Skip to main content

නැණ පමණින් දැන ගන්නේ කෙසේ ද?

ඇම පමණින් පැවසූ මුනි දැන තතු
මෙම හැමදෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැනගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු

මෙහි අවස්ථා දෙකක 'පමණ' යන යෙදුම භාවිත කර ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තුන් වන පදයය. එහි යෙදෙන 'පමණ' යන පදය සාමන්‍ය කටවහරේ එන 'ප්‍රමාණය' (එනම් තරම) යන අර්ථයෙන් ගෙන විග්‍රහ කිරීම අද සුලභව දැකිය හැකිය. ඒ අනුව බුදුන්වහන්සේගේ ධර්මය එක් එක් පුද්ගලයාගේ නුවණ තියෙන්නේ යම් තරමකට ද ඒ තරමට ගැළපෙන පරිදි වටහා ගැනීම සුදුසු යැයි මේ කවිය කියයි. නමුත් මෙය කවියේ අර්ථය වරදවා වටහා ගැනීමක් පමණක් නොව, වීදාගම හිමියන්ගේ ප්‍රඥාපාටවයට කළ බලවත් නින්දාවකි.

උන්වහන්සේ මෙහි 'පමණ' යන පදය යොදන්නේ දිග්නාග හාමුදුරුවන්ගේ 'ප්‍රමාණසමුච්චය' හා ධර්මකීර්ති හාමුදුරුවන්ගේ 'ප්‍රමාණවාර්තික' ඉදිරියේ තබා ගෙනය. මේ පොත් දෙකේ නමින් ම කියවෙන පරිදි මේ පොත් දෙක ලියන්නේ ප්‍රමාණ සංකල්පය විශ්ලේෂණය කිරීම උදෙසාය. ප්‍රමාණ යන සංස්කෘත පදයේ අර්ථය 'උපායමාර්ගය'ය. ඕනෑම උපාය මාර්ගයක් නොව ඥානය ලබා ගන්නා උපාය මාර්ගයය. ඥානය ලබා ගැනීම සදහා ප්‍රත්‍යක්ෂය, අනුමානය (inference), ශාබ්ද, අර්ථාපත්ති, ආප්තවචන, ඓතිහ්‍ය, ස්මෘති, අභාව, ආර්ෂඥාන වැනි ක්‍රම ගණනාවක් ඇති බව හින්දු දර්ශනයට අයත් විවිධ සම්ප්‍රදායයෝ අඩු වැඩි වශයෙන් විශ්වාස කළහ. නමුත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂය, අනුමානය හැර අනෙක් සියලු ක්‍රම ප්‍රතික්ෂේප කළහ. මෙසේ ප්‍රතික්ෂේප කළ ආකාරය තාර්කිකව සනාථ කර පෙන්වීමට දිග්නාග ආචාර්යයන් වහන්සේ 'ප්‍රමාණසමුච්චය' නම් කෘතියේදී සමත් වූහ. උන්වහන්සේට විරුද්ධව නැගී ආ විරෝධාකල්ප සියල්ල පරදා ප්‍රමාණ සංකල්පය ඉතා ඉහළ තැනකට ඔසවා තැබීමට ධර්මකීර්ති හාමුදුරුවන්ට හැකි විය. ඒ 'ප්‍රමාණවාර්ත්තිකය' ලිවීමෙනි. ලංකාවේ මේ ප්‍රමාණවාර්ත්තිකය හැදෑරීම ආරම්භ වූයේ පොළොන්නරුයුගයේදී බව ගුරුළුගෝමිගේ ධර්මප්‍රදීපිකාව කියවීමෙන් හදුනා ගන්නට හැක. එදා සිට එය කෝට්ටේ යුගය දක්වා ගලා අතර කෝට්ටේ යුගයේදී අපට හමුවන සුවිශේෂ පඩිරුවනක් වන වීදාගම හාමුදුරුවෝ එය පරිශීලනය කරමින් ඉහත කී කවිය ලීහ.

'ඇම පමණ' කීවේ ඒ අනුව මා මුලින් දැක්වූ ප්‍රත්‍යක්ෂාදී ප්‍රමාණයන් ය. බුදුරජාණන් වහන්සේ යථාර්ථය දකින්නට සියලුම ඥාන උපාය මාර්ගයන් අත්හදා බලා ඇත. ඒ තුළින් උන්වහන්සේ යථාර්ථය පසක් කර ඇත. එසේ අවබෝධ කර ගත් ධර්මය 'එන්න, ඇවිත් බලන්න' කියා ආරාධනා කොට ඒ ඒ පුද්ගලයා තමාගේ 'ඥානප්‍රමාණය' තුළින් වටහා ගත යුතු බව මෙහි දැක්වෙන සැබෑ අර්ථයයි. නැණ පමණ හෙවත් ඥානප්‍රමාණය යන වචනය ඍජුවම ධර්මකීර්ති හාමුදුරුවන්ගෙන් උපුටා ගත් පදයකි. උන්වහන්සේ ප්‍රමාණවාර්ත්තිකයේ ප්‍රමාණ පරිච්ඡේදයේ ද ප්‍රමාණවිනිශ්චයේ ද 'ඥානප්‍රමාණ', 'බුද්ධිප්‍රමාණ', 'ධීප්‍රමාණ' යන පද සමාන අර්ථයෙන් භාවිත කරති. එයින් උන්වහන්සේ අදහස් කළේ බුදුදහමේ වලංගු ඥානප්‍රමාණ වන 'ප්‍රත්‍යක්ෂය' හා 'අනුමානය' යන දෙකය. ඒ අනුව වෑත්තෑවේ හාමුදුරුවන් අපට කියන්නේ, එක් එක් පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව ධර්මය තේරෙන විදිහට ග්‍රහණය කර ගන්න කියා නොව, ප්‍රත්‍යක්ෂය සහ අනුමානය කියන පිළිගත් බෞද්ධන්‍යයානුසාරයෙන් ධර්මය වටහා ගන්නට කියාය.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ...

පාංසුකූලය කියන්නේ මොකද්ද?

ප්‍රශ්නය: මැරුණු කෙනා වෙනුවෙන් දෙන "පාංශුකූලය " යන්නෙහි තේරුම පහදන්න - කල්පනා ඒකරත්න... පළමුවෙන්ම කියන්න ඕනේ නංගා, කෙනෙක් මැරුණාම පාංශුකූලයක් (පාලියෙන් පාංසුකූල) දෙන්න කියලා බුදුහාමුදුරුවන් කොතැනකවත් දේශනා කරලා නැහැ. දැනට සිංහල ගෙවල පවත්වා ගෙන යන පාංසුකූල චාරිත්‍රය හින්දූන්ගෙන් ගත් 'ශ්‍රාද්ධය' කියන චාරිත්‍රයේ අන්ධානුකරණයක්. දෙවැනියට කියන්න ඕනේ අත්තනායක මුදියන්සේලාගේ හේරත් මහතා අර දොරමඩලාවට ඇවිත් ඔය පාංසුකූලය කියන එකෙන් හැදෙන සිංහල පදය වන 'පවුල්' යනුවෙන් පවුල් සිවුර ආදී ලෙස යෙදෙන පදයයි ව්‍යවහාරයේ යෙදෙන පවුල (family) යන පදයයි එකතු කරලා දීපු මහා පොර අර්ථකථනය කිසිම වාග්විද්‍යාත්මක පදනමක් නැති එකක්. පාංශු කිව්වේ පසට. කූල යන පදය යෙදෙන්නේ එකතු වීම, මිශ්‍ර වීම යන අර්ථයකට. යම් දෙයට අනුව එකතු වන විට තමයි අප අනුකූල (අනු + කූල) කියා කියන්නේ. ඒ අනුව පස් සමග මිශ්‍ර වීම, එකතු වීම තමයි පාංශුකූල කියා කියන්නේ. ශාසනික අර්ථය මෙහෙමයි. යමක් පස්වලට එකතු වන්නේ ඒක අප භාවිතයෙන් ඉවත් කළහමයි. අමුසොහොන කියන සංකල්පය එදා තිබුණනේ. අඩුකුලේ උදවිය මැරුණහම ඒ අයව රෙද්දකින් ඔතලා ගිහින් ස...