Skip to main content

ලංකාවේ බෞද්ධ-අධ්‍යාපනයේ පෙනෙන කල් ඉකුත් වූ බුදුසමය


ලෝකයේ දිනෙන් දින බුදුසමය ගැන අධ්‍යයන සිදු වේ. මේ නිසා කාලයක් තිස්සේ පැවැත ආ ආකල්ප දැන් දැන් වෙනස් වෙමින් පවතී. නමුත් ලංකාව යනු තවමත් ආධ්‍යාපනික වශයෙන් නො දියුණු තත්වයක පසු වන පසුගාමී අධ්‍යාපනයක් ඇති රටකි. හැම විටම ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කළ කල් ඉකුත් වූ දැනුම පමණක් ගෙන ඇවිත් පාසල් පද්ධතිය තුළත් දහම්පාසල් පද්ධතිය තුළත් ව්‍යාප්ත කිරීම අපේ අධ්‍යාපන බලධාරීන්ගේ අරමුණ වී ඇති බව පෙනේ. මේ තත්වය ක්‍රමයෙන් විද්‍යා හා තාක්ෂණ විෂයධාරාව තුළ වෙනස් වන බව පෙනෙන්නට තිබීම සතුටට කරුණකි. නමුත් ශාස්ත්‍රවිෂයධාරාව තුළ එහි වෙනසක් දකින්නට තබා එවැනි දියුණුවක් ඇති කරන්නට හිතන අයෙකුවත් නැති තරම්ය. ඔවුන් කරන්නේ හැකි තාක් දුරට ශාස්ත්‍රවිෂයධාරාව අගාධයට ඇද දැමීමය. අද ලංකාවේ සා/පෙ සිංහල කරන දරුවන්ට ලංකාවේ මුලින්ම සිව්පද ආරින් ලියවුණ පද්‍යකෘතිය ‘සඳකිඳුරු දා කව’ බව ඉගැන්වීම එයට හොඳ උදාහරණයකි. එයට හේතුව වී ඇත්තේ කුරුණෑගල යුගයේ සිටි සිංහල බෝධිවංශය ලියූ විල්ගම්මුල නායක හාමුදුරුවන් සහ මහනුවර යුගයේ සිටි එම පරපුරට අයත් භික්ෂුව, දෙදෙනෙකු නොව එක් අයෙකු බව පාසල් පොත් හැදූ බලධාරීන් සහ මහාචාර්යවරු සිතීමය. කුරුණෑගල යුගයේ සහ මහනුවර යුගයේ භාෂා වෙනස වත් තේරුම් ගන්නට ඔවුන් සමත් වී නැත. ප්‍රාචීන පණ්ඩිත උපාධිය කරන තරුණ භික්ෂූන් වහන්සේලාට මෙයට පෙර හැදෑරීමට තිබූ නවකතාව ‘ගම්පෙරළිය’ ය. නව විෂය නිර්දේශය යටතේ ඉදිරියට එන භික්ෂූන්වහන්සේලාට කියවන්නට වෙන්නේ පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස හා රොසලින්’ය. එහෙම වන්නේ නවකතා කියවා නැති සහ කියවන්න දන්නේත් නැති පිරිසක් විසින් එම විෂය නිර්දේශයන් සකස් කිරීමය. තව උදාහරණ සිය ගණනක් ලියා තැබිය හැකි නමුත් මේ කීපය ලිව්වේ, ලංකාවේ දිනෙන් දින පිරිහෙන ශාස්ත්‍රවිෂයධාරාව ගැන මතක් කර දීමටය.

කෙසේ වෙතත්, මෙම ලිපිය ලියන්නේ සිංහල ගැන නොව බෞද්ධ අධ්‍යාපනයේ ඇති ස්වරූපය ගැන කරුණු කීපයක් දැක්වීමටය. සැබැවින්ම විධිමත් ශාස්ත්‍රීය-අධ්‍යයනයක් සිදු කළ හොත් ලංකාවේ සියලුම බෞද්ධ විෂයනිර්දේශයන් වෙනස් කිරීමට සිදු වන තරම්ය. නමුත් මා මෙහි ලියන්නේ දඩිබිඩියේ මගේ මතකයට නැඟී ආ කරුණු කීපයක් පමණි. අවබෝධයේ පහසුව සඳහා දැනට ලංකාවේ භාවිත වන මතය හින්දු-අරාබි අංකවලින් ද (1, 2 ආදීවශයෙන්) නිවැරදි විය යුතු නවතම මතය රෝම අංකවලින් ද (i, ii ආදී වශයෙන්) දක්වමි.



බුද්ධචරිතය ගැන දැනටමත් ලංකාවේ විවිධ උගතුන් විසින් ශාස්ත්‍රීය-අධ්‍යයනයන් සිදු කර ඇති අතර ඒවා දැන් දැන් සමාජයේ කතාබහට ලක් වෙමින් පවතී. නමුත් තවමත් ප්‍රමාණවත් පරිදි සමාජගත වී නැති කරුණු කීපයක් පමණක් සටහන් කරමි.

1. මහබෝසතුන් සතර පෙර නිමිති දැක ගිහි ගෙය ගැන කලකිරීම, සැමට හොරා නිවසින් පැන ගොස් මහණ වීම, බාහිර ලෝකය ගැන කිසිදු දැනුමකින් තොරව ගිහි ගෙයි වාසය කිරීම

i. සත්‍යය යනු කුමක් ද? මිනිසාගේ ශක්‍යතාවය කුමක් ද යන දාර්ශනික ප්‍රශ්න දෙක නිසා එවක පැවැති දර්ශන සම්ප්‍රදායයන් අත්හදා බැලීමට මහබෝසතුන් ගිහිගෙයින් නික්මුණු බව, සැමට හොරා නොව අම්මා, තාත්තා අඬද්දී මාලිගාවෙන් පිටවී ආ බව, බාහිර ලෝකය ගැන දැනුමක් නැතිව සිටියා නොව ගිහි කල යුද්ධයක් පවා දැක එහි බිහිසුණු අත්දැකීම ලබා තිබූ බව.


වැදගත්ම කරුණු මතු වන්නේ ශාසන ඉතිහාසය ගැනය.

2. කාළාශෝක රජු දවස දෙවන ධර්ම සංගායනාවක් පැවැත් වූ බව

ii. එදවස සංගායනාවක් පැවත් වූයේ නැත. සිදු වූයේ උද්වාහිකාව ලෙස දැක්වෙන මණ්ඩලයක් පත් කොට 10 වස්තුව අකැප බව තීරණය කිරීමය.

3. දෙවන ධර්මසංගායානාවෙන් පසුව අධර්මවාදීන් එකතු වී වෙනම මහාසංඝික යනුවෙන් සංගායනාවක් පවත් ශාසනය දෙකට කැඩූ බව

iii. ශාසනය දෙකට කැඩීමක් ගැන කියන්නේ ලංකාවේ භික්ෂූන්වහන්සේ පමණි. වෙනත් පුරාවිද්‍යා සහ ශාස්ත්‍රීය මූලාශ්‍රයයන්ට අනුව සියලුම භික්ෂූන් වහන්සේලා 10 වස්තුව අකැප බව පිළිගත් අතර ශාසනය සමගි විය. මහාසංඝික යනුවෙන් වෙනම සංගීතියක් පැවැත්වෙන්නේ එයට තරමක් පසුකලෙක වන අතර ඒ සඳහා මූලික වන්නේ දාර්ශනික ප්‍රශ්න මිස විනය කරුණු නොවේ.

4. ධර්මාශෝක රජතුමා දවස වන විට භික්ෂූන් වහන්සේලා නිකාය 18කට බෙදී වෙන් වී සිටිය බව

iv. බුද්ධඝෝෂ හාමුදුරුවන් කියන්නේ නිකාය 18කට බෙදීමක් නොව ආචාර්යවාද 18ක් මතු වී තිබුණු බවය. ඓතිහාසික වශයෙන් ඒ වන විට මතු වී ඇත්තේ විරෝධාකල්ප 6ක් පමණි. ඒවා නිකාය වශයෙන් බෙදීමක් නොවේ.

5. ධර්මාශෝක රජතුමාගේ ව්‍යායාමය නිසා එවක ඉන්දියාවේ තිබූ ශාසනය පිරිසිදු වූ අතර එය චිරස්ථායී ද වූ බව

v. ධර්මාශෝක රජුගේ කාලයෙන් පසුව භික්ෂූන් වහන්සේලා දාර්ශනික වශයෙන් වෙනස් වූ ආකල්ප 18ක් දියුණු කරමින් ගුරුකුල ඇති කළ බව

6. එවක භික්ෂූන් වහන්සේලා නිකාය වශයෙන් බෙදී විරසක වී සිටි බව

vi. කිසිම භික්ෂුවක් නිකාය වශයෙන් බෙදී විරසක වී සිට නැත. ඔවුන් විවිධ දාර්ශනික මත දරමින් එකම පන්සලේ වැඩ සිටිමින් එකම පොහොය ගෙයි විනය කර්ම කරමින් සිටි බව.

7. පාලියෙන් ලියූ ත්‍රිපිටකය මුලින්ම ලියූ බව

vii. ලියූ කාල වකවානුව නිශ්චිත නැතත්, ආසන්න වශයෙන් සමාන්තර කාලයක දී එනම් ව්‍ය.ව. පළමු සියවසේදීම ත්‍රිපිටකය පාලි, ප්‍රාකෘත, සංකර සංස්කෘත සහ සංස්කෘත යන භාෂා හතරකින් ලියැවී ඇති අතර එවායින් අද වන තුරු සුරක්ෂිතව ඇත්තේ පාලි ත්‍රිපිටකය පමණි. සෙසු ත්‍රිපිටකවලට අයත් සූත්‍ර සහ ඇතැම් පොත්වල කොටස් පමණක් අද වන විට සොයා ගෙන ඇත.

8. පාලි ත්‍රිපිටකය වඩා සම්පූර්ණ හා නිවැරදි ත්‍රිපිටකය බව

viii. පාලි ත්‍රිපිටකය තරමට ම චීන ත්‍රිපිටකය නිවැරදි වන අතර පාලි ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර විනාශ වී ගොස්ය. ඒ සියල්ල නිවැරදිව චීන ත්‍රිපිටකය තුළ සුරක්ෂිතව ඇත.

මහායානය ගැන ලංකාව තුළ බිහි කර ඇති අසත්‍යය ප්‍රචාරය ගැන වෙනම කතා කළ යුතුය. නමුත් පොදුවේ කාටත් වැදගත් වන කරුණු කීපයක් පමණක් ලියමි.

9. ලංකාවේ පවතින ථේරවාදී බුදුසමය නිර්මල බුදුදහම බව

ix. ථේරවාදී බුදුසමය පවා කාලීන අවශ්‍යතා මත බුදුදහම වෙනස් කර ගෙන ඇත.

10. අතීත ලංකාවේ භික්ෂූන්වහන්සේ මහායානය මුලුමනින්ම ප්‍රතික්ෂේප කළ බව

x. විසුද්ධිමග්ගය සහ වෙනත් අටුවා ලිවීමේදී නාගර්ජුන, ආර්යදේව, අසංග, වසුබන්ධු ආදීන්ගේ අදහස් උපයෝගී කර ගෙන ඇත. 13වන සිය වස වන විට ගුරුළුගෝමී පවා ධර්මකීර්තිව උපුටා දැක්වීම කර ඇත. විශේෂයෙන්ම අභිධර්මටීකා ලියන විට සර්වාස්තිවාදීන්ගේ විභාෂාශාස්ත්‍ර සහ සර්වාස්තිවාදී-අභිධර්මය තුලනාත්මකව හදාරා ඒවායින් ද කරුණු උපුටා ගනිමින් එය කර ඇත. ඒ අනුව අතීතයේ ලාංකේය භික්ෂූන් වහන්සේලා තදින් මහායානය හදාරා ඇත. ඒ දර්ශනය ථේරවාදය පෝෂණය කිරීමට යොදා ගෙන ඇත.

11. බෞද්ධවිනය ථේරවාදී භික්ෂූන්වහන්සේ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන රැකගෙන ආ අතර මහායානිකයන් එය වෙනස් කර ගත් බව

xi. ඉතාම සුළු කරුණු කීපයක් හැරුණු විට මහායානිකයන් පවා විනය නීති ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ආ අතර ඒවා ඉතා නිවැරදිව රැකීම සිදු කර ඇත. ලංකාවේ සිටි ථේරවාදී භික්ෂූන්වහන්සේ විනය පිටකයට අදාළ මුල් කෘති ඒ ආකාරයෙන් පවත්වා ගෙන ආව ද ඒවා රැකීමේදී සහ අර්ථකථනය කිරීමේදී විවිධ වෙනස්කම් සිදු කර ගෙන ඇත. ඒවා කාලීන අවශ්‍යතාවයන් උදෙසා, ශාසනයේ පැවැත්ම ගැන සිතා කළ සංස්කරණ වේ.


ධර්මය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී නවතම අර්ථකථන මෙහි ලියා තැබීමෙන් ඵලක් නැත. මේ කරුණු කීපය වුව ද ලීවේ බුදුදහම හැදෑරීමට උනන්දු වන අය ලංකාව කියන ළිඳෙන් එළියට ඇවිත් ලෝකයත් සමග බුදුදහම හදාරයි කියන විශ්වාසය ඇතිවය.

Comments

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප