Skip to main content

බුදුදහම වැළඳ ගැනීම සහ අතහැරීම

බරපතල විද්‍යා උදාහරණ දෙන්න මං දන්නේ නැහැ. අනෙක එහෙම දුන්නත් විද්‍යා-උගතුන්ට මිස අනෙක් අයට තේරුම් ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා, ඉතාම ප්‍රාථමික උදාහරණයකින් වැඩේ පටන් ගන්නම්. අපි ගමු ආකිමිඩීස් නියමය. දැන් අප විද්‍යාව ඉගෙන ගන්න කොට අපට උගන්වනවා ආකමිඩීස් නියමය: වස්තුවක් අර්ධ වශයෙන් හෝ සම්පුර්ණ වශයෙන් හෝ තරලයක ගිලී ඇතිවිට එමගින් විස්ථාපනය කරනු ලබන තරලයේ බරට සමාන උඩුකුරු තෙරපුම් බලයක් තරලය මගින් වස්තුව මත ඇතිකරයි. දැන් මේක ආකිමිඩීස් නිර්මාණය කරපු දෙයක්ද? නැහැ.. එතකොට ආකිමිඩීස් කළේ මේ ලෝකේ 'ආකිමිඩීස් ඉපදුණත්, නැතත්' තියෙන දෙයක් සොයා ගැනීම. ආකිමිඩීස් මෙය ලෝකයට හෙළිදරවු කරන්නට පෙර වෙන කිසිකෙනෙකු මේ බව හෙළිදරවු කළා කියා කියන්න අපට සාක්ෂ්‍ය නැහැ. ඒ නිසා අපි සලකනවා 'ආකිමිඩීස්' තමා මෙහි ආදිකර්තෘ කියා. දැන් ආකිමිඩීස් මෙහෙම කිව්වාම අපි ඒක ඇත්තයි කියා පිළිගන්නවාද? නැහැ. ඒක අපිත් කරල බලනවා. ආකිමිඩීස් ජීවත් වුණේ අඩුම තරමේ මීට අවුරුදු 2500කට විතර උඩදී. එදා සිට ඉතා විශාල පිරිසක් මේක අත්හදා බලලා තියෙනවා. ඒ හැමෝම එකම නිගමනයකට එන නිසා තමා අප ඒක 'සත්‍යයි' කියා නිගමනය කරන්නේ. මං හිතනවා, දර්ශනය හෝ විද්‍යාව පිළිබඳ විධිමත් හැදෑරීමක් නැති කෙනෙකුට වුවත් මේ කාරණය තේරුම් ගන්න පුළුවන් කියා. මං මේ කරුණ විග්‍රහ කරමින් මෙතැනින් එහාට 'සත්‍යය' පිළිබඳ පාරභෞතික සාකච්ඡාවක් කරන්න අපේක්ෂා කරන්නේ නැහැ.

මෙතැනදී මතුවෙන වැදගත්ම දේ මේකයි. ආකිමිඩීස් මෙතෙක් මිනිස් වර්ගයා දැන සිටි නැති දෙයක් මිනිස් වර්ගයා හමුවේ අනාවරණය කළා. මෙහෙම කළා කියා, මං ආකිමිඩීස්ගේ රූපයක් ගෙදර බිත්තියේ එල්ලගෙන උදේ හවස වඳින්න ඕනේද, අනේ ඔබතුමා අපට මහා දෙයක් පෙන්නුවා කියා. එහෙම නැතිනම් මං ආකිමිඩීස් සරණ යන්න ඕනේද? නැහැ.

අනෙක් අතට මෙහෙමත් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. මං කිව්වද ආකිමිඩීස්ට ගිහිං ඔය දේ සොයා ගන්න කියා. ඔහුට මතු වුණ ප්‍රශ්නය හමුවේ ඔහු ගිහිං එය හොයා ගත්තා. ඉතිං ඒකට මං මක් කොරන්නද? ඔහුට ඕනේ නිසා ඔහු හොයා ගත්තා නම්, අපට එයින් වැඩක් ගන්න පුළුවන්නං අරගන්නවා, බැරි නම් හෝ අදාළ නැතිනම් ඒ ගැන හිතන්නේ නැතිව ඉන්නවා. මොකද මං බැදිල ඉන්නවද ආකිමිඩීස් එහෙම දෙයක් හොයා ගත්තු නිසා ඔහුට වඳින්න, පුදන්න, ඔහුව සරණ යන්න. නැහැනේ.

ඕනෑම නිරාගමිකයෙකු තුළ බුදුහාමුදුරුවන් ගැන ඇති විය හැකි ආකල්පයත් මේ වගේ. මං කීයටවත් ආකිමිඩීස්ගේ සොයාගැනීම සහ බුදුහාමුදුරුවන්ගේ සොයාගැනීම සමාන කරන්නේ නැහැ. මගේ උපමාව ඒතාක් අන්තයට අරන් යන්න එපා, ඒක දෘෂ්ටාන්ත දෝෂයක්. මං කියන්නේ සිද්ධි-සාම්‍ය ගැන පමණයි.


දැන් අපි බලමු, සිදුවීම එක සමාන නම්, ඇයි මිනිසුන් බුදුන්වහන්සේ සරණ ගියේ, මහණ වුණේ කියලා.

බුදුන්වහන්සේත් එවක සමාජයට අලුත් තියරියක් ඉදිරිපත් කළා. බුදුහාමුදුරුවන්ම දේවදහ සූත්‍රයේ දැක්වූ උදාහරණයක් තරමක් ඔපමට්ටම් කර, මං මේ තියරිය පැහැදිලි කරන්නම්.

හිතන්න ඔබ පාරේ යන විට දකිනවා, කෙල්ලක සහ කොල්ලෙකු එකිනෙකාගේ අත් අල්ලාගෙන කතා කරමින් සිටිනවා. මේක දුටුවාම ඔබට 'දුකක්, දරා ගන්න බැරි වේදනාවක් එනවාද?' ඔබ හොඳ සිහි බුද්ධියෙන් යුක්ත අයෙකු නම් මං හිතන්නේ එහෙම වෙන්නේ නැහැ. දැන් හිතන්න, එතැන හිටියේ ඔබ පණවගේ ආදරය කරන ඔබේ පෙම්වතිය/පෙම්වතා කියා. දැන් ඔබට දුකක්, වේදනාවක් දැනෙවා නේද? එහෙම වෙන්නේ කොහොමද? දුක, වේදනාව හට ගන්නේ හුදෙක් බාහිර ලෝකේ තියෙන දේ නිසා නම්, ලෝකේ ඕනෑම කොල්ලෙකු කෙල්ලක සමග කතා කරනු දුටු විට ඔබට එය ඇති විය යුතුයි. එහෙම නොවී එක් කොල්ලෙකු/කෙල්ලක සම්බන්ධයෙන් පමණක් එහෙම ඇති වෙන්නේ එතැන 'මානසික බැඳීමක්' තියෙන නිසා.

මේ විදිහට, දුක, වේදනාව, කේන්තිය, ආශාව, කණගාටුව ආදි සියල්ල ඇති වෙන්නේ යම් මානසික බැඳීමක් තිබුණාම. එහෙම නම් උපකල්පනය කරන්න කිසියම් පුද්ගලයෙකු ඉන්නවා ඔහුට/ඇයට කිසිදු ආකාරයක මානසික බැඳීමක් නැහැ. දැන් මොකද වෙන්නේ. ඔහුට/ඇයට කිසිම ආකාරයක දුකක්, වේදනාවක්, ආශාවක් මොකක්වත් ඇති වෙන්නේ නැහැ. මානසික බැඳීම් තියෙන අය ජීවිතයේ විවිධ හැල හැප්පීම් හමුවේ බරපතල මානසික පීඩාවක් විඳිද්දී එහෙම නැති කෙනෙකු සුවසේ සිටිනවා.

මේකයි සරලවම බුදුහාමුදුරුවන්ගේ තියරිය. මං දන්නවා මගේ උදාහරණය විශ්වසාධාරණ නැහැ කියා. තමුන්ගේ බිරිඳ වෙනත් අය සමග සංසර්ගයේ යෙදෙන විට එය බලා රස විඳින පිරිමින් පවා සිටිනවා. මිනිසුන්ගේ රුචි අරුචිකම් සහ ඔවුන් දුක සැප හඳුනා ගන්න ආකාරය මෙහෙමයි කියා නිගමනය කරන්න බැරි තරම් විචිත්‍රයි. ඒත් මූලිකවම බුදුහාමුදුරුවන්ගේ තියරිය සත්‍යය බව සනාථ කර ගන්න ජීවිතයේ එක අත්දැකීමක් වුවත් ප්‍රමාණවත්. ඒ නිසා, අපේ අත්දැකීමෙන්ම තීරණය කළ හැකියි බුදුහාමුදුරුවන් කියන දේ සත්‍යයක් බව.

දැන් තමා ඊළඟ කොටසට එන්නේ. මේක නව සොයා ගැනීමක්ද? බුදුහාමුදුරුවන්ට කලින් මෙහෙම දෙයක් තිබුණේ නැද්ද? බුදුහාමුදුරුවන් කියපු නිසාද මේක ඇත්ත වෙන්නේ? මං කිව්වද බුදුහාමුදුරුවන්ට මේවා හොයා ගන්න? ආදි වශයෙන් පෙර කී ආකිමිඩීස් කතාවේ සියල්ල මෙතැනට දාගන්න පුළුවන්.

හැබැයි මෙතැන ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ආකිමිඩීස් නියමය ඉගෙන ගත්තු හැම කෙනෙකුම නිවසට ඇවිත් ඒක ඇත්තද කියා අත්හදා බලන්න ඕනේද? ඒක ඉගෙන ගෙන, ඔව් ඒක ඇත්ත තමා, ඉතිං මට මොකෝ, කියා කාට හාරි පැත්තකට වෙලා ඉන්න බැරිද? පුළුවන්. ඒ වගේම තමා බුදුහාමුදුරුන් කී දෙයත් ඉගෙන ගෙන, ඔව් ඒක ඇත්ත තමා, එහෙමයි කියා මං මොනවා කරන්නද කියා පැත්තකට වී ඉන්න කෙනෙකුට පුළුවන්. මොකද 'සත්‍යය' දැන ගැනීම එය අත්හදා බැලීමට හෝ අනුගමනය කිරීමට හෝ උත්තේජකයක් නෙවේ. ඒ දෙක අතර අනිවාර්ය සම්බන්ධයක් නැහැ.

ඒත් කෙනෙකු ඉන්න පුළුවන්, බුදුන්වහන්සේ කියන දේ සිද්ධාන්තයක් වශයෙන් හරි. ඒත් ප්‍රායෝගිකව ඇත්තටම එහෙම සියලු බැඳීම් අතහැරල ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? කියා ප්‍රශ්න කරන.

අන්න එතනැදි බුදුහාමුදුරුවන් පිළිතුරු දෙනවා, ඔව් එහෙම පුළුවන්. හැබැයි ඒක එක රැයකින්, එක පැයකින් කරන්න පුළුවන් වැඩක් නෙවේ. ඒකට (කිසියම් විධික්‍රමයක් පෙන්වා දෙමින්) මෙන්න මේ පියවර අනුගමනය කරන්න වෙනවා කියා. මේකෙදි කාලය පිළිබඳ නිශ්චිත තීරණයක් දෙන්න බැහැ. මොකද ඒක පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව, මානසික මට්ටම අනුව වෙනස් වෙනවා. බාහිය දාරුචීරීය වගේ අවුරුදු ගාණක් හිත දියුණු කළ නෙකෙුට තප්පර කීපයකින් ඒක කරන්න පුළුවන් වුණා. උපතිස්ස, කෝලිත වැනි සුපිරි බුද්ධියක් ඇති අය තප්පර කීපයකින් මුල් අවබෝධයට පත් වුණා. එහෙම නොවන අය, අවමය දවස් හතක්, උපරිමය අවුරුදු පහක් පමණ කාලයක් ගත කරන්න වෙනවා. බුදුහාමුදුරුවන් කී අයුරින්ම කරනවා නම්, උපරිම අවුරුදු පහක් වගේ කාලයකින් අඩුම තරමේ අනාගාමී (එ් කියන්නේ රහත් බවට මෙපිට අවස්ථාව) තත්වයට හෝ පත් වෙනවා. එහෙම කර ගන්න බැරි වුණ අය අවුරුදු 15ක්, 20ක් විතර වෑයම් කර ඒ තත්වය ළඟා කර ගත් අවස්ථාත් අපට අටුවාපොත්වල හමුවෙනවා.

කොහොම හරි සරලම කාරණය, ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.

ඉතිං මෙතැන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවන් මේ සඳහා ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ අනුගමනය කරන්න බැහැ සාමාන්‍ය සමාජ සම්බන්ධතා සහ වගකීම් දරන අතර තුර. මේ නිසා ඒ වගකීම් සියල්ල අතහැර ඒක කරන්න වෙනවා. ඒ සඳහා යම් වැඩපිළිවෙළක් අවශ්‍ය නිසා තමා බුදුන්වහන්සේ 'ශාසනය' කියන දේ හැදුවේ.

බුදුහාමුදුරුවන් ශාසනය හැදුවේත්, එයට අවශ්‍ය නීතිරීති දැමුවේත් මෙන්න මේ හේතුව නිසා. දැන් එතකොට ශාසන හැදුවේ බුදුන්වහන්සේට වැඳ වැඳ ඉන්නද? නැහැ. බුදුහාමුදුරුවන් බලාපොරොත්තු වුණාද, පිළිම හදයි, විශාල මන්දිර හදයි, පන්සල් හදයි කියා. නැහැ. ඒවා සියල්ල පසු කාලෙක විවිධ හේතූන් නිසා හදා ගත්තු දේවල්. ඒ එක දේකටවත් බුදුහාමුදුරුවන් වග කිව යුතුද? නැහැ. ඇයි? බුදුහාමුදුරුවන් කාටවත් බලෙන් කීවද උන්වහන්සේගේ ක්‍රමය අනුගමනය කර, මානසික බැඳීම් නැති කර ගන්න කියා? නැහැ. ඒක අවශ්‍ය වුණේ බුදුහාමුදුරුවන් පෙන්වා දුන් යථාර්ථය තේරුම් ගත් යම් පිරිසකට. එතකොට ඒ යථාර්ථය බුදුහාමුදුරුවන්ගේ නිර්මාණයක්ද? නැහැ. උන්වහන්සේ කළේ හැමදාම තිබුණ දෙයක් පෙන්වා දීම. ඉතිං ඒ යථාර්ථය දැක ඒක කරගන්න විදිහක් නැති අයට, උන්වහන්සේ 'ශාසනය' කියා ආයතනයක් හදලා දීලා උදව්වක් කළා. එහෙම කළේ බුදුහාමුදුරුවන්ට යමක් කර ගන්න නෙවේ. යමක් අරන් යන්නත් නෙවේ. සම්පූර්ණයෙන්ම අනෙක් අයට උදව්වක් විදිහට.

දැන් තවත් පිරිසක් ඉන්නවා, බුදුහාමුදුරුවන් කියන යථාර්ථය ඇත්ත බව පිළිගන්නවා. හැබැයි සියලු සමාජ බැඳීම් අතහැරල ඔය කියන මාර්ගය අනුගමනය කරන්න එන්න බැහැ. ඒ අය අහනවා අපට යම්තාක් දුරකට හෝ හිත හදාගෙන මානසික සැනසීමෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් නැත්ද? කියා. බුදුහාමුදුරුවන් ඒ අයටත් කියනවා ඔවු, පුළුවන් කියා. එහෙම පිරිසට සාමාන්‍ය සමාජ ජීවිතය ගත කරන ගමන්ම යම්තාක් දුරකට මානසික ශික්ෂණය හදාගන්න, සිල් රැකීම, භාවනා කිරීම වගේ දේවල් කියා දෙනවා. එතකොට ඒ කියන්නේත් බුදුහාමුදුරුවන්ට වැඳ වැඳ ඉන්න කියාද? නැහැ.

මිනිසෙකු දවසට පස්වතාවත් බුදුහාමුදුරුවන්ට වැඳ වැඳ බුද්ධපූජා තිය තිය හිටියත්, තමුන්ගේ හිතේ තියෙන වෛරය, ක්‍රොධය ඉවත් කර, මෛත්‍රිය වැඩි දියුණු කර, අසරණයන්ට උදවු කිරීම වැනි දේ කරන්නේ නැතිනම් ඔහුට/ ඇයට කවමදාකවත් බුදුහාමුදුරුවන් දේශනා කළ මානසික සැනසීම ලබන තැනට යන්න බැහැ. අනෙක් අතට කවදාකවක් බුදුන් නොවැන්දත්, පන්සල් නොගියත් බුදුහාමුදුරුවන් දේශනා කළ ආකාරයට ජීවත් වෙමින් සිත දමනය කර ගන්න කටයුතු කරනවා නම් ඔහුට/ඇයට උන්වහන්සේ කී සැනසීම හොයා ගන්න අමාරු වෙන්නේ නැහැ.

ඒත් මේ සියල්ල කාලයත් සමග වෙනස් වෙනවා. වෙනස් කර ගන්නවා. බුදුන්වහන්සේගේ තියරිය පවා වැරදි තැනකට අරන් යනවා. උන්වහන්සේ කීවා කියා නොයෙක් දේ සමාජයට ගෙන එනවා. ඒත් ඒ කිසි දේකට බුදුහාමුදුරුවන්වත් බුදුදහමවත් වගකිව යුතු නැහැ.

ඉතිං කවුරුහරි කියනවා නම්, බුදුන් සරණ යනවා, බුදුදහම වැළඳ ගන්නවා කියා ඒ කිව හැක්කේ මෙන්න මේ තේරුමින් පමණයි. එය ඇතුළේ, බෞද්ධ කියා අමුතු දෙයක් නැහැ. ලෝකයේ ඇති යථා තත්වය තේරුම් ගෙන එය ජීවිතයට බද්ධ කර ගනිමින් තමුන්ගේ මනස, තමුන්ට අවශ්‍ය නිසා සකස් කර ගන්න දරන වෑයමක් විතරයි එතැන තියෙන්නේ. මනස ඒ තත්වයට දියුණු කර ගැනීමට අවශ්‍ය නැහැ කියා සිතෙන ඕනෑම අයෙකුට එයින් බැහැරව සිටිය හැකියි.

Comments

Popular posts from this blog

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ඊනියා යන පදයේ භාවිතය - අරුත් පහදුව 1

සිංහලෙන් මූණු පොතේ සහ බ්ලොග් ලියන මගේ හිතවතුන් වෙනුවෙන් මම අලුත් වැඩක් ආරම්භ කරන්න සිතුවෙමි . නිතර අපට හමුවන සිංහලභාෂාමය වැරදි නිවැරදි කර ගන්න සරල පිටිවහලක් සැපයීම එම කාර්‍ය්‍යයි . ව්‍යාකරණය , අක්ෂරවින්‍යාසය පමණක් නොවේ විවිධ භාෂාශෛලීන් සහ සම්ප්‍රදායයන් ගැනත් මෙහිදී කතා කරන්නට මම අපේක්ෂා කරමි . ඉදින් ඔබට හමුවන එවැනි ගැටලු වෙතොත් කරුණාකර එය මට දන්වා එවන්න . මම ඒවා එකතු කර මෙවැනි අරුත් පහදුව සටහනකින් එය පැහැදිලි කරමි . මෙය එම ලිපි පෙළේ පළමු වැන්නය . ඊනියා යන පදය ඔබ සැම අසා ඇති යැයි සිතමි . නමුත් බොහෝ අයෙකු මෙහි අර්ථය නිවැරදිව දැන භාවිත කරන බවක් නොපෙනේ . ඊනියා සමාජවාදය , ඊනියා කාන්තා නිදහස වැනි යෙදුම්වලදී මෙය භාවිත වන්නේ ' අන්තවාදී ' හෝ ' ආදානග්‍රාහී ' වැනි අර්ථයකිනි . තවත් සමහරුන් එය ' ඉහත දක්වන ලද ', ' එසේ කියන ලද ' වැනි අර්ථවලිනුත් එය භාවිත කරන බව පසුව මට දැන ගන්නට ලැබුණි . නමුත් එවැනි අර්ථය මේ පදයේ නැත . ඊනියා මෙන්ම මීනියා යන පදයත් විද්‍යාචක්‍රවර්තී විසින් බුත්සරණ ලිවීමේදී යොදා පද දෙකකි . ඊනියා යන්නෙහි අර්ථය ' එම න්‍යාය ' යන්නයි මීනියා

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන