Skip to main content

කාලාම සූත්‍රය හා චින්තනනිදහස


අද ඇතැමුන් සිතන්නේ කාලාම සූත්‍රයට අනුව සියලුම ඥානමූලාශ්‍රයයන් ප්‍රතික්ෂේප කළ යුතු බවකි. ඇත්තටම එසේ සිතන්නේ, ඔවුන්ට ඇතැම්විට පාලිභාෂාව ගැන දැනුමක් නැතිව සිංහලෙන් ත්‍රිපිටකය කියවන්නට යෑම නිසා ඇතිවූ වැරදි අවබෝධයකින් විය හැක. ඇතැම්විට භාරතීය දර්ශන සම්ප්‍රදායයන් ගැන නොදන්නාකමින් විය හැක. නැති නම් මේ දෙකම නිසා යැයි මම සිතමි. බුදුදහමට අනුව ඥානමූලාශ්‍රයය යනු එකකි. ඥානනිර්ණය හෙවත් නිශ්චයාත්මකඥානය යනු වෙනත් දෙයකි.

මිනිසෙකුට යම් දැනුමක් ලබා ගැනීමට නම් එය කිසියම් ආකාරයකින් උගත යුතුය. ඉගෙනීම සඳහා, ගුරුවරයකුගෙන් අසා දැන ගැනීම, වැඩිහිටියන්ගෙන් අසා දැන ගැනීම, පොත්පත් කියවීම, වෙනත් ශ්‍රව්‍යදෘෂ්‍ය මාධ්‍යයන් ඇසුරු කිරීම වැනි ක්‍රම ගණනාවක් ඇත. මේ සෑම ක්‍රමයකින්ම අපට දැනුම ලබා ගත හැක. බුදුදහම මෙලෙස දැනුම ලබා ගැනීම වරදක් කියා පෙන්වන්නේ නැත. එය නොකළ යුතුයැයි කියන්නේ ද නැත. ඉදින් කියම් මූලාශ්‍රයයක් ඇසුරු කරමින් අප දැනුම ලබන්නේ නැති නම් අපට දැනුම ලබා ගැනීමට වෙනත් ක්‍රමයක් හෝ අවස්ථාවක් හෝ නැත. සම්මාදිට්ඨිය ඇතිවීමට කරුණු දෙකක් අවශ්‍ය බව මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වේ. ඉන් පළමුවැන්න නම් 'පරතෝඝෝෂය'ය. එහි වාචිකාර්ථය අනුන්ගෙන් නැගෙන ශබ්දයය. එනම් අනුන්ගෙන් අසා ඉගෙන ගැනීමය. නූතන වාග්මාලාවට අනුව පෙරළුවහොත් අධ්‍යාපනයය. සම්‍යග්ඥානය ඇති කර ගැනීමේ පළමු සාධකය ඒ අනුව යම් අධ්‍යාපනයක් ලැබීමය. එය විධිමත් ලෙස පාසල, විශ්වවිද්‍යාලයය ඇසුරු කළ යුත්තක් බව කිසිසේත්ම මා අදහස් කරන්නේ නැත. මා මෙයින් පෙන්වා දෙන්නේ සම්‍යග්ඥානයක් ඇති වීමට කිසියම් හැදෑරීමක් කළ යුතු බවකි. තවත් අයුරකින් කියතහොත් ඥානමූලාශ්‍රයයන් ඇසුරු කළ යුතු බවකි.

ඥානනිර්ණය යනු වෙනම සංකල්පයකි. එයින් අදහස් වන්නේ යමක්, සත්‍යය බව තහවුරු කර ගැනීමය. යමක් ඉගෙන ගැනීමයි, එය සත්‍යය බව තහවුරු කර ගැනීමයි එකිනෙකට වෙනස් වූ සංකල්ප දෙකකි. පන්තිකාමරයේදී අපට ආකිමිඩීස්ගේ නියමය ඉගෙන ගත හැක. එය හුදෙක් ඥානයකි නැතහොත් දැනුමකි. නමුත් අප නිවසට ගොස් වතුර භාජනයක් ගෙන එයට ඝනවස්තුවක් දමා ඉල්පෙන ජලපරිමාව මැන බැලීමක් කරයි නම්, අප ඉගෙන ගත් දේ අපටම තහවුරු වේ. නිශ්චයාත්මකඥානය යනු ද එයමය. ඇත්තටම කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ, පරම්පරාව, කටකතාව, පොත්වල තිබීම, තර්කානුකූල වීම ආදිය ඥානනිර්ණයක් කොට නොගන්න කියාය. එනම් ඒ තුළින් අපට නිශ්චයාත්මකඥානයක් නොලැබෙන බවය. එය තවදුරුටත් මෙසේ පැහැදිලි කළ හැක. අපි පොතකින් යම් කරුණක් ඉගෙන ගත්තා යැයි සිතමු. එම කරුණ, බුදු දහමට අනුව නම්, අනිවාර්ය සත්‍යයක් විය යුතු නැත. එය සත්‍යය ද විය හැක, අසත්‍යය ද විය හැක. මෙවැනි භව්‍යතාවයන් දෙකක්, සෑම ඥානමූලාශ්‍රයයකම ඇත. ඥානනිර්ණයක එවැනි භව්‍යතාවයන් දෙකක් නැත. එය අනිවාර්යයෙන් සත්‍යයය, නැතිනම් අසත්‍යයය. එලෙස ඒකාන්ත නිශ්චිතතාවකට පැමිණිය හැකි ඥානනිර්ණායකයන් දෙකක් පමණක් ඇති බව බුදුදහම පෙන්වා දෙයි. එනම් ප්‍රත්‍යක්ෂය (perception) හා අනුමානය (inference)ය.

ඥානමූලාශ්‍රයක් ඇසුරෙන් ලබා ගන්නා දැනුම අප ප්‍රත්‍යක්ෂය හා අනුමානය යන නිර්ණායකයන්ට අනුව තහවුරු කර ගත යුතුය. යොනිසොමනසිකාරය යනු මෙලෙස විමර්ශනය කර බැලීමය. සම්මාදිට්ඨිය ඇතිවීමේ දෙවන කරුණ මෙම යෝනිසෝමනසිකාරයයි. අද ඇතැමුන් සිතන්නේ යෝනිසෝමනසිකාරය යනු යමක් ඉගෙන ගෙන පැත්තකට වී ඒ ගැන නිදහසේ කල්පනා කිරීම බවය. එය යෝනිසෝමනසිකාරයේ එක් චර්යාරටාවක් පමණි. අප කල්පනා කරනවා යනුවෙන් කරන්නේ කුමක්ද? මීට පෙර අප විසින් ලබා ගත් අද්දැකීම් ඇසුරු කර ගෙන තමා ලබා ගත් තම ඥානය විමසා බැලීමය. එය හුදෙක් සිතුවිලිවලින් පමණක්ම කළ හැකි අවස්ථා ද ඇත. නමුත් බොහොවිට සිදුවන්නේ එය ප්‍රායෝගිකව අත්හදා බැලීමට සිදු වීමය. බුදුබණ ඇසූ බොහෝ දෙනෙක් අවසානයේ මහණ වෙන්නට අදිටන් කර ගන්නේ මේ නිසාය. ඒ, තමන් උගත් දේ සත්‍යය දැයි අත්හදා බැලීමටය.

ඒ අනුව වටහා ගන්න, කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, පොතපතේ තියන දේ පිළිගන්න එපා, පරම්පරාවෙන් එන දේ පිළිගන්න එපා, මේ අපේ ගුරුවරයා දක්ෂයෙක් නේද කියා පිළිගන්න එපා කියන මතය නොවේ. උන්වහන්සේ දේශනා කරන්නේ, පොතපතේ තිබුණ 'පමණින්' පිළිගන්න එපා, පරම්පරාවෙන් ආව 'පමණින්' පිළිගන්න එපා, මේ අපේ ගුරුවරයා නේද කියන හැඟීමෙන් 'පමණක්' පිළිගන්න එපා. ඒවා ප්‍රත්‍යක්ෂඥානයට අනුමානඥානයට කොයි තරම් අදාළ ද කියා සොයා බලා තහවුරු වුණාම පිළිගන්න කියන දෙයයි.

මේ හැර, සියලු ඥානමූලාශ්‍රයයන් ප්‍රතික්ෂේප කර ඉබේ ඇති වන දැනුමක් බුදුදහම පිළිගන්නේ නැත. එය උමතු රෝගියෙකුගේ ලක්ෂණයක් පමණි.

Comments

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ...

පාංසුකූලය කියන්නේ මොකද්ද?

ප්‍රශ්නය: මැරුණු කෙනා වෙනුවෙන් දෙන "පාංශුකූලය " යන්නෙහි තේරුම පහදන්න - කල්පනා ඒකරත්න... පළමුවෙන්ම කියන්න ඕනේ නංගා, කෙනෙක් මැරුණාම පාංශුකූලයක් (පාලියෙන් පාංසුකූල) දෙන්න කියලා බුදුහාමුදුරුවන් කොතැනකවත් දේශනා කරලා නැහැ. දැනට සිංහල ගෙවල පවත්වා ගෙන යන පාංසුකූල චාරිත්‍රය හින්දූන්ගෙන් ගත් 'ශ්‍රාද්ධය' කියන චාරිත්‍රයේ අන්ධානුකරණයක්. දෙවැනියට කියන්න ඕනේ අත්තනායක මුදියන්සේලාගේ හේරත් මහතා අර දොරමඩලාවට ඇවිත් ඔය පාංසුකූලය කියන එකෙන් හැදෙන සිංහල පදය වන 'පවුල්' යනුවෙන් පවුල් සිවුර ආදී ලෙස යෙදෙන පදයයි ව්‍යවහාරයේ යෙදෙන පවුල (family) යන පදයයි එකතු කරලා දීපු මහා පොර අර්ථකථනය කිසිම වාග්විද්‍යාත්මක පදනමක් නැති එකක්. පාංශු කිව්වේ පසට. කූල යන පදය යෙදෙන්නේ එකතු වීම, මිශ්‍ර වීම යන අර්ථයකට. යම් දෙයට අනුව එකතු වන විට තමයි අප අනුකූල (අනු + කූල) කියා කියන්නේ. ඒ අනුව පස් සමග මිශ්‍ර වීම, එකතු වීම තමයි පාංශුකූල කියා කියන්නේ. ශාසනික අර්ථය මෙහෙමයි. යමක් පස්වලට එකතු වන්නේ ඒක අප භාවිතයෙන් ඉවත් කළහමයි. අමුසොහොන කියන සංකල්පය එදා තිබුණනේ. අඩුකුලේ උදවිය මැරුණහම ඒ අයව රෙද්දකින් ඔතලා ගිහින් ස...