් සුපිරිසිදු අත්වැලක් වේවා

    කුසුමලතා ලංකාමුල්ල

    ReplyDelete
    Replies
    1. මැඩම්, මේක කියවීම මට සෑහෙන්න සතුටක්. සර්ගේත් මැඩම්ගේත් වචන මට ලොකු ධෛර්යයක්.

      Delete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප