Skip to main content

මෙත්තාගමනයේ පසුවිපරම

http://admin.adaderana.lk/bizenglish/wp-content/uploads/maithripala-sirisena.jpg

අපි දන්න දේවල් ගැන කතා කරමු. තිරයෙන් පිටුපස වුණ දේවල්, ගොසිප් අඩවිවලින් අහුලා ගත්තු දේවල් කතා නොකර අපේ ඇස් දෙකෙන් දැක්ක කන් දෙකෙන් අහපු දේවල් ගැන කතා කරමු. බොබසේ පිටිපස්සේ හිටියේ ගෝඨාභය ද? අපි දන්නේ නැහැනේ. බොබසේ කළේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ද? අපි දන්නේ නැහැනේ. හෙළ උරුමය කළේ රට පාවා දීමක් ද? අපි කොහොමද හරියටම කියන්නේ. මේ නිසා අපි දන්න අපට තහවුරු කර ගත හැකි දේවල් අපි කතා කරමු.

01. මහින්දව එළවා දැමීමේ සාර්ථක වෙඩිමුරය පත්තු කළේ බොබසේ.

තිස්වසරක ත්‍රස්තවාදී අරගලය හෝ යුද්ධය නිමා කළ හිටපු ජනාධිපති මහින්ද මහත්තයා මේ රටේ මිනිසුන් බහුතරයකට රජකු වාගේ දැනුණා. සැලකුවෙත් කතා කළේත් ගරු බුහුමන් දැක්වූයේත් ඒ වගේ. මහින්ද මහත්තයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ටික කලකින් එම හැඟීම ඇතුළු වුණා. මෙහෙම හිටපු රජතුමාව වසර දහයක් යන තැන එපා වුණේ කොහොම ද?

කොටි ත්‍රස්තවාදයෙන් අනතුරුව මේ රටේ ඇති විය හැකි ප්‍රධානම උවදුර ලෙස මුස්ලිම් ජාතිවාදය ඇවිස්සී ඇති බව රටට ම ඒත්තු ගැන්වූයේ බොබසේනාවයි. එය රට පුරා පිළිකාවක් මෙන් පැතිරී යන බවත් ඔවුන් බෞද්ධ උරුමය විනාශ කරමින් මේ රට ‘සපරිස්ථානයක්’ කරන්න යන බව ජනතාවට ඒත්තු ගැන්වූයේ ද ඔවුන් විසිනි. මේත් සමගම රට ඇතුළේ පොඩි ප්‍රශ්න කීපයක් පැන නැඟුණා. ඇත්තටම ලංකාවේ ඔය කියන විදිහේ මුස්ලිම් ජාතිවාදීන් ත්‍රස්තක්‍රියාවල නිරත වෙනවා නම්, ඇයි මහින්ද මහත්තයා ඒ ගැන මුකුත් නොකරන්නේ? කොටි පරදන්න පුළුවන් නම් ඇයි මුස්ලිම් ත්‍රස්තයන්ව පරදන්න බැරි? මේ ප්‍රශ්නයට කෙළින් උත්තරයක් දෙන්න බොබසේට කවදාවත් හැකි වුණේ නැහැ. නමුත් යටිපෙළේ හිටපු පිරිස මේ ප්‍රශ්නයට උත්තර හැදුවා. රටේ මුස්ලිම් ත්‍රස්තවාදයක් තියෙනවා නම්, ඒක නැති කරන්න මහින්ද මහත්තයා පියවර ගන්නේ නැත්නම්, ඒ කියන්නේ මේ මුස්ලිම් ත්‍රස්තවාදය පිටිපස්සේ ඉන්නේ ‘මහින්ද’, එයාගේ උවමනාවටයි මේ සේරම වෙන්නේ.



බොබසේ යටිපෙළ විසින් බිහි කරපු මේ උත්තරයට ඤාණසාර හාමුදුරුවොත් සෑහෙන තරම් පොහොර දාපු අවස්ථා තිබුණා. උදාහරණයක් ලෙස, BMICH වල පැවැති සඟසමුළුවේදී ඤාණසාර හාමුදුරුවන් සඳහන් කළා, තමන් වහන්සේ මල්වත්තේ නාහිමි මුණ ගැසුණ වේලාවේදී කී කතාවක්. නාහිමියන් රටේ ප්‍රශ්න පිළිබඳව අනේක වාරයක් මහින්දට ලිව්ව බවත් ඒවාට මහින්දගෙන් ප්‍රතිචාර නැති බවත් ඔහු පෙන්වා දුන්නා. මේ කතාව අහපු ඕනෑම මිනිහෙකුට හිතෙනවා, මහින්ද ශාසනය ගැන සලකා බලන්නේ නැතිව මුස්ලිම් අයගේ පැත්ත ගන්නවා කියලා. බුද්ධගයාවේ ශ්‍රී මහාබෝධියට බෝම්බ ගහන කොට වචනයක්වත් නොකියපු මහින්ද පලස්තීනයට ගහනකොට දුක් වෙනවා දැකලා බොබසේ යටිපෙළ හොඳටම කුපිත වුණා. අනේ ඉතින්, අර මහරජතුමා නිකම් හම්බ මහින්දයෙක්, මොහොමඩ් මහින්දයෙක් බවට පත් වුණා. මේ පිළිබඳ බොබසේ විශාල වශයෙන් පෝස්ට් පළ කළා. තවත් පැත්තකින් මහින්දව සුන්නත් කිරීමට බොබසේ යටිපෙළ කළ තර්ක විතර්ක අතරේ සිහළරාවයත් හිටියා. සිහළරාවය කෙළින්ම මහින්ද-විරෝධි පෙළ නියෝජනය කළා.

එහි ප්‍රතිඵලය වුණේ කුමක් ද? මහින්දව මේ රටේ සිංහල-බෞද්ධ ජනතාවට වහකදුරු බවට පත් වුණා. 2004දී ඇල්ලේ ගුණවංස හාමුදුරුවන්ට අනුව ‘තුන්පිරිත කට පාඩමින් කියන්න පුළුවන්’ වුණ මැදමුලනේ මහින්ද 2013දී ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවන්ට අනුව මොහොමඩ් මහින්ද වුණා. මේ නිසා හැමෝම එක හඬින් කියන්න වුණා, අපට මහින්ද එපා වෙන නායකයෙක් ඕනේ කියලා.

02. මේ වෙන නායකයා කවුද?

වෙන නායකයෙක් ඕනේ කියන තැනට සිංහල බෞද්ධ ජනමතය ගෙනාවට ඒ වෙන නායකයා කවුද කියන හිස්තැන පුරවන්න බෝබසේට හැකි වුණේ නැහැ. මුල සිටම ඒ අය කීවේ අපි දේශපාලනයට යන්නේ නැහැ කියලයි. මේ නිසා මේ හිස්තැන පුරවන චරිතය කාටත් අභිරහසක් වුණා.

මේ අභිරහස ගැන යටිපෙළේ කුමන්ත්‍රණයක් තිබුණා. පිරිසක් කියන්න පටන් ගත්තා දැන් ඔය කිව්වට ඤාණසාර හාමුදුරුවෝම ජනාධිපති ධුරයට ඉල්ලයි කියලා. එහෙම ඉල්ලුවොත් ‘අපි ඡන්දය දෙනවා’ කියා එක හඬින් කියන්න පිරිසක් ද හිටියා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා ටික කලකින් කාටත් තේරුණා. දෙවන නම ලෙස ‘ගෝඨාභය රාජපක්ෂ’ ඉදිරිපත් වී තිබුණා. මහින්දගේ ලකුණු එක එක කඩා බිඳ දැම්මට ගෝඨාභයගේ ලකුණු රැක ගන්න බොබසේ ලොකු උත්සාහයක් ගත්තා. වරින් වර බොබසේ සාමාජිකයන් මීළඟ ජනාධිපති ලෙස ගෝඨාභය ගෙන එමුයි කියා පෝස්ට් පළ කරන්න පවා පටන් ගත්තා. කොටින්ම යුද්ධයේ සැබෑ වීරයා ලෙසත් ශාසනය බේරා ගත හැක්කේ ඔහුට පමණක් බවත් කීමට බොබසේ පසුපෙළ සැදී පැහැදී සිටියා. මේ අතර තවත් අනපේක්ෂිත නමක් කරළියට ආවා. ඒ තමයි ‘චම්පික රණවක’. බෝබසේ කිසිවිටෙකත් ඒ නමට මඩ ගහන්න පටන් ගත්තේ නැහැ. එහෙම වුණා නම් සිංහල බෞද්ධ පිරිස අතර ගැටුමක් හට ගන්න බව දැන සිටි නිසා නිහඬ වුණා. මේ නිසා ම මේ නමත් සිංහලයන්ගේ බලාපොරොත්තු ගොන්නට එකතු වුණා. නමුත් එක ගැටලුවක් තිබුණා, චම්පිකට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙනවා නම්, ඇයි එයා මහින්ද ළඟ තාම ඉන්නේ?

03. චම්පික ඇතුළු හෙළ උරුමය ආණ්ඩුවෙන් එළියට ආවා.

හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග සිංහල-බෞද්ධයන්ගේ බලාපොරොත්තු ඉහළ ගියා. හැමෝම හිතුවා (මේ මම ඇතුළු) චම්පික ජනාධිපතිවරණයට ඉල්ලයිම තමා කියලා. නමුත් චම්පික කියන චරිතයට ඡන්ද බලයක් ලැබෙන්නේ බොහෝ විට සිංහල බෞද්ධ ආභාසය රැගෙන ආ තරුණ පරම්පරා දෙකකින් විතරයි. ඔහුට බැහැ සාම්ප්‍රදායික එජාපයේ හෝ පොදුපෙරමුණේ හෝ ඡන්ද හොල්ලන්න. කෘතහස්ත දේශපාලන ඥානයක් ඇති ඔහු එහි දී ඉදිරිපත් නොවී විපක්ෂය සමග සන්ධාන ගත වී පොදු අපේක්ෂකයෙක් ගැන සැලසුම් හැදුවා.

ආණ්ඩුව හෙළ උරුමය අවතක්සේරුවෙන් සැලකුවා. මොකද පොදු අපේක්ෂකයා එළියට ආවේ නැති නිසා. ඒ වන විට විපක්ෂයේ සිටි රනිල්, ෆොන්සේකා, චන්ද්‍රිකා යන චරිත සියල්ල කුරුවල් වුණ ඒවා. ඒ කිසිවෙකුට මහින්ද සමග හැප්පෙන්න බැරි බව දැන සිටියා. මොකද ඒ අයට ගහන්න රෙඩිමේඩ් ආයුධ ගබඩාවක් ආණ්ඩුව සතුව තිබුණා. බැරිවෙලාවත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ආවා නම් එයාට ගහන්නේ මෙහෙමයි කියලා පරණ ෆයිල් ටික හිමින් සීරුවේ දිග හැරෙමින් තිබ්බා.

මේ අල්ලපනල්ලේ නොසිතූ දෙයක් වුණා.

04. මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත් වුණා.

මෛත්‍රීපාල මහතා ආණ්ඩුවෙන් ආවේ කාටවත් නොකියාමයි. මේ නිසා ගහෙන් ගෙඩිහෙන්නා සේ සිද්ධ වෙච්ච මේ විලම්බෑසියට මුහුණ දෙන්න ආණ්ඩුවට ටිකක් කාලය ඕනේ වුණා. මෛත්‍රීපාල මහත්තයට ගහන්න හරිහමං ආයුධයක් තිබුණේ නැහැ. කලබලයට කොරොස් කටෙත් අත දා ගන්න බැහැ වාගේ මහින්ද මහත්තයා ගහන්න කියලා ගන්න හැම ආයුධයක් ම බූමරංගයක් වෙලා ආපසු එයාටම වදින්න පටන් ගත්තා. ෆයිල් කතාවේ සිට අප දැක්ක සියලු නා ගැනීම් ඒ අතර තිබුණා.

මෛත්‍රීපාල මහතාට ගහන්න බැරි වුණාට එයා වටේ හිටි ෆොන්සේකා, රනිල්, චන්ද්‍රිකා ආදීන්ට සුපුරුදු පරිදි පරණ ආයුධවලින් ගහන්න ගත්තා. නමුත් ඒ වන විට ඒවා බොහෝමයක් පුස් අවි. ඒවා ජනතාවට කා වදින්න තරම් ශක්තිමත් වුණේ නැහැ.

කොහොම නමුත් මෙතනදී වැදගත් දෙයක් සිදු වුණා. බොබසේ විසින් මහින්දව නහුතෙටම එපා කරවලා නේ තිබ්බේ. මේ නිසා මහින්ද-විරෝධී සිංහල බෞද්ධ පිරිස මෛත්‍රීපාල වටා අනියමින් රොක් වුණා. ඒ වන විට කොටි ප්‍රශ්නය විතරයි ප්‍රබල පහරක් ලෙස විපක්ෂයට එල්ල වුණේ. නමුත් යුරෝපය ඇතුළු රටවල කොටි තහනම ඉවත් කරන්න යන විට එය නැවත සලකා බලන්න කියා රනිල් යවපු ලිපිය සිංහලයන්ට මහත් අස්වැසිල්ලක් වුණා. ඒ අය හිතුවා හෙළ උරුමය විපක්ෂය තුළ ප්‍රධාන භූමිකාවක් රඟ දක්වන බව.

05. ජවිපේ මධ්‍යස්ථ වුණා.

ඇත්තටම මහින්දව එළවන්න යථාර්ථවාදී විප්ලවක් කළා නම් කළේ ජවිපේ. මහින්දගේ වංචා දූෂණ හෙළි කරමින් ඔහුගේ පාලන සමය තුළ රට අගාධයට යන බව ගිරිය කඩාගෙන උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවේ අනුර. නමුත් අනුරගේ හඬ ඇදී ගියේ දැන උගත් කීප දෙනෙක් අතරට විතරයි. බුදුසසුන බේරෙනවා නම්, ජාතිය බේරෙනවා නම් මොන කෙම්ගෙඩිය ද තව ඕනේ කියන්නේ කියලා හිතපු සිංහල-බෞද්ධයා අනුර නිසා ෆෝම් වුණේ නැහැ. අනුර සහෝදරයාව අපේක්ෂකයකු ලෙස ඉදිරියට දාන්න පොඩි කතාබහක් ගියත්, හොද දේශපාලන විඥානයක් ඇති අනුර ඒ වෙලාවේ ඉදිරියට ආවේ නැහැ.

නමුත් ජවිපේ තේරුම් ගත්තා මේ මෛත්‍රීපාලගේ ආගමනය මහින්දව ගෙදර යැවීමට හොඳ අවස්ථාවක් බව. සතුරාගේ සතුරා මිතුරාය යන කියමන අනුව ජවිපේ තීරණය කළා මෛත්‍රීට සහය දැක්වීමට. නමුත් ඔවුන් සමග එකතු වුණේ නැහැ. මොකද, දැනටමත් කුරුවල් වෙලා ඔද්දල වෙලා හිටි චන්ද්‍රිකා වැනි චරිත සමගත් රනිල් වැනි ධනපති ලිබරල්වාදය නියෝජනය කළ අයෙකු සමගත් එකතු වන්නට ගිහින් අතීතයේ වගේ ලකුණු කපා ගන්න බැරි බව ඔවුන් දැන සිටියා. ඔවුන් පැහැදිලිව කියා සිටියා මෛත්‍රීපාල හොඳයි කියා නොකියන නමුත් මහින්දව එළවීමේ සටනට ඔවුන් උර දෙන බව. (පෞද්ගලිකව මම සිටියේත් ජවිපේ ස්ථාවරය මත).

06. බොබසේ තීරණාත්මක සාධකයක් වුණා.

බෝබසේ මේ වන විට ඉතා සාර්ථකව දියත් කර තිබූ මහින්ද-විරෝධී ගරිල්ලා මාර්කටිං මෙහෙයුම වැඩ කරන්න වුණා. සිංහල බෞද්ධ ඡන්ද ගණනාවක් නොකර සද්ද මෛත්‍රීපාල වටා එකතු වෙන්න වුණා. ඒ හෙළ උරුමය ඔහු ළඟ සිටි නිසා. මේ අතර බොබසේ තමා කැමති අපේක්ෂකයා ගැන කියන බවට රාවයක් යැව්වා. හැමෝම හිතුවේ ඉතාම නිවැරදි තීරණය බොබසේ ගනියි, අපි ඒක වටා එකතු වෙමු කියලා. (මටත් එහෙම හිතුණා). නමුත් තටමලා තටමලා බොබසේ ගිහින් මහින්දට හේත්තු වුණා.

07. බොබසේ සිංහලයාව දෙකට කැඩුවා.

තිබුණු තත්වයේ හැටියට බොබසේට ගත හැකි තීරණ 3ක් තිබුණා. එක, හෙළ උරුමය මේ වන විටත් මෛත්‍රීපාල මහතාට සහය පළ කරන නිසා ඒ සමග එකතු වෙන්න පුළුවන් කම තිබුණා. දෙක රනිල්, චන්ද්‍රිකා එහෙම ඉන්න නිසා ප්‍රතිපත්තිමය හේතූන් මත මෛත්‍රීපාල මහතා සමග එකතු වෙන්න බැරි නම් වෙනම දිනන්න පුළුවන් නායකයෙක් ගේන්න තිබුණා. තුන, කිසිදු පුද්ගලයෙකුට සහය නොදී ස්වාධීනව සිටින්න පුළුවන්කම තිබුණා. නමුත් මේ එකක්වත් නොකර මහින්දට එකතු වීම නිසා සිංහල-බෞද්ධයා අන්ත අසරණ වුණා.

ඇත්තටම අසරණ වුණේ ඤාණසාර හාමුදුරුවෝවත් බොබසේ ඉහළ පෙළේ නිලයන් දරන අයවත් නෙවේ. ගමේ ගොඩේ හිටිය දුප්පත් කෙල්ලො කොල්ලො තමයි අසරණ වුණේ. උන්ට පාරේ බැහැල යන්න බැරි වුණා වෙච්ච වැඩේ නිසා. සෑහෙන කාලයක් තිස්සේ මහින්දට දෙහි කපල කපල පස්සේ කොහොමද කටක් ඇරලා කියන්නේ අපේ ඤාණසාර හාමුදුරුවෝ මහින්දට එකතු වුණා කියලා. මෙච්චර කාලයක් හම්බ මහින්දයා කියලා බැණපු එකා දැන් හොඳ වුණේ කොහොමද කියලා ඇහුවාම මොකද්ද ඇත්තටම දෙන උත්තරය?

මේ සිදුවීම බෝබසේ කළ ඓතිහාසික වැරද්දක් වුණා. ගැහැනියක් ඉදිරියේවත් කතා කරලා බේරෙන්න බැරි වුණ ඤාණසාර හාමුදුරුවන්ව පෝසට් ලියලා ලියලා ගොඩ දැම්මේ අපේ කොල්ලෝ. උන්ට මේක දරා ගන්න බැරි වුණා. මුල ඉඳලම බෝබසේට තිබ්බ චෝදනාව තමයි, එය ආණ්ඩුවේ බළල් අතක්, ගෝඨාභයගේ සෙට් එකක් කියන කරුණ. මේ කරුණු අපේ තරුණ කොල්ලො කෙල්ලෝ පිළිගත්තේ නැහැ. පුළුවන් තරම් ඉහළට උස්සලා ඤාණසාර හාමුදුරුවන්ව බේර ගත්තා. නමුත් මේ සිද්ධිය නිසා විරුද්ධ පැත්තෙන් ආපු චෝදනා ඇත්තදෝ කියා හිතන්න මේ අය පෙළඹුණා. මේ නිසාම ඒ අය මෛත්‍රී සමග එකතු වුණා. ඒ විතරක් නෙවේ, තවත් බෞද්ධ සංවිධානයකට ඔළුව උස්සන්න බැරි විදිහට මිනිස්සුන්ගේ විශ්වාසය කඩල කුඩු කර දැමීමක් මෙහිදී සිදු වුණා.

සිදු වුණ භයානකම දේ මේකයි. ඉහළ මට්ටමේ මොන වෙනස්කම් තිබුණත් පහළ හිටපු සිංහල බෞද්ධ කොල්ලයි කෙල්ලයි බොහෝ විට බෝබසේටයි, හෙළ උරුමයටයි, සිහළ රාවයටයි එකවගේ වැඩ කළා. උන් කවදාකවත් හිතුවේ නැහැ මේ අය වෙනස් කියලා. ප්‍රතිපත්ති වෙනස් වුණාට එක අරමුණක් වෙනුවෙන් එකට වැඩ කරන්න පුළුවන් කියලයි හිතුවේ. නමුත් මේ සිදුවීමෙන් පසුව ඔවුන් වෙන් වෙන්න පටන් ගත්තා. කොටසක් බෝබසේට තව කොටසක් හෙළ උරුමයට වශයෙන් සිංහල ඡන්ද කඩලා වෙන් කරන්න බෝබසේට සාර්ථකව හැකි වුණා.

08. චම්පිකව මහා පාවාදීමක් කළ අයෙක් බවට පත් කළා.

බෝබසේ ආණ්ඩුවට එකතු වුණා කියලා ආණ්ඩුවේ ඡන්ද මල්ල සැලකිය යුතු ලෙස වැඩි කර ගන්න බැරි වුණා. තත්වය වෙනස් කරන්න හොඳ තුරුම්පුවක් ඇදිලා ආවා. ඒ තමයි මුස්ලිම් කොංග්‍රසය. මේ සියල්ල වන විටත් මුස්ලිම් කස්ටිය හිටියේ වැට උඩ. ඔවුන් අවසාන මොහොතේ ආණ්ඩුව අතහැරලා මෛත්‍රීපාල සමග එකතු වුණා. ඊට පසුව බෝබසේ කියන්න පටන් ගත්තා ඒ අයට පුළුවන් වුණා මුස්ලිම් අයගේ බෙදුම්වාදී න්‍යායපත්‍රය පරාජය කරන්න කියලා. ඒ ගමන්ම ආණ්ඩුවට හොඳ පාරක් කපලා පෙන්නුවා. බෝබසේ මේ වන විටත් දැවැන්ත මුස්ලිම් විරෝධයක් රට පුරා ඇති කළ නිසා ඉතා පහසුවෙන්ම චෝදනාවක් ගොනු කළා මෛත්‍රීපාල මුස්ලිම් අයට රට බෙදලා දෙන්න පොරොන්දු වුණා කියා. ඇත්තටම මේක වැඩ කළා. එහි දෙවන පියවර වුණේ චම්පික. ඔහු මුස්ලිම් අය සමග අත්වැල් බැඳගත් නිසා ජාතියේ පාවා දෙන්නෙකු බවට පත් වුණා කියා ප්‍රචාරයක් යැව්වා. ඒක කොච්චර වැඩ කළා ද කියනවා නම් හොමාගම, මහරගම වැනි හෙළ උරුමේ බල ප්‍රදේශ පවා මෛත්‍රීපාලට නැති වුණා.

එදා කරුණාඅම්මාන්, පිල්ලෙයාන් ආණ්ඩුවට එන විට මහින්ද කිව්වේ ඒ අය එන්නේ ‘මහින්ද චින්තනයට’ එකඟ වෙලා ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. හා සර්, හොඳයි සර් කියලා එදා ඒ උත්තරය බාර ගත්තා. නමුත් අද චම්පික කතා කරලා කිව්වාම මේ සියල්ල සිදු වන්නේ ‘මෛත්‍රී පාලනයට’ යටත් වෙලා කියලා ඒක බාර ගන්න කවුරුවත් කැමති වුණේ නැත. මේ වන විටත් සිංහල ඡන්ද කෑලි කෑලිවලට කඩලා දාලා තිබුණ බව චම්පික දුටුව නිසා මෛත්‍රීපාල මහතා මුස්ලිම් අයව බාර ගන්න අවස්ථාවේ එය වළක්වන්න චම්පිකට හැකියාවක් තිබුණේ නැහැ. මුංව ගන්න එපා සර්, මං සිංහල ඡන්දවලින් දිනවලා දෙන්නම් කියලා චම්පිකට කියන්න පුළුවං යැ. ඒ වන විටත් ඤාණසාර හාමුදුරුවෝ සිංහල-බෞද්ධ ඡන්ද කඩලා මහින්දගේ පැත්තට අරගෙන ගිහිං ඉවරයි නේ. අනෙක් අතට මෛත්‍රීපාලත් අසරණයි. බැරිවෙලා හරි මේ සිංහල ඡන්ද දෙකට බෙදිලා ගියා නම්, මහින්දව පරාජය කරන්න බැරි වෙන්නත් තිබුණා නේද කියලා ඔහු දැන සිටියා. ඔහු වසර ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති මිනිසෙක් නේ.

09. බෝබසේ කළ යුතු හොඳම දේ කළේ නැහැ.

ඇත්තටම බෝබසේට උවමනා වුණානම් මහින්දව දිනවන්න ඒ අය කළ යුතුව තිබුණේ මෙච්චර කාලයක් මහින්ද ලවා කර ගන්න බැරි වුණ දේවල් කරලා දෙනවා කියලා ප්‍රකාශයක් ගන්න තිබුණා. උදාහරණයක් ලෙස කූරගල ගන්න හදපු වෙලාවේ ඒක බැරි වුණේ මහින්ද නිසානේ. ඤාණසාර හාමුදුරුවෝ කිව්වේ පෙබරවාරි 14 අමාවැස්ස කූරගල තියනවා කියලා නේ. ඒත් හරි ගියේ නැහැ. බෝබසේට පුළුවන් වුණා මුස්ලිම් අයව ආණ්ඩුවෙන් එලවන්න, නමුත් සර් මේ වෙලාවේ තිරුපති යන්න එපා දළදා හාමුදුරුවෝ වැඳළ වැඩ පටන් ගන්න, නැත්තං බෞද්ධයන් කළ කිරෙයි කියලා කියන්නත් ඒ අයට බැරි වුණා. ඇත්තටම ඒ අය කළේ හරිම හැබිචෝල් වැඩ. පසුගිය වසර දහයක් තිස්සේ කවදාවත් නිකමටවත් කියවා ගන්න බැරි වුණ වචන පේළිය වුණ ‘මං සිංහල බෞද්ධයෙක්’ යන්න ඔහු ලවා කියවලා ඊට පසු මෙතෙක් මොහොමඩ් මහින්ද කියලා පොස්ට් පළ කරපු අත්වලින්ම බෝසත් ගුණ සහිත මහින්ද කෙනෙක් කරලා පෝස්ට් ලියන්න බෝබසේ ක්‍රියා කළා. එය එපමණයි.

10. අවසානයේ මෛත්‍රීපාල මහතා දිනුවා.

සිංහල ඡන්ද දෙකට කැඩුණ නිසා, මුස්ලිම් සහ දෙමළ ඡන්දවල සහය ද ඇතිව මෛත්‍රීපාල මහතා 6 වන විධායක ජනාධිපති ලෙස තේරීපත් වුණා.

ටිකක් හිතන්න.

මහින්දගේ කෑදර කම අයින් කරලා මෙදා සැරේ ගෝඨාභයව අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළා නම්, රාජජපක්ෂ පවුලට තව අවුරුදු 6ක් සුවසේ සිටින්න තිබුණා නේ ද?

බෝබසේ පැත්තක් නොගෙන සිටියානම් හෝ හෙළ උරුමයත් එක්ක සාකච්ඡා කර බලා එකඟතා මොනවද කියලා සොයා බලා මෛත්‍රීපාලට සහය පළ කළා නම් මෛත්‍රීපාල මහත්තයාට මුස්ලිම් දෙමළ ඡන්ද නැතිව උඩින්ම එන්න තිබුණා නේද?

දැන් සියල්ල සිදු වී හමාරය. රට ගැන ජාතිය ගැන ආගම ගැන අවංකවම කැක්කුමක් තියෙන සිංහල බෞද්ධයන් මේ වෙලාවේ කළ යුත්තේ කාගේවත් පස්සේ යන්නේ නැතිව නිවැරදි දැක්මක් ඇතිව රටේ සිදුවන දේ පිළිබඳව විමසිලිමත් වීමත් සුදුසු වේලාවේදී සුදුසු තීරණය ගැනීමට තරම් අවශ්‍ය දැනුම ඇතිව සිටීමත්ය. අපි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කෑ ගහමු, පෝස්ට් ලියමු තර්ක විතර්ක කරමු. ඒ හැර පුද්ගල චරිත ගොඩ දාන්න නිකරුණේ කාලය කා දැමීමෙන් වැළකී සිටිමු.

විපරම සටහන

බර්ට්‍රම් ජී. ලියනගේ

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප