Skip to main content

ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් වීමේ වැදගත්කම





එ කෙචි භංතෙ භගවතා බුධෙන භාසිතෙ සර්වෙ සෙ සුභාසිතෙ වා

ස්වාමීනි, භාග්‍යවත් වූ බුදුන් වහන්සේ විසින් යම් කිසිවක් දේශනා කරන ලද ද ඒ සියල්ල සුභාෂිත ම වේ.
අශෝක අධිරාජයෝ -භෛරාට් සෙල්ලිපිය.


හැඳින්වීම
‘මා පිටකසම්පදානෙන’ යනුවෙන් කාලාම සූත‍්‍රයේ දී පිටක යන පදය භාවිත වූයේ කිසියම් ආගමිකග‍්‍රන්‍ථ (scriptures) හැඳින්වීමට බව අටුවාව ලබා දෙන ‘පිටකතන්ති’ යන තේරුම අනුව අපට සිතා ගත හැකි ය. එහෙත් විනය පිටකයේ ද පෙළේ බොහෝ තැන්වල ද අපට නිතර හමු වන්නේ ‘පිටක’ යන පදය ‘භාජනය/පැස’ යන තේරුමකින් භාවිත වූ බව ය. ‘පිටක’ යන පදයෙන් මෙලෙස භාජන යන්න අදහස් වූයේ නම් එය ආගමිකග‍්‍රන්‍ථ සඳහා භාවිත වූයේ කෙසේ ද යන්න විමසිය යුතු කරුණකි. වී. ට්‍රෙන්ක්නර් පඬිතුමාගේ අදහස වූයේ මෙහි පිටක යන්නෙන් අදහස් වන්නේ වැඩබිමක පස් ආදිය පුරවාගෙන යාමට භාවිත කරන තාච්චි වැනි භාජන සඳහා බව ය. එවැනි තැනක තාච්චියට පස් පුරවා අතින් අත හුවමාරු කර ගෙන යාම පෙරදිග මිනිසුන් අතර පවතින බැවින් ඒ අයුරින් ම ‘පිටක’ යන්නෙන් කිසියම් ධර්ම කොට්ටාසයක් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පවරමින් ඉදිරියට ගෙන යාමක් අදහස් වේ. වින්ටර්නිට්ස් පඬිතුමාගේ අදහස වූයේ ‘පිටක’ යන්නෙන් ආභරණ, මැණික් ආදිය පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කර තබන මඤ්ජූසාවක් අදහස් කරන බව ය. මෙවැනි අදහස් කීපයක් වුව ද මෙම පදය සඳහා ඉදිරිපත් විය හැකි අතර අවසානයේ දී අප තෙරුම් ගත යුතු ව ඇත්තේ ‘පිටක’ යන පදයේ වාච්‍ය අර්ථයෙන් නො ව  කිසියම් රූපක අර්ථයකින් එය ආගමිකග්‍රන්ථ උදෙසා භාවිත වන බවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායයේ දී සූත්‍ර, විනය සහ අභිධර්ම යන කොටස් තුන පිටක වශයෙන් ගෙන ‘ත්‍රිපිටකය’ යන පදය සමස්තයක් වශයෙන් බෞද්ධ ආගමිකග්‍රන්ථ හැඳින්වීම පිණිස භාවිත වේ. මෙම අර්ථයෙන් ‘තිපෙටකො’ (ත්‍රිපිටකය උගත්) යන පදය අපට පරිවාරපාළියේ දී පවා හමු වන අතර පුරාවිද්‍යාත්මක වශයෙන් ‘තිපිටක’ යන පදය අපට මුලින් ම හමු වන්නේ ව්‍ය.ව. පළමු සියවසට අයත් සෙල්ලිපිවල ය[1]. ඒ අනුව, යටත් පිරිසෙයින් පළමු සියවස වන විට ‘ත්‍රිපිටකය’ යනුවෙන් සකස් වූ පූර්ණ බෞද්ධ ආගමික ග්‍රන්ථාවලියක් අපට තිබූ බව නිවැරදි ව තහවුරු කර ගත හැකි ය.

‘ථේරවාදී ත්‍රිපිටකය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන කරුණ ගැන ද මෙහි දී අපගේ අවධානය යොමු විය යුතු ය. ‘ථේරවාදී’ යන පදය අතීතයේ යුග තුනක දී අර්ථ තුනක් සඳහා භාවිත වී ඇත. පෙළ දහමෙහි අපට හමු වන ‘ස්ථිරවාදය’ නැතහොත් නොවෙනස් වන අදහස යන තේරුම අත්හළ විට අටුවා යුගයේ දී මෙය මුලින් ම භාවිත වූයේ බුද්ධ වචනය පවත්වා ගෙන ආ තෙරුන් වහන්සේගේ පෞද්ගලික මත (අත්තනොමති) හැඳින්වීම පිණිස ය (සමන්තපාසාදිකා, PTS. I.231). එහෙත් එයට සමාන්තරව පළමු සංගීතියේ පටන් මහතෙරුන් වහන්සේ පවත්වා ගෙන ආ සමස්ත ධර්ම විනය සම්භාරය ම හැඳින්වීම පිණිස මෙම ථේරවාද යන පදය භාවිත විය. පසුකලෙක ජනප්‍රිය වී ආයේ ද වංසකතාවල අපට හමු වන්නේ ද මෙම අදහස යි. ඒ අනුව, ‘ථේරවාදී ත්‍රිපිටකය’ යනුවෙන් අදහස් කරන්නේ මහාකාශ්‍යප මහරහතුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 500ක් මහතෙරුන් වහන්සේ පැවැත් වූ පළමු සංගීතියේ ද, කාලාශෝක රජු දවසේ  සබ්බකාමී තෙරුන් වහන්සේ ප්‍රධාන 700ක් මහතෙරුන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවැත් වූ දෙවන සංගීතියේද අශෝක අධිරාජයන්ගේ කාලයේ මොග්ගලීපුත්තතිස්ස තෙරුන් ප්‍රධාන කොට 1000ක් මහතෙරුන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදු කළ තුන්වන සංගීතිය ද සංගායනාවට භාජනය වූ ඉන් අනතරුව මහින්ද මහරහතුන් විසින් ලක්දිවට ගෙන එන ලද බුද්ධවචනය ය. මහින්ද මහරහතුන් වහන්සේගේ පැමිණීම අශෝක අධිරාජයන්ගේ කාලයේ සිදු වූ බැවින් ආසන්න වශයෙන් පූ.ව්‍ය.ව තුන්වන සියවසේ දී පමණ අපට (එනම් ලංකාවට) මෙම ත්‍රිපිටකය ලැබිණි. එවක් පටන් අපේ ලාංකේය හාමුදුරුවන් වහන්සේ එය දිවි හිමියෙන් ආරක්ෂා කොට පෝෂණය කළ හ.

මෙලෙස වසර 2300ක් පමණ කාලයක් අපේ හාමුදුරුවන් වහන්සේ දිවි හිමියෙන් රැක ගෙන ආ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම සැබැවින් ම ශ්‍රී ලාංකික බෞද්ධයන් අමන්දානන්දයට පත් කරන ප්‍රවෘත්තියක් වනු නො අනුමානය. එහෙත්, ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම වනාහී සිංහරාජ වනය ජාතික උරුමයක් කිරීම හෝ සීගිරිය ජාතික උරුමයක් කිරීම වැනි කටයුත්තකට වඩා බෙහෙවින් වෙනස් බව මා ගේ හැඟීමයි. මේ නිසා, ඒ පිළිබඳ ව සමීප ව කියවා බැලීමක් අවශ්‍ය වේ. යම් කිසිවක් රටක ජාතික උරුමයක් කිරීම නිසා සිදු වන පළමු දෙය නම් එය රැක ගැනීමේ වගකීම සමස්ත ජාතියේ ම වගකීමක් බවට පත් වීම යි. ඒ අනුව, ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම නිසා එය රැක ගැනීම යන වගකීම සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙත පැවරේ. මෙහි දී ඇත්තට ම සිදු වන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රජය පාර්ශ්වකරුවෙකු බවට පත් වී ත්‍රිපිටකය රැක ගැනීමට රජය යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු තත්ත්වයට පත් වීම ය. අනෙක් අතට ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම යනු ත්‍රිපිටකය පිළිබඳ බුද්ධිමය දේපළ අයිතිය රජය වෙත පවරා ගැනීමක් නො විය හැකි ය. ඇයි ද යත්, එය ජාතික උරුමයක් බැවින් සමස්තයක් වශයෙන් ඕනෑ ම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට - ඔහුගේ හෝ ඇයගේ ආගම ජාතිය කුමක් වුවත් - ත්‍රිපිටකය සංස්කරණය කිරීම, අලුත් අදහස් ඉදරිපත් කිරීම, එය වැඩි දියුණු කිරීම වැනි කටයුත්තක් කිරීමේ අයිතිය හිමි විය යුතු වේ. ඒ අනුව, මෙතෙක් බෞද්ධයන් පමණක් සිදු කළ ත්‍රිපිටකයේ ධර්ම-විනය කොටස්වලට අර්ථ දැක්වීමේ කාර්යය අනාගතයේ දී කතෝලික, මුස්ලිම් ආදි ඕනෑම අයෙකුට කළ හැකි වේ. රජයට මෙහි දී කළ හැකි එක ම කාර්යය නම් කිසියම් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ත්‍රිපිටකයේ අන්තර්ගත කිසියම් ධර්ම කරුණකට හෝ විනය කරුණකට හෝ විකෘති අර්ථකථනයක් ලබා දේ නම් එය නිවැරදි කිරීම හෝ එබඳු දේ සිදු කිරීම වැළක්වීම පිණිස හෝ කටයුතු කිරීම ය. මෙය කිසිසේත් ම රජයකට පහසු කාර්යයක් නො වනු ඇත. යම් කිසි ධර්ම කරුණකට ‘මේ අර්ථය පමණක් නිවැරදි ය’ ‘මේ අර්ථය වැරදිය’ ආදි වශයෙන් රජය නිගමනය කරන්නේ කෙසේ ද? එය ඉතා දුෂ්කර ශාස්ත්‍රීය වෑයමකින් පසුව කළ යුතු කාර්යයකි. එවැනි කාර්යයක දී රජය විසින් විශ්වාසය තබන්නේ කුමන පාර්ශ්වයක් වෙත ද? කුමන පුද්ගලයන් මත ද? එකී පාර්ශ්වය හෝ එකී පුද්ගලයන් හෝ පමණක් නිවැරදි බවත් අනෙක් පාර්ශ්ව හෝ පුද්ගලයන් හෝ වැරදි බවත් රජය පිළිගන්නේ ඇයි? කිසියම් පුද්ගලයෙකු ඉතා සාපරාධී ලෙස බුදුසසුන විනාශ කිරීමේ දුෂ්ටචේතනාවකින් ක්‍රියා කරන අවස්ථාවක දී හැර වෙනත් අවස්ථාවක දී යම් පුද්ගලයෙකුට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ලැබෙන අදහස් පැවසීමේ අයිතිය උදුරා දමන්නට ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කළ නො හැකි දෙයකි. මේ නිසා, මේ කටයුත්ත රජයකට අතිශයින් දුෂ්කර වනු ඇත.

මෙහිදී රජය විසින් සමස්ත ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් කරනු වෙනුවට 2500 සම්බුද්ධ ජයන්තීය වෙනුවෙන් සංස්කරණය කොට පරිවර්තනය කළ බුද්ධ ජයන්තී ත්‍රිපිටකය පමණක් ජාතික උරුමයක් බවට පත් කරන්නේ නම්, එහි දී ද එම බුද්ධ ජයන්තී ත්‍රිපිටකය පරිශීලනය කිරීමේ සහ අර්ථකථනය කිරීමේ අයිතිය මා මුලින් කීවා සේ සමස්ත ජාතියට ම උරුම කර දීමට රජය බැඳී සිටියි. යම් කිසි ආකාරයකින්, රජය විසින් නීති රෙගුලාසි හෝ අණපනත් සම්මත කරවා ගෙන මෙම ත්‍රිපිටකය කිසිදු වෙනසක් නො කර ආරක්ෂා කළ යුතු බව නීත්‍යනුකූලව සකස් කර ගත හොත්, එවිට ලංකාවේ සියලු උගතුන් බුද්ධ ජයන්තී ත්‍රිපිටකය හැර දමා එංගලන්ත පාලි පොත් සමාගමේ සංස්කරණයෙන් පළ වූ හෝ බුරුමයේ ඡට්ඨ සංගායනාවෙන් පළ වූ හෝ ත්‍රිපිටකය පරිශීලනය කිරීමට ආරම්භ කරනු ඇත. මේ නිසා අවසානයේ දී සිදු වන්නේ, බුද්ධ ජයන්තී ත්‍රිපිටකය රජය විසින් කිසියම් ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස ආරක්ෂා කර තබා ගැනීම පමණකි.

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම නිසා මෙවැනි අර්බුද රැසක් පැන නැඟිමට ඉඩ ඇති බැවින් ඒවා හැකි තාක් අවම කොට  ගෙන ත්‍රිපිටකය මේ රටේ ජාතික උරුමයක් ලෙස රැක ගැනීමේ වැදගත්කම අතිශයින් සුබවාදී තැනකට ගෙන ඒම පිණිස කරුණු කීපයක් දැක්වීමට මෙම ලිපියෙන් මම අදහස් කරමි. මා ඉදිරිපත් කරන අදහස් කෙතෙක් දුරට සාධාරණ වේ ද යන්න පාඨකයාට දැනවීම පිණිස මුලින් ම ථේරවාදී ත්‍රිපිටකය පිළිබඳ සංක්ෂිප්ත විමර්ශනයක් සිදු කිරීම යෝග්‍ය යයි හඟිමි.

ථේරවාදී ත්‍රිපිටකයේ සකස් වීම

ථේරවාදී ත්‍රිපිටකය යනුවෙන් අද අප පිළිගන්නා කෘති සමූහය සංගීති තුනකින් සකස් වූවක් බව ඉහත දැක්වූයෙමි. පළමු සංගීතියේ දී අභිධර්මපිටකය වෙන ම සංගායනා වුණ බවක් සමන්තපාසාදිකාවේ එන ප්‍රථම සංගීති විස්තරය අනුව නො පෙනේ (I.14-16). එය සූත්‍රපිටකයට අයත් ඛුද්දකනිකායේ බහා පවත්වා වා ගෙන ආ බව අපට නිගමනය කළ හැක්කේ නිකායග්‍රන්ථ හතරට අයත් නො වන බුද්ධ වචනය ඛුද්දකනිකායේ ආ බව කී නිසා ය (තත්ථ ඛුද්දකනිකායො නාම චත්තාරොනිකායෙ ඨපෙත්වා අවසෙසං බුද්ධවචනං). අභිධර්මපිටකය පශ්චාත්කාලීන සංවර්ධනයක් ය යන අදහස ඉදිරිපත් වන්නේ මූලික ව මෙම සාධකය පාදක කොට ගෙන ය. අභිධර්ම පිටකය ප්‍රථම සංගීතියේ දී සංගායනා කළ බව සුමඞ්ගලවිලාසිනියේ එන විස්තරය පිළිගැනීමට අසීරු වන්නේ ප්‍රකරණ හතම එහි දී සංගායනා වූ බව පවසන නිසා ය. කථාවත්ථුව, තුන්වන සංගීතියේ දී සකස් වූ බව සමන්තපාසාදිකා අටුවා ව පෙන්වා දේ. මේ නිසා අටුවාවල පෙනෙන ඇතැම් කරුණු ගැටලු සහගතය. විනයපිටකය වුව ද සම්පූර්ණයෙන් ප්‍රථම සංගීතියේ දී සංගායනා නො වුණ බව අපට හැඟෙන්නේ විනයපිටකය ගැන ‘ප්‍රථම සංගීතියේ දී සංගායනා වූ ද සංගායනා නො වූ ද සියල්ල එකට ගැළපෙන සේ සකස් කොට...’ (තත්ථ පඨමසංගීතියං සංගීතඤ්ච අසංගීතඤ්ච සබ්බංපි සමෝධානෙත්වා...) යනුවෙන් බුද්ධඝෝස හිමියන් පවසන බැවිනි (I.18). එසේ ම මජ්ඣිම නිකායේ හමුවන බක්කුල සූත්‍රය දෙවන සංගීතියේ දී එකතු කරන ලද්දකි (MA. IV.197). එසේ ම අංගුත්තර නිකායේ දී (A.III.57-62) හමු වන මුණ්ඩ රජතුමා අජාසත්ත රජතුමාගේ මී මුණුබුරෙකු විය හැකි බැවින් එම සූත්‍ර දේශනාව ද පසුව එකතු කරන ලද්දක් සේ සැලකිය හැකි ය. මේ ආකාරයට ප්‍රථම සංගීතියේ සිට ක්‍රමයෙන් යම් යම් කොටස් එකතු කරමින් මෙම ත්‍රිපිටකය වර්ධනය කර ඇත. එහෙත් තුන්වන ධර්ම සංගීතියෙන් පසුව යමක් ත්‍රිපිටකයට ඇතුළත් කළේ ද යන්න ඉතා සැක සහිත ය[2]. ඛුද්දකනිකායට අයත් ජාතකපාළි, චරියාපිටක, බුද්ධවංස, අපදාන වැනි කෘතිවල ඇති බෝධිසත්ත්ව සංකල්පය සහ පාරමිතා සංකල්පය නිසා එම කෘති පසුව එකතු කරන ලද ඒවා සේ සැලකෙතත් ඒවා ගැන විධිමත් අධ්‍යයනයක් කළ යුතු ව ඇත.

ප්‍රථම ධර්ම සංගීතියේ සිට ලංකාවේ දී ත්‍රිපිටකය ලියා තබන තුරු ම එය මුඛපරම්පරාවෙන් පවත්වා ගෙන පැමිණියේ ය. ථේරවාදී ත්‍රිපිටකය මෙලෙස කටපාඩමින් පවත්වා ගෙන පැමිණීම නිසා එය විවිධ වෙනස්කම්වලට භාජනය වීමට ඉඩ ඇති බව අද බොහෝ දෙනා සැක පහළ කරති. එසේ සැක පහළ කරන්නේ කටපාඩමින් පවත්වා ගෙන පැමිණීම පිළිබඳ ව ඒ අය නිසි අවබෝධයක් ලබා නැති නිසා ය. බෞද්ධයන්ගේ ත්‍රිපිටකය පමණක් නො ව බ්‍රාහ්මණයන්ගේ වේදසංහිතා ද ජෛනයන්ගේ ආගම ද මෙලෙස කටපාඩමින් පවත්වා ගෙන ආ කෘති වෙයි. මෙසේ කටපාඩමින් තම ආගමික ග්‍රන්ථ පවත්වා ගෙන යාමට එකල භාරතයේ සම්ප්‍රදායයක් තිබිණි. එම සම්ප්‍රදායය ඉතා විධිමත් ආකෘතියකට අනුව සකස් කොට තිබූ අතර සුළු වැරදීමක් හෝ වීමට තිබූ ඉඩ කඩ ඉතා අවම ය. බෞද්ධ සූත්‍ර ආදිය ගැන සකලා බැලුවත් මේ තත්ත්වය මෙසේ ම ය. උදාහරණයක් ලෙස ගත හොත් සූත්‍ර විනය ආදි කටපාඩම් කරන කොටස් ‘බණවර’ ලෙස සකස් කළ කොටස්වලට වෙන් කර තිබුණි. බණවරක් යනු අක්ෂර 8000කි. මෙහි අක්ෂර යනුවෙන් අදහස් කරන්නේ ගුරු හෝ ලඝු හෝ මාත්‍රාවකි. ඒ අනුව, ‘බුද්ධ’ යන පදයේ ඇත්තේ අක්ෂර දෙකකි. මේ සෑම දේශනයක ම අක්ෂර ඉතා සූක්ෂ්ම ලෙස ‘සූත්‍ර ශෛලියෙන්’ කිව හැකි පරිදි සකස් කොට ඇත. සූත්‍ර ශෛලිය යනු නූලක් මෙන් එක දිගට නොකඩවා කියා ගෙන යාමේ හැකියාව ය. එකල මෙම මුඛපරම්පරා ගත ක්‍රමය අනුව, යම් ගුරු හාමුදුරුකෙනෙකු තම ශිෂ්‍යයාට තමා කටපාඩම් කර ගෙන සිටින්නේ යම් සේ ද ඒ සියල්ල ඒ විදිහට ම පාඩම් කරවයි. ශිෂ්‍යයා ලවා නැවත නැවත කියවමින් ඔහුට ඒ සියල්ල නිසි සේ පාඩම් ඇති බව තහවුරු වන තෙක් ඔහුගේ පාඩම අවසන් නො කරයි. මේ ආකාරයට එක ම ධර්ම කොට්ටාසය පාඩම් කර ගෙන සිටින කීප දෙනෙකු එක සමීපයේ ජීවත් වෙත්. ඉදින් කිසියම් පුද්ගලයෙකුට තමා මතක තබා ගත් ධර්ම කොටස්වලින් යම් පමණක් අමතක වී ඇති බව දැනුනොත් අනෙක් කෙනා සමග සාමූහික ව සජ්ඣායනා කරමින් තමාගේ සහ ඔහුගේ මතකය සසඳා බලයි. යම් තැනක ගැටලුවක් මතු වුව හොත් තුන්වැනියෙකු සමග සසඳයි. මෙසේ තුන්වැනියෙකු සමඟ සසඳා බලා නිගමනය කිරීමට අපහසු තැනක දී හෝ සැසඳීමට තුන් වැනියෙකු නැති අවස්ථාවක දී අදාළ බණවරේ අකුරු 8000 ඇති දැයි ගණන් කර බලයි. ඉන් අනතුරුව අකුරු අඩු වී හෝ වැඩි වී ඇති තැන් බලා නිවැරදි කර ගනියි. මේ ආකාරයට කටපාඩමින් මතක තබා ගැනීම අතිශය සංවිධානාත්මක ව සහ විධිමත් ආකාරයකින් සිදු වී ඇති නිසා මුඛපරම්පරාගත ව ධර්මය පවත්වා ගෙන ඒමේ දී අතර මැද යම් යම් කොටස් හැළීම එකතු වීම වැනි දේ සිදු වීමට ඇති ඉඩ කඩ ඉතා අඩු ය.

මෙලෙස මුඛපරම්පරාගත ව ගෙන ආ ත්‍රිපිටකය ලංකාවේ දී ග්‍රන්ථාරූඪ කිරීම සිදු විය. එය සිදු වූයේ වළගම්බා රජතුමාගේ දෙවන රාජ්‍ය කාලයේ දී බව (පූ.ව්‍ය.ව. 89 - 76) මහාවංසය කියයි. මෙලෙස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිටුපස දොළොස් වසරක් පුරා පැවති සාගතයත් එම සාගතය නිසා ත්‍රිපිටකය කටපාඩමින් පවත්වා ගෙන ආ අපේ හාමුදුරුවරුන් පීඩා විඳි ආකාරයත් ගැන බොහෝ තොරතුරු ඇතත් එම සිදු වීම තරමක් සැක සහිත ය[3]. බ්‍රාහ්මණයන් වේදග්‍රන්ථ පවත්වා ගෙන ආවේ ද කටපාඩමිනි. එසේ කටපාඩමින් පවත්වා ගෙන ආ වේදග්‍රන්ථ ලියා තැබීමට ඔවුන් තීරණය කළේ දොළොස් අවුරුද්දක් පුරා පැවැති සාගතයකින් පීඩා විඳි නිසා ය. ජෛනයන් තමන්ගේ ආගමික ග්‍රන්ථ පවත්වා ගෙන ආවේ ද කටපාඩමිනි. ඔවුන් භාරතයේ උතුරු දෙසට හා දකුණු දෙසට විසිර ගියේ ද ඉන් අනතුරුව තමන්ගේ ආගමික ග්‍රන්ථ ලියා තැබිය යුතුයි කියා සිතා ඒ අනුව ක්‍රිය කළේ ද දොළොස් අවුරුද්දක් පුරා පැවති සාගතයකින් පීඩා වින්ද නිසා ය. මේ ආකාරයට අවුරුදු දොළහක් තිස්සේ සාගතයක් පැවතීමත් එහි පීඩාව නිසා තමන් කටපාඩමින් රැගෙන ආ ආගමිකග්‍රන්ථ විනාශ වේ යයි බියෙන් ඒවා ලියා තැබීමට තීරණය කිරීමත් භාරතයේ සුප්‍රකට එක්තරා ප්‍රබන්ධයක් සේ පෙනෙයි. ලංකාවට සාගතයක් නො පැමිණි බව හෝ එබඳු සාගතයකින් අපේ හාමුදුරුවරු පීඩා නො විඳි බව හෝ කීමට මම ඉක්මන් නො වෙමි. මා කියන්නට උත්සාහ කරන්නේ ‘දොළොස් අවුරුද්දක’ සාගතයක් පැවතීම තරමක අතිශයෝක්තියක් විය හැකි බවකි. ලංකාව දූපතකි. එහි එක් පසෙකින් විශාල සාගරයක් ය. අනෙක් පසින් විශාල බෙංගාල බොක්ක ය. මේ බෙංගාල බොක්කේ ඇති වන කැළඹීමක් නිසා ලංකාවට මොසම් වැසි ඇති වන බව අපි දනිමු. මේ නිසා, අවුරුදු දොළොහක් යන තුරු ම බෙංගාල බොක්කේ කැළඹීමක් ඇති නො වී තිබුණා යයි කීම සත්‍යයෙන් වඩා ඈත බව මගේ පිළිගැනීම යි. වසර දොළහ කෙසේ වෙතත් වසර දෙකක් තුනක් හෝ සාගතයක් පැවතීම කටපාඩමින් ධර්මය පවත්වා ගෙන එන හාමුදුරුවන් වහන්සේට දරුණු අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් මහාවංසය ඇතුළු බොහෝ මූලාශ්‍රයයන් අපට පෙන්වා දෙන්නේ මෙම සාගතයට වඩා විෂමමතධාරීන් ශාසනයට පැමිණීම හාමුදුරුවන්ගේ මතකශක්තිය සහ ප්‍රඥාව පිරිහීම වැනි කරුණු නිසා ත්‍රිපිටකය ලියා තැබීමට පෙළඹුණු බවයි. මෙහි දී මා වඩාත් කැමතියි ස්ටීවන් කොලින්ස් සමග එකඟ වීමට. ඔහු (Collins 1990) තම ලිපියෙන් තර්ක කර සිටින්නේ අභයගිරිකයන්ගේ බලපෑම නිසා මහාවිහාරිකයන් ත්‍රිපිටකය ලියා තැබීමට පෙළඹුණ බවය. ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් දෙකක් වන ත්‍රිපිටකය ලියා තැබීම සහ අටුවා පාලියට පෙරළීම යන කරුණු දෙක පිළිවෙළින් වළගම්බා රජු දවසේ සහ මහානාම රජු දවසේ සිදු වීම අහඹුවක් විය නො හැකි ය. මේ රජවරු දෙදෙනා ම මහාවිහාරයට විරුද්ධ වූ අභයගිරියට පක්ෂ වූ රජවරු ය.

ථේරවාදී ත්‍රිපිටකයේ ස්වභාවය

ථේරවාදී ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු ඉතා ම වැදගත් කරුණ නම් එහි ඇති ඓතිහාසිකභාවය ය. බෞද්ධ ආගමිකග්‍රන්ථ පාලි භාෂාවෙන් ථේරවාදී ත්‍රිපිටකයේ ඇතුළත් වන අතර චීන සහ ටිබෙට් පරිවර්තන ලෙස ද ශේෂ ව පවතී. මේ සියලු ග්‍රන්ථ අතුරින් චීන ත්‍රිපිටකයේ බොහෝ කොට ථේරවාදී ත්‍රිපිටකයට සමාන්තර ව යන ඉගැන්වීම් දකින්නට ලැබේ. ඒවා බොහෝමයක් දැනටමත් සංසන්දනාත්මක අධ්‍යයනයන්ට ලක් වී ඇති අතර ඒවායින් පෙනී යන්නේ පාලියෙන් දකින්නට ලැබෙන කොටස් වඩා පැරණි බව ය. ටිබෙට් බුදුදහම තුළ කන්ජූර් යනුවෙන් බුදුහාමුදුරුවන් දේශනා කළ සූත්‍ර සහ විනය යන කොටස් දෙක ම පවත්වා ගෙන යන අතර තන්ජූර් යනුවෙන් දැක්වෙන කෘති පෙළින් පශ්චාත්කාලීන දාර්ශනිකයන් විසින් ලියූ විවරණ සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ පවත්වා ගෙන යයි. ‘පචුට, සොතා’ යන පද දෙක පාදක කර ගෙන ටිබෙට් පරිවර්තනය සහ පාලි භාෂාවෙන් ඇති ථේරවාදී ත්‍රිපිටකයේ ස්වභාගය සොයා යන හින්‍යුබර් (Hinüber 1972) අවසානයේ දී එළඹෙන නිගමනය නම් පාලියෙන් වඩා පැරණි ස්වරූපය ආරක්ෂා වී තිබෙන බව ය.

ථේරවාදී ත්‍රිපිටකයේ ඓතිහාසික බව සනාථ කිරීම ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ සිදු වෙයි.

01.  බුදුදහමේ විකාසය ගැන ත්‍රිපිටකය ඇසුරින් ලැබෙන සාධක සලකා බැලීමෙන්.

02.  ත්‍රිපිටකය ඇසුරින් ලැබෙන ඓතිහාසික දේශපාලන සහ භූගෝලීය තොරතුරු විමසා බැලීමෙන්.

03.  පාලි භාෂාවේ ඇති ඓතිහාසිකභාවය විමසා බැලීමෙන්.

මේ කරුණු තුන දීර්ඝ ව සාකච්ඡා කළ යුතු වුවත් මේ ඒ සඳහා අවස්ථාව නො වන බැවින් ඉතා කෙටියෙන් පැහැදිලි කිරීමට අපේක්ෂා කරමි. පළමු ව, අනාලයෝ  (Anālayo 2012) ඉතා නිවැරදි ව පෙන්වා දෙන පරිදි තෝයිකාවල (තොදෙය්‍ය) කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ චෛත්‍යයක් තිබූ බව කියැවෙන කතාව ධර්මගුප්තක, මහීසාසක, මහාසාඞ්ගික සහ මූලසර්වාස්තිවාද විනය වස්තුවල ඇතත් ථේරවාදී ත්‍රිපිටකයේ නැත. ථේරවාදීන්ට එම කතාව ලැබෙන්නේ  ධම්මපදයේ 195 සහ 196 යන ගාථාවලට ධම්මපදට්ඨකථාවේ එන විස්තරයක් ලෙසට ය. මෙයින් පෙනෙන්න පසුකලෙක ජනප්‍රිය වූ ස්තූප වන්දනාව අපට ථේරවාදී විනයේ දකින්නට නො ලැබෙන බව සහ එය පසුකලෙක අටුවා යුගයේ දී ථේරවාදීන් අතරට පැමිණි බව ය. මේ ආකාරයට බුදුදහමේ බොහෝ ජනප්‍රිය ආගමික අංග ථේරවාදී ත්‍රිපිටකයේ මුල් සූත්‍ර හෝ විනය කොටස් අතර නැත.

දේශපාලනික වශයෙන් බැලුවත්, අශෝක අධිරාජයන් ගැන තොරතුරු ථේරවාදී ත්‍රිපිටකයේ නැත. අපට ලැබෙන දේශපාලනික තොරතුරු සියල්ල ම අශෝකයන්ගේ කාලයට පෙර භාරතයේ තිබුණු ඒවා ය. මජ්ඣිම නිකායේ අස්සලායන සූත්‍රයේ දී හමුවන ‘යොනකම්බොජ’ යන පදයෙන් වුව ද ඇත්තෙන් ම අදහස් කරන්නේ වහලුන් සහ වහල්හිමියන් ජීවත් වූ ස්පාර්ටාව ය. අශෝකයන්ගේ කාලයට පෙර සිට ම ග්‍රීසිය, බැක්ට්‍රියාව යන රටවල් සහ එහි මිනිසුන් ගැන භාරතීයයන් දැන සිටි බවට සාධක ඇත. මේ නිසා ත්‍රිපිටකයෙන් නිරූපණය වන භාරතය වනාහී ඉතා පැරණි එකකි[4].

අනෙක් අතට ථේරවාදී ත්‍රිපිටකයේ ඓතිහාසික බව පෙනෙන්නේ එහි භාෂාව නිසා ය. පාලි භාෂාව සාමාන්‍යයෙන් මධ්‍ය ඉන්දු-ආර්ය භාෂාවක් ලෙස සැලකේ. එහෙත් එහි අපට හමු වන ‘ඉධ’, ‘රාජුභි’ වැනි පද සම්භාව්‍ය සංස්කෘතයේ ද භාවිත වන්නේ නැත. සම්භාව්‍ය සංස්කෘතයේ දී අපට හමු වන්නේ ‘ඉහ’ ‘රාජභිඃ’ යන පද ය. එහෙත් පාලි පද ඍග්වේදයේ ඇති භාෂාවේ දී හමු වේ. අනෙක් අතට ‘නද්‍යා’ යන්න ‘නජ්ජා’ ලෙසත් ‘ඉත්‍යෙවම්’ ‘ඉච්චෙවං’ ලෙසත් වෙනස් වීමේ දී පෙන්වන්නේ එයට වඩා නූතන ප්‍රකෘත ලක්ෂණ ය. පාලි නාම වරනැඟීම, පාලි ක්‍රියා වරනැඟීම වැනි සාධක ගෙන බැලුවත් එය අයත් වන්නේ මධ්‍ය ඉන්දු-ආර්ය භාෂාවල මුල් අවස්ථාවට ය. මේ නිසා ත්‍රිපිටකයේ ඇති පාලි භාෂාව කුමන හේතුවක් නිසාවත් පූ.ව්‍ය.ව. දෙවන සියවසට වඩා තරුණ බව කිසිවෙකුට කිව නො හැකි ය. පාලි භාෂාවේ ඇති මෙම ඓතිහාසිත බව ද ථේරවාදී ත්‍රිපිටකයේ වඩා පැරණි බව පෙන්වන සාධකයකි.

අභිධර්ම පිටකයේ විකාසය ගැන යම් යම් ප්‍රශ්න ඇති කළ හැකි වුව ද ජාතකපාළි, චරියාපිටක, බුද්ධවංසපාළි වැනි ඛුද්දකනිකායට අයත් කෘති කීපයක් ගැන ප්‍රශ්න ඇති කළ හැකි වුව ද යටත් පිරිසෙයින් විනය පිටකයේ පාරාජිකපාළි, පාචිත්තියපාළි, මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි යන කෘති හතරත් සූත්‍රපිටකයේ දීඝ, මජ්ඣිම, සංයුත්ත සහ අංගුත්තර යන නිකාය හතරත් පූ.ව්‍ය.ව පළමු සියවසට වඩා පැරණි බව සියලුම විචාරකයො පිළිගනිති.

ථේරවාදී ත්‍රිපිටකයේ ඇති මෙම ඓතිහාසික බව හැරුණු විට එය බුදුදහම හැදෑරීම සම්බන්ධයෙන් අංග සම්පූර්ණ මූලාශ්‍රය සපයන කෘති පෙළක් යයි සැලකීම තරමක් අසීරුය. මේ පිළිබඳ ව විවිධ විචාරකයන් විවිධ අදහස් දක්වන නමුත් එක් කරුණක් පමණක් මෙහි දී විශද කිරීමට අපේක්ෂා කරමි.

වර්තමානයේ ථේරවාදී බුදුසමය ව්‍යාප්තව පවතින ලංකාව, ථායිලන්තය, මියන්මාරය වැනි රටවල බුදුසමය ගෙන බැලුවහොත් ඔවුහු සියලු දෙනා බුදු වීම, පසේ බුදු වීම සහ අරහත් වීම යන ආකාර තුන ම නිවන් දැකීමට හැකි මාර්ග ලෙස පිළිගනිති. පසේ බුදු වීම මොහොතකට අමතක කළත් බුදු වීම සහ අරහත් වීම යන කරුණු දෙක අවිවාදයෙන් පිළිගත යුතු ව ඇත. සංයුත්තනිකායේ (V.205) දකින්නට ලැබෙන අරහත්ත සූත්‍රය සහ සම්බුද්ධ සූත්‍රය පමණක් ගෙන බැලුවත් බුදු කෙනෙකුගේ සහ රහතුන් වහන්සේ කෙනෙකුගේ අවබෝධයේ යම් වෙනසක් ඇති බව පිළිගත යුතු වෙයි. රහතුන් වහන්සේ සහ බුදුන් වහන්සේ ලබන නිවන එක සමාන වුව ද රහත් වීම සහ බුදු වීම යනු එක සමාන ක්‍රියාවක් යයි නිගමනය කිරීමට තරම් කරුණු ථේරවාදී ත්‍රිපිටකයේ නැත. කරුණු මෙසේ වන කල්හි, රහත් වීමට මඟ පෙන්වන්නා සේම යම් අයෙකුට බුදු වීමට අවශ්‍ය නම් ඒ සඳහා මඟ පෙන්වීම ද කළ යුතුව තිබුණි. එහෙත්, හාමුදුරුවන් වහන්සේට කැමති නම් රහත් වී නිවන් දකින්න, කැමති නම් පසේ බුදු වී නිවන් දකින්න, කැමති නම් බුදු වී නිවන් දකින්න යයි උපදෙස් දෙන සූත්‍රයක් හො දේශනාවක් අපට ථේරවාදී ත්‍රිපිටකයෙන් හමු නො වේ. මහාපරිනිබ්බාණ සූත්‍රයේ පෙන්වන පරිදි තථාගතයන් වහන්සේගේ ධර්මය තුළ ගුරුමුෂ්ටි (ආචරියමුට්ඨි) නැති නම් බුදුන් වහන්සේ මේ කරුණු දෙක වෙන වෙන ම පෙන්වා දී තිබෙන තැනක් තිබිය යුතු වේ. බුදු වීමට කැමැති කෙනෙකු මෙසේ පිළිපැදිය යුතු යයි බුදු වීමට මඟ කියා දෙන තැනක් තබා බෝසතුන් පුරන ප්‍රතිපත්තියක් යන අර්ථයෙන් ‘පාරමිතා’ යන පදයවත් අපට මුල් සූත්‍ර දේශනාවල හමු වන්නේ නැත. ථේරවාදී ත්‍රිපිටකයේ ඇති මේ අඩුව පුරවන්නට ඉදරියට එන්නේ අටුවා විවරණයන් ය.

අභයගිරිකයන් වෛතුල්‍යවාදය පිළිගැනීම පිළිබඳ ප්‍රවෘත්තිය වැදගත් වන්නේ මෙහි දී ය. අතීතයේ මහාවිහාරය සහ අභයගිරිවිහාරය අතර ඇති වූ විරසකය පිළිබඳවත් එය ථේරවාදී ත්‍රිපිටකයට සහ ලංකාවේ බුදුසමයට බලපෑම් කළ ආකාරය ගැනත් මේ වන විටත් ප්‍රමාණවත් හැදෑරීමක් සිදු වී නැත. අසංග හාමුදුරුවන් අභිධර්මසමුච්චයේ දී පෙන්වා දෙන්නේ වෛපුල්‍ය, වෛදල්‍ය සහ වෛතුල්‍ය යන පද සමාන අර්ථයක් ගන්නා බවත් එයින් ‘බෝධිසත්ත්වපිටකය’ කියැවෙන බවත් ය. ඒ අනුව, අභයගිරිකයන් එදා පිළිගනු ලැබූයේ ථේරවාදී ත්‍රිපිටකයට ඌනපූරණ වශයෙන් ගත හැකි බෝධිසත්ත්ව චර්යාව නිරූපණය කරන ධර්ම කොට්ටාසයකි. එහෙත් ඉතිහාසයේ සිදු වූ විවිධ දේශපාලන හැලහැප්පීම් නිසා මහාවිහාරය ඉදිරියට පැමිණෙන අතර අභයගිරිවිහාරය යටපත් වෙයි. මෙහි දී අභයගිරිකයන්ගේ කෘතීන් ද විනාශයට පත් වෙයි. උපාලිපරිපෘච්ඡාසූත්‍රය අභයගිරිකයන්ගේ කෘතියක් වන අතර ඒ වෙනුවට මහාවිහාරිකයන් පාරිවාරපාළි යන කෘතිය සකසා ගනී. අභයගිරිකයන්ගේ ‘විමුත්තිමග්ගය’ වෙනුවට මහාවිහාරිකයන් ‘විසුද්ධිමග්ග’ යන කෘතිය බිහි කර ගනී. කෙසේ වෙතත් අභයගිරිකයන් යටපත් වී මහාවිහාරිකයන් ශේෂ වීම යන කාරණය මත අභයගිරිකයන් මේ රටේ බුදුසමයට ඇති කළ බලපෑම සම්පූර්ණයෙන් යටපත් වූවා යයි සැලකීම අසීරු ය. එදා වළගම්බා රජු දවස ලියූ ථේරවාදී ත්‍රිපිටකය අද අප අතට පත් වී ඇති ආකරය දක්වා යම් යම් හැඩතල වෙනස් කිරීමට මෙම අභයගිරිකයන් යම් කාර්යයක් කර ඇති බව පිළිගත යුතු වේ.

බුද්ධ ජයන්තී ත්‍රිපිටකය

වසර 2000කට අධික කාලයක් ලංකාවේ අපේ හාමුදුරුවරු පවත්වා ගෙන ආ ත්‍රිපිටකය ඉතා විශාල පරිශ්‍රමයක් දරා 2500 බුද්ධජයන්තීයට සමගාමීව සිදු වූ සත් ක්‍රියාවක් සේ සිංහල භාෂාවට පරිවර්තනය වීම සිදු විය. මෙම සත් ක්‍රියාව සිදු කරන ලද්දේ එවක ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ උගත් යතිවරයන් වහන්සේ සහ ගිහි පඬිවරුන් කීපදෙනෙකු ද සම්බන්ධ වූ ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයක් මඟිනි. එම ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ප්‍රධානත්වය දැරූවේ පූජ්‍ය. වැලිවිටියේ සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. 1955 මාර්තු 19 වන දින කොළඹ රාජකීය විද්‍යාලයයේ සංවිධානය කොට තිබූ සභාවේ දී එවක අග්‍රාමාත්‍ය ජොන් කොතලාවල මහතා ත්‍රිපිටක පොත් මෙම මණ්ඩලය වෙත ප්‍රදානය කිරීමත් සමග මෙම බුද්ධ ජයන්තී ත්‍රිපිටක පරිවර්තන කාර්ය නිල වශයෙන් ආරම්භ විණි. මෙම මණ්ඩලය විසින් දියත් කළ වසර 34ක පරිශ්‍රමයෙන් පසුව වෙළුම් 57කින් සම්පූර්ණ කොට පළ කළ බුද්ධ ජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවක් එළිය දුටුවේ ය.

මෙම ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ පෙළ සංස්කරණය අතිශයින් ප්‍රශස්ත මට්ටමක පවතී. එය එංගලන්තයේ පාලි පොත් සමාගම කළ සංස්කරණයටත් බුරුමයේ සිදු කළ ඡට්ඨ සංගායනාවටත් නො දෙවැනි තත්ත්වයක පවතී. එම සංස්කරණයේ යම් අඩුපාඩුවක් වෙතොත් එය ඉතා ම කලාතුරකින් කුශාග්‍ර පාලි උගතෙකුට පමණක් මුණ ගැහෙන අඩුපාඩුවකි. අනෙක් අතට එහි දී සිදු වූ සිංහල පරිවර්තනය එකල පැවැති බුද්ධි මහිමයට සාපේක්ෂව අගය කළ හැකි වුව ද අද වන විට ඉතා ම අඩු උපයෝගීතාවක් ඇති පරිවර්තනයක් බවට පත් වී ඇත. ඒ පහත දැක්වෙන කරුණු නිසා ය.

ඉතා ම වැදගත් කරුණ නම් පරිවර්තනයේ ඇති වැරදුණු තැන් ය. උදාහරණයක් ලෙස දීඝනිකායේ බ්‍රහ්මජාලසූත්‍රයේ “හොති ඛො සො භික්ඛවෙ සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්ටති” යන පාඨය පරිවර්තනය කරන්නේ මෙසේ ය. “මහණෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මේ ලොව නස්නේ ද, එබඳු වූ කාලයක් වේ මය.” (බු.ජ.ත්‍රි. 31 පිට). මෙම පරිවර්තනයට අනුව ‘සංවට්ටති’ යන පාලි පදය පෙරළා ඇත්තේ ‘නස්නේ’ එනම් නැති වේ, විනාශ වේ වැනි අර්ථයකිනි. මේ ආකාරයට ම එම පිටුවේ දී ම ‘විවට්ටති’ යන පදය පෙරළා ඇත්තේ ‘නැවත හට ගන්නේ’ යනුවෙනි. ඉදින් කිසියම් අයෙකු පාලි භාෂාව ගැන කිසිවක් නො දැන මේ සිංහල පරිවර්තනය පමණක් කියැවූයේ නම් ඔහුගේ / ඇයගේ අවබෝධය වන්නේ බුදුන් වහන්සේ, ලෝකය විනාශ වී නැවත හට ගන්නා බවක් කී ලෙසට ය. පාලියෙන් ‘සංවට්ටති’ යයි කීවේ සංවෘත්ත හෙවත් හැකිළීමට ය. ‘විවට්ට’ යයි කීවේ විවෘත්ත හෙවත් දිග හැරීමට ය. දීඝනිකාය ඉංග්‍රීසියට පෙරළීමේ දී මොරිස් වැල්ශේ විසින් මෙම පද දෙක පිළිවෙළින් contract සහ expand යනුවෙන් පෙරළා ඇත. ඇත්තෙන් ම මෙහි දී සිදු වී ඇත්තේ භාෂාව පිළිබඳ ගැටලුවකට වඩා තත්කාලීන දැනුම පිළිබඳ ගැටලුවකි. මෙම පරිවර්තනය කරන කාල වකවාණුව වන විට ලෝකය සහ මෙම විශ්වය පිළිබඳ ව අපේ උගතුන්ට ඇති කර ගත හැකි වූ උපරිම දැනුම් මට්ටම නම් යම් දවසක එය විනාශ වේ යම් දවසක නැවත අලුතෙන් හට ගනී වැනි දැනුමක් මිස ඊට වඩා දෙයක් නො වේ. එබඳු දැනුම් තලයක සිට ‘විශ්වය හැකිළේ දිගහැරේ වැනි අදහසක් පළ කිරීම’ හාස්‍යයට භාජනය විය හැකි දෙයක් යයි නායක හාමුදුරුවන්ට සිතුණා විය හැක. එහෙත් ලෝකය සහ විශ්වය පිළිබඳ අපගේ දැනුම අද ඊට වඩා වෙනස් ය. මේ නිසා, සංවට්ට විවට්ට යන පද හැකිළේ, දිගහැරේ යනුවෙන් පරිවර්තනය කිරීම කිසිසේත් ම හාස්‍යයට කරුණක් නො වේ. අනෙක් අතට එය නිවැරදි පරිවර්තනය ද වේ. කෙසේ වෙතත්, මේ ආකාරයට එකල තිබූ දැනුටම සාපේක්ෂව කළ පරිවර්තනය මෙකල දැනුමට සාපේක්ෂව තව දුරටත් සංස්කරණය කළ යුතු බව පෙන්වීමට මෙය කදිම උදාහරණයකි.

බුද්ධ ජයන්තී පරිවර්තනයේ ඇති ගැටලුවක් නො වෙතත් තවදුරටත් වැඩි දියුණු කළ හැකි අවස්ථාවක් නම් ඉතා සංකීර්ණ පාලි පද සඳහා භාෂා විද්‍යාත්මකව අධ්‍යයනයක් සිදු කිරීම ය. මජ්ඣිමනිකායේ මාගන්දිය සූත්‍රයේ හමු වන ‘භූනහුනො’ යන පදය එවැන්නකි. මෙම පදයට සිංහලයෙන් තේරුම දීමේ දී (බු.ජ.ත්‍රි. 289 පිට) ‘හතවෘද්ධි’ යනුවෙන් දී ඇත. එසේ අර්ථ කියා ඇත්තේ අටුවාව දෙස බලා ය. එම සූත්‍රය සමීපව කිය වූ විට පෙනෙන්නේ මෙම පදයෙන් ඉතා බරපතල අපහාසාත්මක අර්ථයක් කියැවෙන බව ය. බුදුන් වහන්සේ සිදු කරන්නේ ඇත්තෙන් ම එම පදයේ තේරුම තමන් වහන්සේට අනුරූප වන පරිදි වෙනස් කර ගැනීමකි. එහෙත් මාගන්දිය බමුණා එය භාවිත කරන්නේ කිසියම් අපහාසයක් ඇතැම්විට කුණුහරුපයක් කියන්නාක් මෙන් තේරුමකට ය. එම තේරුම කිසිසේත් ම ‘හතවෘද්ධි’ යන පදයෙන් ලැබෙන්නේ නැත. මේ නිසා එවැනි දුරවබෝධ පද සමග යම් පැහැදිලි කිරීමක් පාදක සටහනක් ලෙස හෝ එකතු විය යුතුව තිබුණි. නො එසේ නම් එවැනි පදයක නිරුක්ති අර්ථය සෙවීමට සහ අටුවාව සමග සැසඳීම වැනි කරුණක් කළ යුතු ව තිබුණි. යටත් පිරිසෙයින් එවැන්නක් කළ යුතු බව දක්වමින් පාඨකයා දැනුම්වත් කළ යුතු ව තිබුණි. සමස්ත බුද්ධ ජයන්තී පරිවර්තනයේ ම දක්නට ලැබෙන්නේ මේ ආකාරයට අටුවාව වෙත අතිශයින් පක්ෂපාතී වීමක් මිස ඉන් ඔබ්බට සිදු කරන ශාස්ත්‍රීය අධ්‍යයනයක් නො වේ.

බුද්ධ ජයන්තී පරිවර්තනය සම්බන්ධයෙන් පොදුවේ මතු වන චෝදනාව මේ සියල්ලට වඩා වෙනස් ය. එනම් එය සාමාන්‍ය පාඨකයාට කියවා තේරුම් ගත නො හැකි බව යි. මෙම පරිවර්තනය කරන්නේ විසි වන සියවසේ මැද භාගයේ දී ය. එම කාලය වන විටත් සිංහල භාෂාවේ සම්මත ලේඛන ව්‍යවහාරය කෙසේ විය යුතු ද යන්න ගැන අපට සම්මතයක් නො තිබිණි. මේ යුගය එක්තරා ආකාරයකට සිංහල භාෂාව ගැන අධ්‍යයන පර්යේෂණ සිදු කරන කාලයකි. එබඳු කාලයක මෙම පරිවර්තනය සිදු කළ නායක හාමුදුරුවරුනට යා හැකි ව තිබූ ඉතා ම ආරක්ෂිත ස්ථාවරය නම් සම්භාව්‍ය සිංහල භාෂා ව්‍යවහාරයට අනුව ලිවීම ය. ඒ අනුව, බුද්ධ ජයන්තී පරිවර්තනය සිදු කර ඇත්තේ සම්භාව්‍ය සිංහලයෙනි. ඒ පිළිබඳ ව එකී පරිවර්තක තෙරුන් වහන්සේට දොස් නැඟිය නො හැකි ය. එහෙත්, ඒ වන ම අප පිළිගත යුතු දෙය නම් එකී සම්භාව්‍ය සිංහල භාෂා ව්‍යවහාරය අද වන විට සාමාන්‍ය සිංහල පාඨකයාට නො තෙරේන බව ය.

ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ වැදගත්කම

මෙතෙක් සිදු කළ සාකච්ඡාවේ දී මා පෙන්වා දීමට උත්සාහ කළේ ථේරවාදී ත්‍රිපිටකයේ ස්වභාවය පිළිබඳ ව සහ බුද්ධ ජයන්තී ත්‍රිපිටක පරිවර්තනයේ ස්වභාවය පිළිබඳ ව ය. ඒ අනුව, එය ජාතික උරුමයක් බවට පත් කිරීම නිසා රජය පාර්ශ්වය මඟින් ත්‍රිපිටකය වෙත එළඹිය යුතු ආකාරය ගැන යෝජනා කීපයක් ඉදිරිපිත් කිරීමට දැන් අවස්ථාව වෙයි.

මුල දී ද කී පරිදි ත්‍රිපිටකය ජාතික උරුමයක් වීම නිසා එය රැක ගැනීමේ වගකීම රජය වෙත පැවරේ. එය රැක ගැනීම යනුවෙන් කුමක් සිදු කළ යුතු ද කුමන දිශානතීන් ගැන රජය අවධානය යොමු කළ යුතු ද යන්න වටහා ගැනීමට මා ඉහත දී කළ විග්‍රහය පාදක වේ යයි සිතමි.

01. මා සිතන අයුරින් මුල දී ම රජය කළ යුතු දේ නම් ත්‍රිපිටකය ඉතා සාර්ථක ලෙස මේ රටේ පොදු ජනතාව අතරට ගෙන යාම ය. කතෝලික බයිබලය සිංහලයට පරිවර්තනය වී තිබේ. අල්-කුරානය සිංහලයට පරිවර්තනය වී තිබේ. ඒවා කියවීමට සිංහල මිනිසාට සිංහල උපාධියක් කිරීමට අවශ්‍ය නැත. අනෙක් අතට, ඒවා එක්තරා දුරකට ශාස්ත්‍රීය තත්ත්වයකින් පවතී. අල්-කුරානය සිංහලයට පෙරළීමේ දී සිංහල භාෂාව සමග ගැටෙන සෑම තැනක දී ම අතිරේක විස්තර පාදක සටහන් ලෙස යොදමින් එය සිදු කර ඇත. මේ නිසා ඉස්ලාම් දහම ගැන පූර්ව දැනුමක් නැති අයෙකුට වුව ද එය කියවා තේරුම් ගත හැකි ය. එහෙත් ථේරවාදී ත්‍රිපිටකය එසේ නො වේ. එය සාමාන්‍ය පාඨකයා වෙත ගෙන යා හැකි නිවැරදි, ශාස්ත්‍රීය ලෙස සිදු කළ, පරිවර්තකයාගේ පාණ්ඩිත්‍ය නො පෙන්වන සරල භාෂා ශෛලියෙන් ලියැවුණු ත්‍රිපිටක පරිවර්තනයක් අපට අවශ්‍ය ය.

02. ථේරවාදී ත්‍රිපිටකයේ සැඟවුණු තැන් ඉස්මතු කරමින්, ගැටලු තැන් ලිහමින්, නො පැහැදිලි තැන් පැහැදිලි කරමින් සිදු කරන අන්තර්ජාතික වශයෙන් පිළිගත හැකි ගුණාත්මක පර්යේෂණ සිදු කිරීමට මෙරටේ උගතුන් යොමු කරවීමේ වැඩ පිළිවෙළක් රජය වෙත තිබිය යුතු ය. එවැනි ශාස්ත්‍රීය අධ්‍යයන පර්යේෂණ කරන අයට අනුග්‍රහය දැක්වීම අධාර දීම වැනි දේ කළ යුතු වෙයි. එවිට, ජාති, ආගම් භේදයකින් තොර ව ත්‍රිපිටකය පිළිබඳ ව සිදු කරන ශාස්ත්‍රීය අධ්‍යයනයන් නිසා එහි අගය වැඩි දියුණු වනු ඇත.

03. ථේරවාදී ත්‍රිපිටකය අනෙකුත් බෞද්ධ ආගමික ග්‍රන්ථ සමග තුලනාත්මකව හදාරන පරිසරයක් ලංකාව තුළ ඇති කළ යුතු ය. එවිට ථේරවාදී ත්‍රිපිටකයේ යම් ඌනතාවක් වේ නම් එය ද පූරණය වන අතර අන්‍ය බෞද්ධ සම්ප්‍රදායයන් සමග ථේරවාදී බුදුසමය ලෝකය වෙත ඔසවා තැබීමට ද අපට හැකි වනු ඇත. ථේරවාදී අටුවාවට ම සීමා නො වී ඉන් ඔබ්බට ගොස් ත්‍රිපිටකයේ විවිධ ධර්ම කොටස්වලට එක් විය හැකි විකල්ප අර්ථවිවරණ අධ්‍යයනය කිරීමත් සමග ත්‍රිපිටකය වඩාත් සාර්ථක ව විවිධ ක්ෂේත්‍රයනට උපයෝගී කොට ගත හැකි ආකාර ගැන පර්යේෂණය කිරීමටත් මෙමඟින් මඟ හෙළි වේ.

04. ථේරවාදී ත්‍රිපිටකය මෙන් ම අටුවා ටීකා ද අපේ හාමුදරුවන් වහන්සේ රැක ගෙන විත් තිබේ. ත්‍රිපිටක අධ්‍යයනයේ දී මෙම අටුවා ටීකා අත් නො හැර සියල්ල එක ම වටිනාකමකින් යුතුව රැක ගැනීමේ කාර්යයට රජය උර දිය යුතු වේ. තවත් ලෙසකින් කිවහොත් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස රැක ගැනීමේ දී අටුවා ටීකා ද රැක ගැනීම අනිවාර්ය වේ.

05. අවසානයේ දී මා හිතන්නේ, ත්‍රිපිටකය දෙමළ භාෂාවට පරිවර්තනය කළ හැකි බෞද්ධ උගතුන් පිරිසක් මේ රටේ බිහි කොට ඔවුන්ගේ සහාය ඇතිව ත්‍රිපිටකය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ භාර දූර වගකීම රජය විසින් දැරිය යුතු බවකි. බයිබලය, කුරානය වැනි අන්‍ය ආගමිකග්‍රන්ථ බෙහෝ කලක සිට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනින් ම හැදෑරීමට ශ්‍රී ලාංකිකයනට හැකි වී තිබුණත් අද වන විටත් ත්‍රිපිටකය දෙමළ භාෂාවෙන් හැදෑරීමට මේ රටේ පුරවැසියන්ට නො හැකි වී තිබේ.

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම යන කාරණය නිමිති කොට ගෙන එය රැක ගැනීමේ උදාර මෙහෙවර වශයෙන් රජය විසින් මෙකී කාර්යයන් කරන්නේ නම් වසර 2300කට අධික කාලයක් තිස්සේ අපේ හාමුදුරුවරුන් රැක ගෙන ආ ලෝකයේ ඇති පැරණි ම ලේඛන කොට්ටාසයක් වන ථේරවාදී ත්‍රිපිටකයට අප කළ යුතු ඉහළ ම යුතුකම කළ බව සිතිය හැකි ය.

ආශ්‍රිත

Adhikaram, E.W. 2009. Early History of Buddhism in Ceylon: Or State of Buddhism in Ceylon as Revealed by the Pāli Commentaries of the 5th Century A.D. Colombo: Buddhist Cultural Centre.
Anālayo. 2012. ‘The Historical Value of the Pali Discourses’. Indo-Iranian Journal 55: 223–53. https://doi.org/10.1163/00197241X620187.
Collins, Steven. 1990. ‘On the Very Idea of the Pali Canon’. Journal of Pali Text Society 15: 89–126.
Hinüber, Oskar von. 1972. ‘Pāli Philology and the Tibetan Translation of Buddhist Texts. Two Examples (Pacuṭa, Sotā)’. Indo-Iranian Journal 14 (3/4): 198–203.




[1] පාලි, පිටක, ත්‍රිපිටක යන පද භාවිතයට පැමිණි ආකාරය ගැන කෙටි හැඳින්වීමක් බලන්න, (Collins 1990, 74–75)
[2] ලංකාවේ දී ත්‍රිපිටකයට යම් යම් කොටස් එකතු වූ බව කියමින් ඉදිරිපත් වී ඇති ඇතැම් තර්ක අසාර්ථක බව අනාලයෝ ඉතා මැනවින් පෙන්වා දේ. බලන්න (Anālayo 2012).
[3] එම තොරතරු පිළිබඳ විවිත්‍ර විග්‍රහයක් සඳහා බලන්න (Adhikaram 2009, 74 ff)
[4] මේ කරුණු ගැන ඉහත දැක්වූ අනාලයෝගේ ලිපිය දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරයි.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප